අප වනසන කාලගුණ පෙරැළි



මුළු ලෝකයම 'කොවිඩ් 19' වසංගතයේ අණසකට යටත් වී සිටිද්දී, විදෙස් හමුදා පිටවී යෑමත් සමඟ ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් ඔවුන්ගේ සුපුරුදු ප්‍රචණ්ඩ ආරම්භ කර තිබේ. ඒ අනුව, ගෝලීය වශයෙන් ද ත්‍රස්තවාදී තර්ජන ඉහළ යමින් පවතී.

ඒ අතරතුරේ, යුරෝපා රටවලින් ළැව් ගිනි වාර්තා වෙයි. මේ මොහොත වනවිට ඉතාලියෙන්, ග්‍රීසියෙන් සහ තුර්කියෙන් ළැව් ගිනි වාර්තා වන අතර, හෙක්ටයාර් දහස් ගණනක් විනාශ වී තිබේ. රටරටවලින් අසන්න ලැබෙන පුවත් වාර්තා අනුව සිය දෙනකු පමණ ළැව් ගිනි හේතුවෙන් මියගොස් ඇත. උන්හිටිතැන් අහිමිවුණු ගණන 10,000 ඉක්මවයි.

මේ වනවිට ඇල්ජීරියාවේ ද පාලනය කිරීමට නොහැකි ලෙස ළැව් ගිනි පැතිරෙන බවත් ගිනි නිවන හමුදාවේ සහායට ගිය ඇල්ජීරියානු සෙබළුන් 25 දෙනකු ද ළැව් ගිනිවලට බිලිවුණු බව වාර්තා වේ. ඇල්ජීරියාව යනු අප්‍රිකාවේ ඉහළ කෙළවරේ යුරෝපයට ළංව පිහිටි රාජ්‍යයකි.

විදෙස් පුවත් වාර්තා අනුව, මේ වනවිට ලොව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වන්නේ යුරෝපා රටවලිනි. පසුගිය පැය 24 ඇතුළත යුරෝපයට අයත් ඉතාලියේ සිසිලි දූපතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48.8 ක් තෙක් ඉහළ ගියේ ජගත් කාලගුණ විද්‍යා සංවිධානය පැවැසීය. ඉතිහාසයේ පළමු වරට යුරෝපා රටකින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙය යැයි ද ජගත් කාලගුණ විද්‍යා සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ. අයි.පී.සී.සී. එසේත් නැතිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රාජ්‍යයන් අතරේ කාලගුණ විපර්යාස පිටුදැකීම සඳහා පිහිටවූ ආයතනය, රටවල් 200 ක කාලගුණ විද්‍යාඥයන්, පරිසරවේදීන් ඇතුළු විද්වතුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ නවතම වාර්තාවේ දැක්වෙන ආකාරයට, ගතවුණු වසර එක්ලක්ෂ විසිපන්දහසක කාලසීමාව තුළ පෘථිවියේ උෂ්ණත්වය මෙතරම් ඉහළ ගොස් නැත.

පෘථිවි උෂ්ණත්වය මේ අයුරින් වාර්තාගත ලෙස ඉහළ යෑමට එක් හේතුවක් වී ඇත්තේ පොසිල ඉන්ධන (ගල් අගුරු, තෙල් සහ ස්වභාවික වායු) දහනය සහ හරිතාගාර වායු පරිසරයට මුදා හැරීමය. සංඛ්‍යා ලේඛන අනුව, පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම ක්‍රමයෙන් වර්ධනය වූයේ ජනගහනය වැඩිවීමත් කාර්මීකරණයත් නිසාය. පොළොවේ පොසිල ඉන්ධන නිර්මාණය වීමට ගතවන කාලය වසර මිලියන 50 ත් 300 ත් අතර යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

විද්‍යාඥයන් වැඩි දුරටත් පෙන්වා දෙන ආකාරයට ගතවුණු අවුරුදු 125 ක කාලය ඇතුළත, පොළොවෙන් ලබාගත් පොසිල ඉන්ධනවලින් හරි අඩකට වඩා ප්‍රයෝජනයට ගෙන එසේත් නැතිනම් දහනය කර අවසන්ය. පෘථිවියේ විපරිත කාලගුණ පෙරැළි නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් පොසිල ඉන්ධන දහනය සහ හරිතාගාර වායු පරිසයට වැඩියෙන් මුසුවීමය. ළැව්ගිනි හටගැනීම, කාන්තාරීකරණය, ග්ලැසියර දියවීම, අධික වර්ෂාපතනය සහ ජලගැලීම් ආදිය  ගෝලීය උණුසුම ඉහළ යෑමේ ඵලවිපාකය.

'එල් නිනෝ' සහ 'ලා නිනා'

ගෝලීය උණුසුම ඉහළ යද්දී, එය 'එල් නිනෝ' සහ 'ලා නිනා' යන සංසිද්ධීන්වලට ද බලපෑමක් එල්ල කරයි. දැඩි වියලි කාලගුණයක් හෝ දැඩි සීත කාලගුණයක් හෝ ඇතිවන්නේ මෙම සන්සිද්ධීන් නිසාය. එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) ස්පාඤ්ඤ වදන් දෙකකි. එල් නිනෝ යන්නෙහි අදහස පිරිමි දරුවා නැතිනම් දේව දරුවා යන්නය. 'ලා නිනා' යනු 'එල් නිනෝ' සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ පෙරළියයි. 'ලා නිනා' යනු දේව දැරිය යන අර්ථයයි. දරුවා සහ දැරිය යනුවෙන් නම් කළත් එකිනෙකට වෙනස් මෙම සංසිද්ධිවලට දරුවන්ගේ සම්බන්ධයක් නැත. මේ වදන් දෙකෙන් විස්තර කෙරෙන්නේ ගෝලීය වශයෙන් බලපෑම් කරන කාලගුණ තත්ත්වයන් දෙකකි.

සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වය නිර්මාණය වෙන්නේ දෙසැම්බර් මාසය ආශ්‍රිතවය. එල් නිනෝ කාලගුණ තත්ත්වය ගැන මුලින්ම වටහා ගත් බව පැවැසෙන්නේ දකුණු අප්‍රිකා ගැඹුරු මුහුදේ ධීවරයන්ය.

ධීවරයන්ට අනුව, දෙසැම්බර් අග කාලයේ පැසිෆික් මුහුදු ජලයේ ඇතිවන අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑමකි. තවත් විග්‍රහ කළොත්, පැසිෆික් සාගරය ආශ්‍රිතව සාගර වායුගෝල පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා කරමින්, පැසිෆික් සාගරය ගෝලීය කාලගුණික තත්ත්වයන්ට අසාමාන්‍ය ලෙස බලපෑම් ඇති තරමින්, එම බලපෑම් හරහා රට රටවල විපරිත කාලගුණික පෙරැළි සිදුවීම 'එල් නිනෝ' සංසිද්ධියයි.

සාමාන්‍ය සුළං ප්‍රවාහයන් සහ සාගර දියවැල්වල රටාව වෙනස් වෙද්දී, ශීත කාලය දැඩි ලෙස උණුසුම් වීම, උණුසුම් කාලය සීතල වීම, හිටිහැටියේ හිම වැටීම, නොකඩවා ඇදහැලෙන මහ වැසි, කාන්තාර ප්‍රදේශ සීතල වී, ආක්ටික් වැනි සීත ප්‍රදේශ උණුසුම් වී අයිස් දියවීම ආදී විපරිත කාලගුණ පෙරැළි නිර්මාණය වන්නේ 'එල් නිනෝ' හේතුවෙනි.

එල් නිනෝ තත්ත්වයකදී ලතින් ඇමෙරිකාව වැනි රටවලට අධික වර්ෂාවක් ලැබීම, මහා ජලගැලීම් හටගැනීමත්, ඔස්ට්‍රේලියාව සහ ඒ අවට රටවල නියං තත්ත්වයක් ඇතිවීමත් සිදුවෙයි. මීට වසර කීපයකට පෙර ඕස්ට්‍රේලියාවේ ඉවක් බවක් නොමැතිව ව්‍යාප්ත වුණු ළැව් ගිනි, එල් නිනෝ තත්ත්වය පැහැදිලි කිරීමට හොඳ උදාහරණයකි.

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ කාන්තාර ප්‍රදේශවල මල් හට ගැනීමක් සිදුවන්නේ එල් නිනෝ නිසාය. ශ්‍රී ලංකාවේ අපට ද 'එල් නිනෝ' බලපෑම යම්තාක් දුරකට දැනෙයි. වර්ෂාව අඩු වැඩි වීම සහ අධික උණුසුම් කාලගුණයක් පැවැතීම 'එල් නිනෝ' සංසිද්ධියේ ප්‍රතිඵලයකි.

'ලා නිනා' තත්ත්වයකදී සිදුවන්නේ මුහුදු ජලය අසාමාන්‍ය ලෙස සීතල වීමය. සාමාන්‍යයෙන් 'ලා නිනා' සංසිද්ධිය ඇතිවන්නේ 'එල් නිනෝ' සංසිද්ධියට පසුවය. කෙසේ නමුත් කාලගුණ විද්‍යාඥයන්ට අනුව එය වෙනස් විය හැකිය. ශීත සෘතුවක, ලා නිනා තත්ත්වයක් ඇති වූ විට, එම ශීත සෘතුව අනෙක් ශීත සෘතු වලට වඩා ප්‍රබල වෙයි.

ඇමෙරිකානු මහාද්වීපය ආශ්‍රිතව ශීත කාලයේ ලා නිනා තත්ත්වයක් ඇති වූ විට දකුණු ප්‍රදේශ වල උෂ්ණත්වය වෙනත් වැඩි වන අතර උතුර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල උෂ්ණත්වය වෙනත් ශීත සමයන් වලට වඩා අඩු අගයක් ගනී. එල් නිනෝ තත්ත්වයකදී ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව ඉතා වියලි කාළගුණයක් පැවතුනත්, ලා නිනා තත්වයකදී පවතින්නේ සාමාන්‍ය තත්ත්ව වලටත් වඩා තෙත කාලගුණයකි. එයින් අදහස් වන්නේ දැඩි වර්ෂාවක් ඇතිවන බවය.

'එල් නිනෝ' සහ 'ලා නිනා' සිදුවන්නේ පෙර දැනුම් දීමකින් නොවෙයි. 'එල් නිනෝ' සහ 'ලා නිනා' සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන්ට නිවැරදි ලෙස අනාවැකි පළ කළ නොහැකිය. කෙසේ නමුත් 'එල් නිනෝ' සහ 'ලා නිනා' සන්සිද්ධීන් ඇතිවීම ගැන කල්තියා දැනගැනීමට, කාලගුණ විද්‍යාඥයන් දත්ත සහ චන්ද්‍රිකා තොරතුරු උපයෝගී කර ගනී.

ජගත් කාලගුණ විද්‍යා
සංවිධානයේ තොරතුරු ඇසුරිනි


RECOMMEND POSTS