අතුරුදන් තක්කාලි



අභ්‍යවකාශය අබිරහස්වලින් පිරුණු තැනකි. ඒත්, මේ කියන්න හදන්නේ, තාරකා විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට සමත් වුණු අඳුරු පදාර්ථ ගැන හෝ කළු කුහර ගැන නම් නොවෙයි. මේ, වෙනස්ම විදියේ හරි අපූරු අබිරහසකි. මේ අභ්‍යවකාශයේ අතුරුදන් වුණු තක්කාලි ගෙඩියේ අබිරහසයි. මේ සිදුවීම, ඊනිඩ් බ්ලයිටන්ගේ රහස් පරික්ෂණ කතාවක් හා සමානයි. ඒත් මේක හැබෑවකි. තක්කාලි ගෙඩිය අතුරුදන් වූයේ පෘථිවි කක්ෂයේ මීටර් 400 ක් පමණ උඩු ගුවනේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළෙනි. මේ සිද්ධිය අභ්‍යවකාශයේ සිදුවුණු අබිරහසක් යැයි පැවැසෙන්නේ ඒ නිසාය.

අභ්‍යවකාශ නැවැතුම්පොළේ, පුංචි එළවළු වගාවක් ඇත. දීර්ඝ කාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වලදී, ගගනගමීන් ඔවුන්ගේ ආහාර, ඔවුන් විසින්ම සකස් කරගත යුතුය. නැවුම් එළවළු පළතුරු අභ්‍යවකාශ යානාවල හෝ අභ්‍යවකාශ නැවැතුම්පොළක හෝ වගා කරගත යුතුය. එහි පළමු පියවර වන්නේ, පර්යේෂණයක් ලෙස ආරම්භ කළ අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙම එළවළු වගාවය.

2022 වසරේ ඇමෙරිකාවේ නාසා ගගනගාමී ෆ්රෑන්ක් රූබියෝ, වාර්තාවක් ද පිහිටුවමින් දින 371 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේය. මෙම කාලය අතරතුරේ ඔහු පුංචි පෙට්ටියක තක්කාලි වගා කළේය. ඒ, හයිඩ්‍රෝපොනික් Hydroponic සහ ඇක්රෝපොනික් Aeroponic යන තාක්ෂණය භාවිතයට ගනිමිනි. සරලව කීවොත් මෙහිදී සිදුවන්නේ පස් නොමැතිව එළවළු සහ පලතුරු වගා කිරීමය.

ඒ අනුව, අභ්‍යවකාශයේ තක්කාලි වගාවක් කළ පළමු පළමු අවස්ථාව මෙයයි. තක්කාලි ගෙඩි අභ්‍යවකාශයේ හටගත් පළමු අවස්ථාව ද මෙයයි. ඒ සියල්ල පසුපස සිටින්නේ ෆ්රෑන්ක් රූබියෝය. තක්කාලි ගෙඩි හටගත් අවස්ථාවේදී නාසා ආයතනය ඒ බව ලොවට දැනුම් දුන්නේ ද මහත් ආඩම්බරයෙනි. එපමණක් නොවෙයි, ලොව පළමු තක්කාලි ගෙඩිය නාසා ආයතනය ලොව පෙන්වීමට සැලැස්වූයේ ද මහත් ආඩම්බරයෙනි.

එදා තක්කාලි වගාව පරීක්ෂා කරද්දී, හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් ගැලවී ෆ්රෑන්ක් රූබියෝගේ අතට ආවේය. ඔහු කුඩා පොලිතීන් බෑගයකට එම ගෙඩි දෙක දමා, හොඳින් සීල් කළේය. ඉන්පසු එම බෑගය එතැනින්ම තබා මොහොතකට වෙනස් කාර්යයක නියැලුණේය. ආපසු පැමිණ බලද්දී තක්කාලි සහ ඒවා දමා සීල් කළ කුඩා මල්ල අතුරුදන් වී තිබුණි.

පැය 8 ත් 20 ත් වෙහෙසෙමින් ෆ්රෑන්ක් රූබියෝ තක්කාලි සොයන්න විය. ඒත් හමුවූයේ නැත. බොහෝ දෙනකු ෆ්රෑන්ක් රූබියෝට චෝදනා නගන්න විය. ඒ, ඔහු අමතක වී, තක්කාලි ගෙඩි කෑමට ගන්න ඇතැයි කියමිනි. රූබියෝ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒත් තක්කාලි ගෙඩි හමුවූයේ නැත. ආපසු පෘථිවියට යනතුරුම රූබියෝ තක්කාලි සෙවූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමුනොවිණි. දිනෙක කාට හෝ තක්කාලි හමුවේවි යැයි සිතා රූබියෝ ආපසු පෘථිවියට පැමිණියේය.

දැන් වසරකට පමණ පසු, මේ මොහොතේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීහු අතුරුදන් තක්කාලි ගෙඩියේ අබිරහස විසඳීමට සමත් වී සිටිති. “අපට ඒක හමුවුණා. අපේ මිතුරු සහෝදර ගගනගාමී ෆ්රෑන්ක් රූබියෝ හැමතැනම හෙවූ තක්කාලි ගෙඩිය අපට හමුවුණා. ඔහුට දොස් අහන්න සිදුවුණා තක්කාලි ගෙඩිය ඔහු කෑමට ගත්තා කියලා. ඒත් ඔහු එහෙම කළේ නැහැ තරයේ කීවා. ඇත්ත. ඔහු වරදකරු නොවෙයි. ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අපට පුළුවන්. අපට තක්කාලි හමුවුණා” යැයි අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවැසූහ.

වසරකට පමණ පසු ආපහු හමුවෙද්දී පුංචි පොලිතීන් බෑගයේ බහාලූ තක්කාලි විජලනයට ලක් වී තිබේ. මෙම සටහන සමඟ ඇත්තේ නාසා ආයතතනය ප්‍රසිද්ධියට පත් කළ තක්කාලි ගෙඩි දෙක සහිත බෑගයයි. නාසා ආයතනය, අභ්‍යවකාශයේ තක්කාලි අබිරහස විසඳුනු බව ලොවට කීවේ ගගනගාමී රූබියෝ නිර්දෝෂී බව ද අවධාරණය කරමිණි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS