අඟහරු ලොවේ සමනලයා



අඟහරු ලොවේ සමනලයකු ඉන්නවා යැයි කලබල වෙන්න එපා. ඒ වගේමයි, අඟහරු ලොවේ සමනලයකු වැනි පිටසක්වළ ජීවියකු සිටිනවා යැයි ද වරදවා වටහා ගන්නත් එපා. අප දන්නා විදියට නම්, අඟහරු හෙවත් රතු ග්‍රහයා අප ජීවයෙන් තොර නිසරු තැනකි. මේ සමනලයා අඟහරු මතුපිටින් හමුවුණු සමනලයකු වැනි ජීවියකුගේ පොසිල කොටස් ද නොවෙයි. එසේ නම් මේ සමනලයා මොකෙක්ද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි.

සමනලයා ගැන ලොවට අනාවරණය කළේ යුරෝපා අභ්‍යවකාශ ආයහතනය (European Space Agency) නැතිනම් එසා (ESA) ය. සමනලයා යැයි විද්‍යාඥයන් හඳුන්වා දෙන්නේ අමුතු විදියේ අඟහරු මතුපිට දකින්න ලැබෙන විශාල ආවාටයකි. විද්‍යාඥයන් මෙම ආවාටය ‘සමනල ආවාටය’ (Butterfly Crater) යනුවෙන් නම් කර ඇත. ආවාටය නිරීක්ෂණය කරද්දී, එයින් සමනලයකුගේ තටු දෙකක් පෙනෙන බැවින් විද්‍යාඥයන් මේ නම ආවාටයට යොදා ඇත.

මේ ආවාටය සොයා ගත්තේ යුරෝපා අභ්‍යවකාශ ආයහතනය, අඟහරු ගවේෂණයට යවා ඇති මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර් (Mars Express orbiter) ගවේෂණ යානයේ ආධාරයෙනි. මෙම රොබෝ යානය අඟහරුගේ කක්ෂයේ රැඳී හිදිමින්, අඟහරු ගවේෂණය කරයි. ඒ, එහි ඇති, අතිප්‍රබල කැමරා ආධාරයෙන් ඡායාරූප ගනිමිනි. මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර්, අඟහරුගේ කක්ෂයේ රැදෙමින් අඟහරුගේ භූ ලක්ෂණ ගවේෂණය කරන්නේ 2003 වසරේ සිටය. මේ අසාමාන්‍ය හැඩයේ ආවාටය ඇත්තේ ඉඩියස් ෆොසේ (Idaeus Fossae) නමැති ප්‍රදේශයේය. ඉඩියස් ෆොසේ පළාත, අඟහරුගේ උතුරු දෙසින් පිහිටි පහත් බිම් ප්‍රදේශයකි.

සාමාන්‍යයෙන් ආවාට නිර්මාණ වන ආකාරයටම, මෙම ආසාමාන්‍ය හැඩැති ආවාටය ද නිර්මාණය වී ඇත්තේ, අභ්‍යවකාශයේ සිට වේගයෙන් පා වී ආ දැවැන්ත ග්‍රහකයක්, අගහරු පෘෂ්ටයේ ගැටීමෙනි. ඒ ගැටීමත් සමඟ උතුරු දෙසටත් දකුණු දෙසටත් විහිදුණු පියාපත් මෙන් භූ විදයාත්මක හැඩයක් ආවාටය තුළ ඇති විය. ආවාටය, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 20ක් පමණ ද, උතුරේ සිට දකුණට කිලෝමීටර 15 ක් පමණ ද වෙයි. ආවාටයේ ‘සමනල තටු’ ලෙස නම් කර ඇති කොටස, නිශ්චිත හැඩයක් නැති අතර සහ අක්‍රමවත් වෙයි. පහළ වම් පසට සහ ඉහළ දකුණු පසට විහිදෙන ආකාරය ඒවා දැකගත හැකි යැයි විද්‍යාඥයෝ කියති. මෙම ආවාටය මඟින්, රතු ග්‍රහලෝකයේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ එහි පෘෂ්ඨය හැඩගැසුණු ඇති ක්‍රියාවලීන් පිළිබඳව වැදගත් කරුණු හෙළි කරනු ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය. ආවාටයේ ස්වභාවිය අනුව, දියර බවට පත් වූ ද්‍රව්‍ය (Fluidised Material) එහි තිබෙන්න ඇතැයි අනුමාන කෙරේ. මෙම ද්‍රව්‍ය ජලය හෝ අයිස් සමඟ මිශ්‍ර වී තිබෙන්නට ඇති බවටත් අනුමාන කෙරේ.

එදා සිට අද දක්වා කළ ගවේෂණ අනුව, මෙම සමනල ආවාටය වැනි අසාමාන්‍ය හැඩතල සහ විශේෂ ලක්ෂණ සහිත ආවාට බොහොමයක් අඟහරු මතුපිටින් හමු වී ඇත. ඒවා අඟහරුගේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ එහි ජලය පැවැතීම පිළිබඳ වැදගත් සාක්ෂි සපයයි.

මෙම ආවාට අඟහරුට පමණක් විශේෂිත වෙයි. ඝට්ටනයකින් නිර්මාණය වී ඇත. ඝට්ටනයෙන් විසි වූ ද්‍රව්‍ය (Ejecta) ගලා ගිය ආකාරයේ හැඩයක් දක්වන අතර, එය තෙත් හෝ දියරමය ද්‍රව්‍යයක් (Fluidized Ejecta) විසි වීමෙන් සෑදී ඇති බව පෙනෙයි. සමනල ආවාටය ද අයත් වන්නේ මේ අතරටය.

කාලගුණික බලපෑම් නිසා සෑදුණු අමුතුම ආකාරයේ ආවාට මේ නමින් හැඳින්වෙයි. මේවා ආවාටයේ පාදම වටා ඇති ද්‍රව්‍ය ඛාදනය වී ආවාටය උස් වූ වේදිකාවක් (pedestal) මත ඇති සේ දිස්වෙයි. අඟහරුගේ සුවිශේෂී කාලගුණ විද්‍යාව සහ භූ විද්‍යාව හේතුවෙන් මෙම හැඩය නිර්මාණය වී ඇත.

නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය (Curiosity Rover) ගවේෂණය කළ ස්ථානයයි. මෙහි මධ්‍යයේ විශාල කන්දක් (Mount Sharp) ඇති අතර, ආවාටය තුළ පුරාණ විශාල විලක සලකුණු හමු වී තිබේ. අතීතයේ අඟහරු මත දියර ජලය බහුලව පැවති බවටත්, ජීවය පැවතීමට අවශ්‍ය මූලික අණු තිබූ බවටත් මෙහිදී සාක්ෂි සොයා ගැනුණි.

නාසා ආයතනයේ පර්සිවියරන්ස් රෝවරය (Perseverance Rover) ගොඩබැස්ස ස්ථානය මෙයයි. අතීතයේදී ගංගාවක් ගලා ගිය බවට සහ විශාල ඩෙල්ටාවක් (ගංගා මෝය) පැවති බවට පැහැදිලි සලකුණු තිබේ. නාසා විද්‍යාඥයන් මෙම ආවාටය ගවේෂණය කරන්නේ අඟහරු මතුපිට ජීවය තිබුණේදැවයි සහ එම ජීවයට සිදුවූයේ කුමක්දැයි යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමටය. ජීවයේ පුරාණ සලකුණු (biosignatures) සෙවීම සඳහා මෙම ඩෙල්ටා තැන්පතු ඉතා වැදගත් වෙයි.

සිනාසෙන මුහුණක් ඈතට පිළිඹිබු කරන මෙම ආසාමාන්‍ය ආවාටය අඟහරුගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ දකින්න ලැබෙයි. ආවාටයේ අභ්‍යන්තර ලක්ෂණ, හිම සහ අයිස් තැන්පතු හේතුවෙන් සිනාසෙන මුහුණක හැඩයක් ගනී. මෙය විද්‍යාත්මකව එතරම් වැදගත් නොවූවත්, බැලූ බැල්මට ඉතාමත් ආකර්ෂණීය ආවාටයකි.

මෙම කුඩා ආවාටය අඟහරුගේ මධ්‍යාන රේඛාව (Prime Meridian) සලකුණු කිරීමට යොදා ගනී.මෙහි ඇති අමුතු දීප්තිමත් වැටි (Ridges) නිසා එය මිනිස් ඇඟිලි සලකුණක් මෙන් දිස්වන බව නාසා ආයතනය පවසයි.

මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර් යනු 2003 දී යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, අඟහරු වෙත යැවූ  පුරෝගාමී ගවේෂණ යානයයි. එය යුරෝපයේ පළමු අන්තර් ග්‍රහලෝක මෙහෙයුම වන අතර, අදටත් වසර දෙකකට සීමා වූ සිය මූලික මෙහෙයුම් කාලය ඉක්මවා සාර්ථකව ක්‍රියාත්මක වෙයි. මෙම යානයේ ප්‍රධාන අරමුණ වූයේ අඟහරුගේ භූ විද්‍යාව, ඛනිජ විද්‍යාව, වායුගෝලය සහ විශේෂයෙන්ම අතීතයේ හෝ වර්තමානයේ ජලය පැවතීමේ සලකුණු පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමය.

මෙම කක්ෂගත රොබෝ යානයේ ඇති ප්‍රධාන විද්‍යාත්මක උපකරණ අතරින් HRSC කැමරාව (High Resolution Stereo Camera) ඉතා වැදගත් වෙයි. මෙම කැමරාව මඟින් අඟහරු මතුපිට අතිශය ඉහළ විභේදනයකින් යුත් වර්ණවත් හා ත්‍රිමාණ (3D) සිතියම් නිර්මාණය කිරීමට හැකි වී ඇත. එහි ඇති MARSIS රේඩාර් උපකරණය (Mars Advanced Radar for Subsurface and Ionosphere Sounding) මඟින් අඟහරුගේ පෘෂ්ඨය යටතල කිලෝමීටර් කිහිපයක් දක්වා විනිවිද යමින්, භූගත අයිස් හෝ ද්‍රව ජලය ඇති ස්ථාන සෙවීම සඳහා තොරතුරු රැස් කරයි.

මාර්ස් එක්ස්ප්‍රස් මෙහෙයුමෙන් ලැබුණු වැදගත්ම සොයාගැනීම් අතරට අඟහරුගේ ධ්‍රැවීය හිම වැස්මෙහි මෙන්ම භූගතව ද විශාල ජල අයිස් තැන්පතු පවතින බව තහවුරු කිරීම ඇතුළත් වෙයි. MARSIS රේඩාර් දත්ත මඟින් අඟහරුගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටු යටතේ විශාල භූගත විල් පවතින බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇත. මෙම සොයාගැනීම් අඟහරුගේ අතීතයේ සහ වර්තමානයේ ජලයේ කාර්යභාරය පිළිබඳව නව විද්‍යාත්මක අවබෝධයක් ලබා දී තිබේ.

Live Science ඇසුරිනි


RECOMMEND POSTS