Apple Macintosh 128K හඳුන්වාදී අවුරුදු 40 යි



මිට අවුරුදු 40 කට පෙර, 1984 ජනවාරි 24 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කුපෙරින්ටෝ නුවර පැවැති ඇපල් සමාගමේ, කොටස් හිමියන්ගේ වාර්ෂික රැස්වීමට, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් පැමිණියේ ලොකු බෑගයක් ද එල්ලාගෙනය. පිළිගැනීමේ කතාවලින් පසු, පිරිස රැස්ව සිටි ශාලාවේ වේදිකාව හිමි වූයේ ස්ටීව් ජොබ්ස්ටය. ලොකු බෑගය සමඟ වේදිකාවට ගොඩවුණු ජොබ්ස් පැවැසුවේ තමන් පළමු මැකින්ටොෂ් පරිගණකය හඳුන්වා දීමට කැමැති බවය. ඒ අනුව, අඟල් 9 ක කළු සහ සුදු තිරයකින් සමන්විත, 8MHz මෝටරෝලා 68000 අඩංගු ප්‍රොසෙසරයක් සහ 128KB RAM මෙමරියක් ඇති, නව ඇපල් පරිගණක, ඇපල් සමාගමේ, කොටස් හිමියන්ට පමණක් නොව, මුළු ලොවටම හඳුන්වා දුන්නේය. පෞද්ගලික පරිගණක (Personal Computer) කියා දෙයක් අසන්නට නොලැබුණු අවදියක, ස්ටීව් ජොබ්ස් මෙම ඇපල් මැකින්ටොෂ් Apple Macintosh 128K පෞද්ගලික පරිගණකය මෙසේ ලොවට හඳුන්වා දීම, නව තාක්ෂණයේ පෙරළියක් වූවා පමණක් නොවෙයි; පරිගණක ක්ෂේත්‍රය ද නව මානයකට යොමු කිරීමට සමත් විය.

ක්‍රියේටිව්ප්‍රෝ නෙට්වර්ක් CreativePro Network යනු පරිගණක ආශ්‍රිත නිර්මාණශීලී වැඩ කටයුතු බොහොමයකට සහාය ලබා දෙන ඇමෙරිකාවේ ප්‍රකට සමාගමකි. සමාගමේ ප්‍රධානියා ඩේව්ඩ් බ්ලැන්ටර් ද ලොව පුරා විසිරී සිටින සිය දහස් ගණනක් ඇපල් පරිගණක පිස්සන්ගෙන් කෙනකු යැයි කීවොත් එහි වරදක් නැත. ඩේව්ඩ් බ්ලැන්ටර්, ඇපල් මැකින්ටොෂ් Apple Macintosh 128K පරිගණකය හඳුන්වා දී වසර 40 ක් සපිරීම නිමිත්තෙන්, බීබීසී පුවත් වෙබ් අඩවියට, ඇපල් පරිගණක ගැන අදහස් දැක්වීය.

ඩේව්ඩ් බ්ලැන්ටර්, සතුව පසුගිය වසර ගණනාවක් පුරා මිලදී ගත් සෑම ඇපල් පරිගණකයක්ම ඇත. ඒවා යවත්කාලීන නොවුණත්, තවමත් ක්‍රියාකාරීය. ඒ සියලු ඇපල් පරිගණක අතරින්, තවමත් බ්ලැන්ටර්ගේ ආදරයට සහ ගෞරවයට ලක් වුණු ඇපල් පරිගණකයකි. එම පරිගණකය තවමත් අනෙක් ඇපල් පරිගණකවලින් කැපී පෙනෙයි. එහි තිරය, දිලිසෙන ආකාරයෙන් සකස් කළ උපදෙස් අඩංගු අත්පොත, කැසට් පට සහ නිබන්ධන ආදිය අතීත සොදුරු මතක අලුත් කරයි. මේ ඇපල් පරිගණකය, ඇපල් මැකින්ටොෂ් Apple Macintosh 128K පරිගණකයකි.

කුඩා දරුවකු ගැටවරයකු සහ තරුණයකු ලෙස, ඩේව්ඩ් බ්ලැන්ටර්, පෞද්ගලික පරිගණකවල විකාශය සිදුවුණු අයුරු දැක තිබේ. 1970 දශකයේ, ඔහුගේ සුළු පියා සේවය කළේ කැලිෆෝනියාවේ සෙරොක්ස්ගේ පැලෝ ඇල්ටෝ පර්යේෂණ මධ්‍යස්ථානයේය. කුඩා බ්ලැන්ටර්, ඔහුගේ පාපැදියේ නැගී නිතරම එහි යයි. මුල් අවදියේ, ඇල්ටෝ පරිගණක අත්හදා බැලීම් සිදුවන අයුරු පවා බ්ලැන්ටර් දැක තිබේ. ‘තනි පුද්ගලයකුට වැඩ කරන්න ඒ කෙනාටම කියා පරිගණකයක් එදා ඒ සිතුවිල්ල පවා පුදුමාකාරයි.’ යැයි බ්ලැන්ටර් පවසයි.

අද වසර 40 ක් ගතවෙද්දී, Apple Macintosh 128K එසේත් නැතිනම් Mac 128K කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩයක් පමණි. Mac 128K නමින් මෙම පරිගණක යන්ත්‍රය හැඳින්වූයේ එහි RAM මතකය 128kb අගයක් ගැනීම නිසාය. මෙය කොතරම් සුළු ප්‍රමාණයක්දැයි අද පරිගණක භාවිතයට ගන්නා අයට අමුතුවෙන් කිව යුතු නැත. ඇපල් සමාගම 1985 ඔක්තෝබර් මාසයේදී Mac 128K වර්ගයේ පරිගණක නිෂ්පාදනය නැවැත්වීය. 1998 දී ඒවාට මෘදුකාංග සහය ලබා දීම ද නැවැත්වීය. ඒ වඩා ප්‍රබල, තාක්ෂණයෙන් උපරිමයට ගිය Apple Macintosh පරිගණක වෙළෙඳපොළට එක් කරමිනි. ඒත් අදටත්, ඇපල් කීවාම වෙන පරිගණක සිහියට නොඑන ඇපල් රසික රසිකාවියක් අතළොස්සක් සතුව Mac 128K පරිගණක සුරක්ෂිතව ඇත. කුඩා මතක හේතුවෙන් මෙම පරිගණක සමඟ වැඩ කිරීම කොතරම් අභියෝගයක්දැයි ඔවුහු හොඳින් දනිති.

ඇපල් පරිගණකයේ ඉතිහාස කතාව ඇත්තෙන්ම පුදුමාකාරය. අලෙවි කිරීමට, මුල්ම ඇපල් පරිගණකය ස්ටීව් ජොබ්ස් සූදානම් කළේ 1976 දීය. එදා ස්ටීව් ජොබ්ස්ගේ වයස අවුරුදු 21 කි. ඔහුගේ මිතුරා මෙන්ම සගයා ස්ටීව් වොස්නියැක්ය. දෙදෙනා මුල්ම ඇපල් පරිගණක නිර්මාණය කළේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ නිවසේ ගරාජයේය. වර්තමානයේ, ලෝකයේ වටිනාම සන්නමයක් ලෙස සැලකෙන්නේ ඇපල්ය. ඇපල් සන්නාමයෙහි වටිනාකම පවුම් බිලියන 60 ඉක්මවයි. ඇපල් 1 පරිගණකය මුලින් ම වෙළඳ පොළට ආවේ 1976 ජූලි මාසයේදීය. එය අලෙවි කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 666. 66 කටය. ඇපල් 1 පරිගණකයට චිප 60 ක් එකලස් කළ මවු පුවරුවක් Motherboard පමණක් අන්තර්ගත විය.

බීබිසී ඇසුරිනි


RECOMMEND POSTS