2025 විදුලොව



2025 වසර අවසන්. 2025 වසර,  විද්‍යාව, තාක්ෂණය සහ නව සොයා ගැනීම් සම්බන්ධයෙන් පෙරැළි කළ වසරක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අප ජීවත් වන්නේ ඉතා වේගයෙන් වෙනස් වන ලෝකයක. විද්‍යාව සහ තාක්ෂණය දිනෙන් දින අලුත් වෙමින්, අප ජීවිත පහසු කරනවා වගේම, විශ්වයේ අබිරහස් එකින් එක හෙළි කරමින් පවතී.

අභ්‍යවකාශ ගවේෂණයේ නව මානයන්

2025 වසරේ වැඩිම අවධානයක් යොමු වූයේ, සඳට සහ අඟහරු ග්‍රහයා වෙත යන ගමන් සැලැසුම් කිරීම සඳහාය. මීට පෙර මිනිසුන් සඳට ගියේ ටික දිනක් එහි නතර වී පර්යේෂණ කරන්නට වුවත්, මේ වන විට සඳ මත ස්ථිර ජනාවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික පියවර රැසක් ගෙන ඇත. ඇමෙරිකාවේ නාසා ආයතනය පෙරමුණ ගෙන සිටින අතර, චීනය සහ රුසියාව ද මේ ගැන උනන්දුවක් දක්වයි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් ස්වරූපයෙන් පවතින ජලය භාවිත කරමින් ඔක්සිජන් සහ ඉන්ධන නිපදවීමේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් ද මෙම 2025 වසරේ දී සිදු විය‍. අනාගතයේදී අඟහරු ලෝකයට යෑමේදී, නැවතුම්පොළක් ලෙස සඳ භාවිතා කිරීමට මග පෑදෙනු ඇත.

කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය

අප හැමෝම 'චැට් ජීපීටී' (ChatGPT) ගැන අසා තිබුණත්, 2025 දී කෘත්‍රිම බුද්ධිය ඊට වඩා බොහෝ දුරක් ගොස් අවසන්ය. විද්‍යාඥයන්ට රෝග හඳුනාගැනීමට උදවු වීමට පමණක් නොවෙයි, මිනිසුන්ට කරන්න අමාරු ඉතා සංකීර්ණ සැත්කම් පවා ඉතා නිවැරදිව සිදු කිරීමට පවා දැන් AI තාක්ෂණය හරහා රොබෝවරුන්ට මග පෙන්වීම කළ හැකිය. නිවසේ වැඩ කටයුතු කර දෙන මානවරූපී (Humanoid) එසේත් නැතිනම් මිනිස් පෙනුමැති රොබෝවරුන්ගේ මිල සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි මට්ටමට පහත වැටීම 2025 වසරේ විශේෂත්වයකි. මේ රොබෝවරුන්ට මිනිස් හැඟීම් තේරුම් ගෙන ඒ අනුව කතා කිරීමට පවා හැකියාව පවතී.

පරිසර හිතකාමී බලශක්ති විප්ලවය

පෘථිවිය උණුසුම් වීම පාලනය කිරීමට, 2025 දී ලොව පුරා විද්‍යාඥයෝ විශාල කැපවීමක් කළහ. මෙහිදී ප්‍රභාසංශ්ලේෂණ කෘතිම පද්ධති (Artificial Photosynthesis) හඳුන්වා දීම කැපී පෙනෙයි. ගස්වැල් හිරු එළියෙන් ආහාර නිපදවනවා සේම, මෙම කෘත්‍රිම පද්ධති හරහා වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඒවා පිරිසිදු ඉන්ධන බවට පත් කරයි. විදුලි වාහන (EV) වල බැටරි තාක්ෂණය කොතරම් දියුණු වී ඇතිදැයි කිවහොත්, මිනිත්තු 5ක් වැනි කෙටි කාලයකදී බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කර කිලෝමීටර් 1000 ක් පමණ දුරක් ගමන් කිරීමට හැකි නව ඝන තත්වයේ බැටර (Solid-state batteries) මෙම 2025 දී වෙළඳපොළට පැමිණියේය.

වෛද්‍ය විද්‍යාවේ විස්මිත සොයා ගැනීම්

2025 වසරේ වෛද්‍ය විද්‍යාවේ කැපී පෙනෙනම සිදුවීම වන්නේ ජාන සංස්කරණය (Gene Editing) මගින් පාරම්පරිකව එන ලෙඩ රෝග සුව කිරීමට මග පෑදීමය. රුධිරයේ ඇති වන පිළිකා සහ තැලසීමියාව වැනි රෝග සදහටම සුව කළ හැකි එන්නත් වර්ග කිහිපයක් ලොව පුරා රෝහල්වලට හඳුන්වා දී දෙනු ලැබුණි. ත්‍රිමාණ මුද්‍රණ (3D Bioprinting) ද 2025 වසරේ කැපී පෙනෙයි. වෛද්‍ය විද්‍යාවේ පෙරැළි කරමින්, රෝගියකුගේ සිරුරේ සෛල භාවිතා කරමින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් හරහා නව වකුගඩුවක් හෝ හදවතක් නිර්මාණය කිරීමට හැකිවිය. මෙය අවයව බද්ධ කිරීමේදී පවතින හිඟයට ලොකු විසඳුමකි.

ක්වොන්ටම් පරිගණක (Quantum Computing)

අප සාමාන්‍ය පරිගණකයකට වසර දහස් ගණනක් ගතවන ගණිත ගැටලුවක් තත්පර කිහිපයකින් විසඳිය හැකි ක්වොන්ටම් (Quantum) පරිගණක ප්‍රායෝගිකව භාවිත කිරීම ද මෙම වසරේ සිදුවිය. මේ හරහා කාලගුණ අනාවැකි ඉතා නිවැරදිව පවසන්නත්, නව ඖෂධ වර්ග ඉතා ඉක්මනින් සොයා ගන්නත් විද්‍යාඥයන්ට හැකි වී ඇත.

2025 වැදගත් විද්‍යාත්මක සොයාගැනීම් සහ සිදුවීම්

ජනවාරි 1: සූර්යයා අසලින් පියාසර කරමින්, පාකර් සූර්ය පරීක්ෂණ යානය (Parker Solar Probe) මගින් ලබා ගත් සවිස්තරාත්මක දත්ත ලබා ගැනීම සහ ඒවා පෘථිවියට එවීම.

ජනවාරි 15: ක්ෂීරපථය සිතියම්ගත කිරීම සඳහා, වසර 11 ක් පුරා ක්‍රියාත්මක, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ගයියා (Gaia) අභ්‍යවකාශ යානය සිය මෙහෙයුම් අවසන් විය.

ජනවාරි 29: 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවියේ ගැටීමේ සියයට 1.3 ක සම්භාවිතාවක් ඇති 2024 YR4 නමැති ග්‍රහකයට නිරීක්ෂණය කිරීම ආරම්භ කළ බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කෙරුණි.

පෙබරවාරි 3: බර්ක්ලි සහ කේම්බ්‍රිජ් පර්යේෂකයන් සූර්ය ශක්තියෙන් හයිඩ්‍රොකාබන් නිපදවීම සඳහා තඹ නැනෝ-ෆ්ලවර් (copper nanoflower) උත්ප්‍රේරක සහිත කෘතිම පත්‍ර සාර්ථකව නිර්මාණය කෙරුණි.

පෙබරවාරි 7: විද්‍යාඥයන් ට, ආලෝකයේ වේගයෙන් රූප විකේතනය කළ හැකි, ඉතා අඩු ශක්තියක් වැය කරන, සහල් ඇටයකට වඩා කුඩා AI චිපයක් නිපදවීමට හැකිවිය. මෙය වෛද්‍ය රූපකරණ සහ ක්වොන්ටම් සන්නිවේදන තාක්ෂණයේ විශාල දියුණුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මාර්තු 2: ෆයර්ෆ්ලයි ඒරොස්පේස් (Firefly Aerospace) සමාගමේ, බ්ලූ ගෝස්ට් මිෂන් 1 (Blue Ghost Mission 1) යානය සාර්ථකව සඳ මත පතිත කෙරුණි.

මාර්තු 4: වඳ වී ගිය සතුන් නැවත ඇති කිරීමේ (De-extinction) නිරත වන ඇමෙරිකාවේ කොලොසල් බයෝසයන්ස් (Colossal Biosciences) සමාගම, මැමතුන්ගේ ජානමය ලක්ෂණ සහිත ලොම් සහිත මීයන් නිඒමාණය කිරීම.

මාර්තු 5: ඉතාලි විද්‍යාඥයන්ට, ආලෝකය, ඝන දෙයක් බවට පත් කෙරුණි.

මාර්තු 11: සෙනසුරු ග්‍රහයා වටා ඇති නව චන්ද්‍රයන් 128 දෙනකු සොයා ගැනීම.

මාර්තු 20: පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 13.4 ක් ඈතින් පිහිටි, මෙතෙක් තහවුරු කරගත් දුරම මන්දාකිණිය, JADES-GS-z14-0 හි ඔක්සිජන් ඇති බව සොයා ගැනුණි.

අප්‍රේල් 2: ලොව කුඩාම පේස්මේකරය (pacemaker) නිර්මාණය කෙරුණි. මෙය සිරින්ජයක් මගින් සිරුරට ඇතුළු කළ හැකි අතර, කාලයත් සමඟ සිරුරට දියවී යන ලෙස (biodegradable) නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.

අප්‍රේල් 7: කොලොසල් බයෝසයන්ස් සමාගම වඳ වී ගිය 'ඩයර් වුල්ෆ්' (dire wolves) වෘකයන්ගේ ලක්ෂණ සහිත ජානමය වශයෙන් වෙනස් කරන ලද වෘකයන් තිදෙනකු (රොමියුලස් Romulus, රේමුස් Remus සහ කලීසි Khaleesi) නිර්මාණය කළේය. මෙය ජාන තාක්ෂණයේ පෙරැළියකි බව කාගේත් අදහස විය.

අප්‍රේල් 17: පෘථිවියේ ජීවීන් විසින් පමණක් නිපදවන බවට දන්නා රසායනික ද්‍රව්‍ය දෙකක් (dimethyl sulfide සහ dimethyl disulfide), ආලෝක වර්ෂ 124 ක් ඈතින් පිහිටි K2-18b ග්‍රහලෝකයේ වායුගෝලයේ ඇති බව සොයා ගැනීම.

මැයි 9: වසර 53 කට පසු, සෝවියට් දේශය විසින් සිකුරු ග්‍රහයා වෙත යැවීමට උත්සාහ කර අසාර්ථක වූ කොස්මොස් 482 (Kosmos 482) යානය නැවත පෘථිවියට කඩා වැවුණි.

මැයි 28: චීනය විසින් 'ටියැන්වෙන්-2' (Tianwen-2) මෙහෙයුම ආරම්භ කෙරුණි. මෙහි අරමුණ ග්‍රහකයක සාම්පල ලබාගෙන නැවත පෘථිවියට පැමිණීමය.

ජූලි 1: සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ තෙවන අන්තර් තාරකා වස්තුව (Interstellar object) වන '3I/ATLAS' සොයා ගැනීමට හැකිවීම. මෙය ධූම කේතුවකි. මෙම වස්තුව දෙසැම්බ්ර් 19 වැනිදා පෘථිවිය අසලින් ගමන් කළේය. මෙම වස්තුවේ අසාමාන්‍ය ගමන් මග, වර්ණය, ප්‍රමාණය ආදිය සැලකිල්ලට ගනිමින් මෙය පිටසක්වළ යානයක් යැයි ද අනුමාන කෙරුණි.

අගෝස්තු 7: ඇල්ෆා සෙන්චූරි ඒ (Alpha Centauri A) තාරකාව වටා කක්ෂගතව ඇති බවට සැක කරන වායු යෝධ ග්‍රහලෝකයක් පිළිබඳ ප්‍රබල සාක්ෂි නාසා ආයතනය වාර්තා කළේය.

සැප්තැම්බර් 10: අඟහරු ග්‍රහයා මත විවියානයිට් (vivianite) සහ ග්‍රේගයිට් (greigite) යන ඛනිජ පවතින බව නාසා ආයතනය නිවේදනය කළේය.‍

සැප්තැම්බර් 17: තහවුරු කරන ලද 6,000 වන බාහිර ග්‍රහලෝකය (Exoplanet) සොයාගත් බව නාසා ආයතනය තහවුරු කළේය.

ෙනොවැම්බර් 27: ඇමෙරිකාවේ නාසා OSIRIS-REx මෙහෙයුම මගින් බෙන්නු (Bennu) ග්‍රහකයෙන් ගෙන එන ලද සාම්පල විශ්ලේෂණය කිරීමේදී, ප්‍රෝටීන සෑදීමට අවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ට්‍රිප්ටොෆෑන් (Tryptophan) එහි ඇති බව තහවුරු වීම.


RECOMMEND POSTS