‘සින්දූර්’ මෙහෙයුම

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ, පෙහෙල්ගාම් යනු සංචාරක ආකර්ශණයකි. පෙහෙල්ගාම් කොතරම් සුන්දරදැයි කියනවා නම්, මෙම පළාත හැඳින්වෙන්නේ ඉන්දියාවේ ස්විට්සර්ලන්තය යන නමිනි. පසුගිය 22 වැනිදා පෙහෙල්ගාම් පළාතේ, බයිසරාන් නිම්නයේ සිටි සංචාරකයෝ පිරිසක් ඒ.කේ. 47 ගිනි අවිවලින් සන්නද්ධ ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවූහ. තමුන් හින්දුවරුන්දැයි විමසමින්, එම ත්රස්තයෝ, සංචාරකයන් පිරිස අතරේ සිටි සැමියන්, බිරියන් ඉදිරියේ වෙඩි තබා ඝාතනය කළහ. එසැණින්, සංචාරක පිරිස අතරේ සිටි බිරියන් වැන්දඹුවන් බවට පත් විය. 26 දෙනෙක් අමුඅමුවේ ඝාතනය වූහ. එයින් 25 ක් ඉන්දීය සංචාරකයන්ය.
හින්දු සම්ප්‍රදායට අනුව සැමියා, බිරියගේ නළලේ සින්දූර් තැවරීම කරන්නේ දෙදෙනාගේ විවාහ බැඳීම ශක්තිමත් කරමිණි. සැමියා අහිමි බිරිඳක සින්දූර් තැවරීමක් සිදු කරන්නේ නැත. පෙහෙල්ගාම් ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දීය හමුදාව සැලැසුම් සහගතව පාකිස්තානයේ ඉලක්ක නවයකට පසුගිය හය වැනිදා ප්‍රහාර එල්ල කළේය. පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ලෂ්කාර් ඊ තයිබා ද ඇතුළු සෙසු ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්යන් ඉලක්ක කර ගනිමිනි. ඉන්දියාව, පාකිස්තානයට එරෙහිව ආරම්භ කළ එම මෙහෙයුම ‘සින්දූර්’ යනුවෙන් නම් කෙරුණි.
‘සින්දූර්’ මෙහෙයුමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය විය. ඔබ මේ ලිපිය කියවද්දී පවා හටගත් එම ගැටුම්කාරී තත්වය ඔඩුදවමින් ඇත. අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ජාත්‍යන්තරය ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දී ඇත. මේ අතර, තමන්ට ද යුද්ධයක් අවශ්‍ය නැතැයි ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද පවසා ඇත.
ඉන්දීය ගුවන් හමුදාවේ මූලිකත්වයෙන්, ‘සින්දූර්’ මෙහෙයුම ආරම්භ වූයේ 7 වැනිදා අලුයම කාලයේය. එය පැය දෙකකට සීමා විය. පළමු මිනිත්තු 25 දී පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්කවලට තමන් පහර දුන් බව ඉන්දියාව පවසයි. පාකිස්තානය චෝදනා කරන්නේ ඉන්දියාවේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 36 දෙනකු මියගොස් ඇති බවය. ඉන්දීය හමුදා පාකිස්තානයේ අභ්‍යන්තරයට මෙලෙස ප්‍රහාරයක් එල්ල කළේ වසර ගණනාවකට පසුවය.
ඉන්දියාව, පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත්තේ ප්‍රංශයෙන් ලැබුණු ‘රෆායෙල්’ වර්ගයේ අති නවීන ප්‍රහාරක ජෙට් යානා බව පැවැසෙයි. ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි පසුගිය දින කීපය පුරාවට පාකිස්තානය සූදානමින් සිටියේය. ඒ අනුව, ප්‍රහාරයට පැමිණි ඉන්දීය ප්‍රහාරක යානා පහක් තමන් බිම හෙලූ බව පාකිස්තානය කියයි. ඉන්දියාවෙන් එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ජාතිය අමතමින් පවසා ඇත්තේ ඉන්දියාවට සුදුසු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවය. ඉන්දියාව පාකිස්තානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරද්දී, ප්‍රතිප්‍රහාර එල්ල කරමින්, ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට තම හමුදා සමත් වීම පාකිස්තානය ඉන්දියාවට ලබා දුන් හොඳ පිළිතුරක් බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් පැහැදිලි කර ඇත.
ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික අවිවලින් සමන්විත රාජ්‍යයන්ය. හටගත් ගැටුම්කාරී තත්වය තවත් උත්සන්න වීම වළක්වා ගන්නැයි ජාත්‍යන්තරය ඉල්ලීම් කරන්නේ එහෙයිනි. ඉන්දියාව පළමු වරට න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළේ 1974 වසරේ මැයි මාසයේත්, 1998 වසරේ මැයි මාසයේත්ය. ඉන්පසු තවත් න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් සිදු කළ අතර, ඉන්පසු තමන් න්‍යෂ්ටික අවි බලය ඇති රටක් යැයි ඉන්දියාව ලොවට නිවේදනය කළේය. පාකිස්තානය ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම් කළේ 1998 දීය. ඒ නිල වශයෙන් න්‍යෂ්ටික බලයෙන් සවිමත් රටක් බව ලොවට පෙන්වමිනි. එදා පටන් රටවල් දෙකම, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් මුදල් වැය කරන්න විය. ඉන්දියාව සතු න්‍යෂ්ටික අවි ගණන 160 කි. පාකිස්තානය සතු න්‍යෂ්ටික අවි ගණන 165 කි. රට රටවල යුද ශක්තිය පෙන්වන, මෙම 2025 ගෝලීය යුධ බල දර්ශකය අනුව, යුද ශක්තිය අතින් ලොව සිවුවැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවය. පාකිස්තානය සිටින්නේ 12 වැනි ස්ථානයේය. ඉන්දියාව සතුව කිලෝ මීටර් 5,200 ක දුරක් විදිය හැකි අග්නි-5 මිසයිල ඇත. අග්නි 6 මිසයිලය නිපදවමින් පවතින බවට ද වාර්තා පළ වෙයි. පාකිස්තානය සතු බැලැස්ටික මිසයිලය ෂාහීන් 3 ය. මෙයට යා හැකි යැයි පැවැසෙන්නේ කිලෝ මීටර් 2,750 ක දුරක් පමණි. පාකිස්තාන හමුදාව මෙම මිසයිලය වැඩි දියුණු කරමින් සිටින බවත්, එහි දුර කිලෝ මීටර් 3,000 තෙක් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.
කාශ්මීරය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ අතීතයේ අවස්ථා කීපයකදී ගැටුම් නිර්මාණය විය. ඇතැම් ගැටුම් දින ගණනකට ද ඇතැම් ගැටුම් පැය කීපයකට ද සීමා විය. ඒ සෑම අවස්ථාවකදීම සෙසු ලෝක බලවතුන් නිහඬව සිටියත්, මෙවර ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ මහා පරිමාණයේ යුද ගැටුමක් නිර්මාණය වුවහොත් තත්වය ඊට වඩා වෙනස් වනු නිසැකය. ඊට හේතුව ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ හටගන්නා ගැටුමක් කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ද විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වන බැවිනි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හේතුවෙන්, චීනය සමඟ ගනුදෙනු කළ ආසියානු රටවල් බොහොමයක් මේ වනවිට චීනය මඟ හැර ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීම පවා චීනයේ උදහසට හේතුවක් වී ඇත. ඒ අනුව, යුද ගැටුම් ඇවිළී ගියහොත්, පාකිස්තානයට චීනයේ සහාය හිමිවනු ඇත්තේ චීනය, ඉන්දියාවේ ආර්ථික වර්ධනයට අභියෝගය කිරීමක් ලෙසය.
සාමකාමී අයුරින් අර්බුදය අවසන් නොවී, යුද ගැටුම් උත්සන්න වුවහොත්, නේටෝ සාමාජිකයකු වන තුර්කිය ද පාකිස්තානයට සහාය දැක්වීමට ඉදිරිපත් වනු ඇත. ඒ ඉන්දු කාශ්මීර අර්බුදයේ දී තුර්කිය සැමවිටම පාකිස්තානයට සහාය දක්වන බැවිනි. සෞදි අරාබිය ඉන්දියාව සමඟත් පාකිස්තානය සමඟත් සහයෝගයෙන් කටයුතු කරන බැවින් ඔවුන් මධ්‍යස්ථව සිටිනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ තම මිතුරා පාකිස්තානය නොව ඉන්දියාව බවත්, තමන්ගේ සහාය හැමවිමට හිමිවන්නේ ඉන්දියාවට බවත්ය. ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල සහාය හිමිවනු ඇත්තේ ද ඉන්දියාවටය. රුසියාව ද සහාය දෙනු ඇත්තේ ඉන්දියාවටය.
එන්.ඩී.ටීවී. ඇසුරිනි

