‘ලාල් කිලා’ කාර් බෝම්බය

‘ලාල් කිලා’ හෙවත් රතු බලකොටුව, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටා ඇති ඓතිහාසික ස්මාරකයකි. මෙය ලෝක උරුමයක් ද වෙයි. 17 වැනි සියවසේ ෂා ජහාන් මෝගල් අධිරාජ්‍යයාගේ උපදෙස් අනුව මෙය ඉදි කර ඇත. ෂා ජහාන් වඩාත් ප්‍රසිද්ධ, රතු බලකොටුව සම්බන්ධයෙන් නොව, ටාජ් මහල සම්බන්ධයෙනි. ‘ලාල් කිලා’ රතු බලකොටුව යනුවෙන් හැඳින්වෙන්නේ එහි රතු වර්ණය නිසාය. මෙය නිර්මාණය කර ඇත්තේ රතු වැලිගල්වලිනි.
අද රතු බලකොටුවට සහ ඒ අවට කලාපයට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව හිමිවෙයි. බලකොටුව නැරැඹීමට පැමිණෙන්නන් පවා දැඩි ලෙස සෝදිසි කිරීමකට ලක් වෙයි. රතු බලකොටුව සහ ඒ අවට සෑම තැනකම සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇත. තැනින් තැන මාර්ග බාධක යොදා ඇත. සෑම වසරකම අගෝස්තු 15 වැනිදා ඉන්දියාව නිදහස් දින සැමරුම් උත්සවය පවත්වන්නේ ද මෙම රතු බලකොටුව ආශ්‍රිතවය. මෙතරම් ආරක්ෂාවක් තිබියදී පවා, රතු බලකොටුවට නුදුරින්, ‘ලාල් කිලා’ මෙට්‍රෝ උමං දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ පසුගිය 10 වැනිදා රාත්‍රියේ මහා පිපිරීමක් සිදුවිය. පුපුරා ගියේ කාර් බෝම්බයකි.
‘ලාල් කිලා’ මෙට්‍රෝ උමං දුම්රිය ස්ථානය ඉදිරිපිට මෙම මාර්ගය පමණක් නොව, අවට සෙසු මාර්ග ද පැය 24 පුරාම කාර්යබහුලය. පිපිරීමට හසුවීමෙන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ කුරිරු ක්‍රියාවක් යැයි පසුව අනාවරණය විය. පුපුරා ගිය කාර් බෝම්බයට හසුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 ක් යැයි පැවැසිණි. පිපිරුමෙන් අවට මෝටර් රථවලට හානි විය. නිවාස සහ ගොඩනැගිලිවලට හානි විය. පිපිරුමේ ප්‍රබලත්වය කිලෝ මීටරයක් දුරට දැනුණි.
කාර් බෝම්බකරු හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබුණි. බෝම්බකරු උමාර් මොහොමද් ය. මුස්ලිම් ජාතිකයෙකි. වෛද්‍යවරයෙකි. උමාර් මොහොමද්, 1989 පෙබරවාරි 24 වන දින උපත ලැබූ බවත්, ඔහු ජම්මු - කාශ්මීරයේ පුල්වාමා නුවර අල්ෆලා වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බවත් ආරක්ෂක අංශ පවසයි. නවදිල්ලි ප්‍රහාරයට කාර් බෝම්බ පිපිරීමට පැය කීපයකට පෙර, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත යැයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණි. ඒ අනුව ආරක්ෂක අංශ, ජම්මු - කාශ්මීරයේ කළ වැටලීම්වලින්, ජයිෂ් ඊ මොහොමද් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැකපිට තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණි. මේ දෙදෙනා ද වෛද්‍යවරුන්ය. වෛද්‍ය ආදිල් අහමද් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් යනු ඔවුන් දෙදෙනාය.
වෛද්‍ය ආදිල් අහමද් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් යන දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී, නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද් නගරයේ කුලී නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900 ක් සොයා ගැනුණි. ඊට අමතරව, උමාර් මොහොමද් නමැති තෙවැනි වෛද්‍යවරයා ගැන ද තොරතුරු දැනගන්න ලැබුණි. උමාර් මොහොමද් ගැන දැනගත්තත්, ඔහු සිටින්නේ කොහෙදැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි විය. ඒ වනවිටත් උමාර් මොහොමද් පුපුරන ද්‍රව්‍ය පුරවාගත් සුදු පැහැති හයිඋන්ඩායි මෝටර් රියෙන් දිල්ලි අගනුවර බලා පැමිණෙමින් තිබුණි. වෛද්‍ය ආදිල් අහමද් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් යන දෙදෙනා අල්ලා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් වුණු බැවින්, වෛද්‍ය උමාර් මොහොමද්, බියට සහ කලබලයට පත් වී, නවදිල්ලියට පැමිණ, කාර් බෝම්බය පුපුරුවා ගන්න ඇතැයි පසුව අනුමාන කෙරුණි.
වෛද්‍යවරුන් ත්රස්තවාදීන් වූයේ කෙසේද? මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූයේ කෙසේද? මුස්ලිම් ජාතිකයන් වුවත්, වෛද්‍යවරුන් ලෙස මොවුන්ට ලැබී තිබුණු පිළිගැනීම සහ ගෞරවය නිසා, මොවුන්ට සැකයකින් තොරව ඉන්දියාවට පැමිණීමට ඉඩ ලැබුණු බව ආරක්ෂක අංශ පැහැදිලි කරයි. කෙසේ නමුත්, දිල්ලි බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ මුස්ලිම් වෛද්‍යවරුන් සියලු දෙනා සම්බන්ධයෙන් සැකයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.
නවදිල්ලි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුට කිසිදු සමාවක් නොදෙන බවටත්, ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා සොයා ඔවුන්ට දඬුවම් කරන බවටත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී ඇත. කාර් බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවන්නේ ‘ඉන්දීය ෆෙඩරල් විමර්ශන ඒජන්සිය’ මැදිහත් වෙමිනි. පොලිසියේ සහාය එම ඒජන්සියට හිමිවෙයි. ඉන්දියාවට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්රස්තයන්ය. එවැනි ත්‍රස්ත කල්ලි කීපයක් සිටී. මෙම කල්ලි, ත්‍රස්ත කල්ලි ලෙස නම් කර ඇත්තේ, ඉන්දියාවේ නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේය. ලෂ්කර්-ඊ-තයිබා, ජයිෂ් ඊ මොහොමද්, හිස්බුල් මුජහිදීන් සහ ඉන්දියන් මුජහිදීන් යනු කාශ්මීරය කේන්ද්‍රකොටගත් ත්‍රස්ත කල්ලිය. මෙම ත්‍රස්ත කල්ලි බිහි වී ඇත්තේ කාශ්මීරය මුල්කොට ගනිමින් ඉන්දු පාකිස්තාන අර්බුදය හේතුවෙනි. කාශ්මීරය, ඉන්දීයාවට අයත් කාශ්මීරය යනුවෙන් සහ පාකිස්තානයට අයත් කාශ්මීරය යනුවෙන් කොටස් දෙකකි. ලෂ්කර් ඊ තයිබා, ජයිෂ් ඊ මොහොමද්, හිස්බුල් මුජහිදීන් සහ ඉන්දියන් මුජහිදීන් යන ත්‍රස්ත කල්ලිවලට පාකිස්තාන රජයේත්, පාකිස්තාන හමුදාවේත් සහාය හිමිවන බවට ඉන්දියාව චෝදනා නගයි. පාකිස්තාන රජය හෝ හමුදාව එම චෝදනා සැමවිටම ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිදුවුණු කාර් බෝම්බ පිපිරුම, කලාපීය වශයෙන් නව අර්බුදයකට මුල පිරීමක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති. එය ඉන්දු පාකිස්තාන අවි ගැටුමක් තෙක් දුරදිග යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි. පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවත් පාකිස්තානයත් කෙහෙවලු පටලවා ගත්තේ, ඉන්දු කාශ්මීරයේ පහල්ගම් පළාතේ ඉන්දීය සංචාරකයන් පාකිස්තාන බෙදුම්වාදී ත්රස්තයන් අතින් ඝාතනය වීමත් සමඟය. ඉන්දියාව, ‘සින්දූර්’ හමුදා මෙහෙයුම ක්‍රියාවට නංවා, පාකිස්තානයේ ඉලක්ක වෙත පහර දුන්නේ, එම ත්‍රස්ත ප්‍රහාරයට පළිගැනීමක් ලෙසය. ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික අවිවලින් සමන්විත ආසියානු රටවල්ය. මෙම රටවල් දෙකම අප ශ්‍රී ලංකාවේ සමීප මිතුරන්ය. ඉකුත් අප්‍රේල් මාසයේ දී ඉන්දියාව සහ පාකිස්තානය අතරේ හටගත් ගැටුම සමතයකට පත් කළේ තමා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එහි සත්‍යතාවක් ඇත. ට්‍රම්ප් එම අවස්ථාවේදී ඉන්දීය රජයටත්, පාකිස්තාන රජයටත් සුරකතන ඇමතුම් ලබා දී පැය ගණනක් එම යුද ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඉන්දු පාකිස්තාන යුද්ධය නැවැත්වූයේ තමා යැයි ට්‍රම්ප් කරන ප්‍රකාශය පාකිස්තානය එසේ යැයි කියමින් පිළිගනිමින්, ට්‍රම්ප්ට ප්‍රසංශා කර ඇති නමුත්, ඉන්දියාව කිසිම අවස්ථාවක ට්‍රම්ප්ගේ මැදිහත් වීමක් ගැන සඳහන් කර නැත.
මේ වනවිට ඇෆ්ගන් තලේබාන් රජය, ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගෙන ඇත. මෙය ද කලාපීය වශයෙන් අර්බුදයකට හේතුවක් වී ඇත. මෙය දශක ගණනක් තිස්සේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරේ ඇයිහොඳයිකම්වලට ද බාධාවක් වී ඇත. නවදිල්ලි කාර් බෝම්බ ප්‍රහාරයෙන් දිනකට පසු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එය ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව අනාවරණය විය. බෝම්බය පුපුරා ගියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් ඉදිරියේය. ප්‍රහාරයෙන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 27 දෙනකු බවත් පාකිස්තාන පැවැසිණි. එම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් ත්රස්තවාදීන් විසින් බාරගනු ලැබුණි. ඇෆ්ගන් තල්බාන්වරුන් සහ පාකිස්තාන තලේබාන්වරුන් වර්ග දෙකකි. ඔවුන් වෙනස් වන්නේ ඔවුන් දරණ මත අනුවය. පාකිස්තාන තලේබාන්වරුන්ගේ අරමුණ පාකිස්තාන රජයට එරෙහිව යෑම සහ රජය අස්ථාවර කිරීමය.
ඇෆ්ගන් තලේබාන්වරුන් පාකිස්තාන තලේබාන්වරුන්ට අනුග්‍රහය සහ රැකවරණය දෙන බවට පාකිස්තානය රජය චෝදනා කරයි. මෙය පාකිස්තාන රජයේ උදහසට හේතුවක් වී ඇති අතර, මේ වනවිට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ දේශසීමා හරහා අවි ගැටුම් පවා සිදුවෙයි. ඇෆ්ගන් තලේබාන්වරුන්, එරට බලය අල්ලා ගත්තේ 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. 2021 වසරේ ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිද්දී, භාවිතයට ගත් බග්රාම් හමුදා කඳවුර යළි ඇමෙරිකාවට දෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගන් තලේබාන් රජයෙන් ඉල්ලා ඇත. ඇෆ්ගන් තලේබාන් රජය එකපයින් එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, ඇෆ්ගන් තලේබාන්වරුන් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ ද අර්බුදයක් නිර්මාණය වී ඇත.
බීබීසී ඇසුරිනි

