හූතිවරු සටනට එති

ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධයට මාසයක් සපිරෙද්දී, ඊශ්‍රායලය ඉකුත් 28 වැනිදා ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේය. ඉරානයේ ෂහීම් කොන්ඩාබ් ජල බලාගාරයට සහ අර්ඩකාන් යෙලෝකේක් නිෂ්පාදන කර්මාන්තශාලාවට පහර මිසයිල එල්ල විය.
අර්ඩකාන් යෙලෝකේක් නිෂ්පාදන කර්මාන්තශාලාව යනු යුරේනියම් බලගැන්වීම සිදු කරන ප්‍රධාන කර්මාන්තශාලාවකි. යුරේනියම් බල ගැන්වීම යනු ඉතා සරලව කිවහොත්, ස්වභාවිකව ලැබෙන යුරේනියම්වල ඇති පරමාණු වර්ගයක සාන්ද්‍රණය වැඩි කිරීමේ ක්‍රියාවලියයි. පරමාණු බලශක්තිය සඳහා යුරේනියම් බල ගැන්වීම සිදු කළ යුතුය.
ඉරානයේ ඉස්ෆහාන් සහ අහ්වාස් පළාත්වල පිහිටි වානේ කර්මාන්ශාලාවලට ද ඊශ්‍රායල හමුදාව පහර දුන්නේය. ඉරානය, මැද පෙරදිග කලාපයේ විශාලතම වානේ නිෂ්පාදකයා වන අතර, ලෝකයේ ප්‍රධාන වානේ නිෂ්පාදකයන් අතර ද කැපී පෙනෙන ස්ථානයක සිටී. වානේ කර්මාන්තය, ඉරාන රජය විසින් අත්‍යවශ්‍ය කර්මාන්තයක් ලෙස සලකනු ලබනු අතර, බටහිර සම්බාධක හේතුවෙන් තෙල් අපනයනය මත පවතින සීමා කිරීම් නිසා ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට සහ විදේශ විනිමය ලබා ගැනීමට වානේ අපනයනය උපකාරී වෙයි.
ඉරානයේ බුෂේර් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය අසලට ද ඊශ්‍රායල හමුදා මිසයිල එල්ල විය. එම ප්‍රහාරයෙන් බලාගාරයට හානියක් සිදු නොවුණු අතර, ජීවිත හානි කිසිවක් ද සිදු නොවුණු බව පැවැසෙයි. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය බිය පළ කරමින් පවසා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ඉතාමත් අනතුරුදායක බවත් නිකිරණ කාන්දුවක් වීමට ඉඩ ඇති බවත්ය. ඉරානයේ බුෂේර් න්‍යෂ්ටික බලාගාරය යනු එරට පමණක් නොව සමස්ත මැදපෙරදිග කලාපයේම ඉදි වූ ප්‍රථම සිවිල් න්‍යෂ්ටික බලාගාරයයි. මෙය ඉරානයේ පර්සියානු බොක්ක වෙරළ තීරයේ පිහිටා තිබේ.
යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇගවීමක් කළේය. එමෙන්ම, ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, ඉරාන විප්ලවීය හමුදාව, මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඉරාන හමුදාවේ පළමු ඉලක්කය වූයේ ඊශ්‍රායලයේ ඉලක්කයක් නම් නොවෙයි. ඉරාන මිසයිලවල ඉලක්කය වූයේ සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරය. ඒ ඇයි? සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර යනු මැදපෙරදිග කලාපයේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් හමුදා මධ්‍යස්ථානයකි. මෙය පිහිටා ඇත්තේ සෞදි අරාබියේ අල්-ඛර්ජ් ප්‍රදේශයේ, එනම් රියාද් අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 80 ක් පමණ ඈතිනි. මෙම කඳවුර, ලෝකයේ අවධානයට ලක්ව ඇත්තේත් ඇමෙරිකන් ගුවන් හමුදාව මෙහි රැඳී සිටීමය. මෙම කඳවුර ඉරාන මිසයිලවල ඉලක්කය වූයේ ද ඒ නිසාය.
1990 දශකය මුල් භාගයේදී ඉරාකයට එරෙහි යුද මෙහෙයුම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ මෙම ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරය. 2003 දී ඇමෙරිකන් හමුදා මෙම කඳවුරෙන් ඉවත් වුවද, 2019 දී ඉරානය සමග පැවැති දැඩි නොසන්සුන්තා (විශේෂයෙන් සෞදි තෙල් පිරිපහදුවලට එල්ල වූ ප්‍රහාර) හේතුවෙන් ඇමෙරිකන් හමුදා නැවතත් මෙම කඳවුරේ ස්ථාපිත කෙරිණි. පෙරේදා (28 වැනිදා) ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් 10 දෙනෙක් තුවාල ලැබූහ. ඉන්ධන පිරවීමට යොදා ගන්නා ඇමෙරිකන් හමුදා ගුවන් යාන හතරක් විනාශ විය. මේ බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය තහවුරු කර තිබේ.
එම ප්‍රහාරයෙන් පසු ඉරානය, ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඊශ්‍රායල පොලිසිය පැවැසුවේ, ටෙල් අවීව් අගනුවරට එල්ල වුණු මිසයිලවලින් එක් සිවිල් වැසියකු මියගිය බවත්, තවත් හත් දෙනකු තුවාල ලැබූ බවත්ය. ගැටුම් උත්සන්න වෙද්දී, දකුණු ලෙබනන් වැසියන්ට ඊශ්‍රායලය අනතුරු ඇඟවීම් කළේ වහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙසටය. සෙහෙරානි ගංගාවෙන් උතුරට යන්නැයි ඊශ්‍රායලය ලෙබනන් වැසියන්ට උපදෙස් දුන්නේය. ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඉරානයට සහාය දක්වන බැවිනි.
දකුණු ලෙබනනයේ මාධ්‍ය ලාංඡන සහිතව ගමන් කරමින් තිබූ කැබ් රථයකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනකු සහ සහන සේවකයකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය. මෙම රථයට ඊශ්‍රායල හමුදාව මිසයිල 4 ක් එල්ල කළ බව පැවැසෙයි. එම මිසයිල ප්‍රහාරයෙන් අල් මායදීන් රූපවාහිනී නාලිකාවේ ෆාතිමා ෆ්ටූනි සහ ඇගේ සොහොයුරු මාධ්‍යවේදී මොහොමඩ් ෆ්ටූනි මෙන්ම අල් මනාර් නාලිකාවේ අලි ෂුඅයිබ් මියගිහය. වෘත්තීය මට්ටමින් රාජකාරියේ නිරත සිවිල් වැසියන් ඉලක්ක කිරීම හරහා ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවට ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් චෝදනා කළේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.
ඉරානය ආශ්‍රිතව පවතින උණුසුම්කාරී වාතාවරණය සහ ගැටුම් සමනය කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සඳහා සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් ඊයේ (29) පකිස්තානය බලා ගියහ. පාකිස්තාන විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව අද (30) විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි. මේ වනවිට ඇමෙරිකාවේ ද මැදිහත් වීමෙන් හටගෙන ඇති යුද අර්බුදය අවසන් කිරීමේ ‘බර’ පාකිස්තානය මත පැටවී ඇත. පාකිස්තානය සාම නියෝජිතයකු ලෙස අර්බුදයට පැටලී සිටී. ඉරානය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය සහ කලාපීය සාමය තහවුරු කිරීම සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳව විදෙස් අමාත්‍යවරුන් දීර්ඝ වශයෙන් අද (30) දිනයේ සාකච්ඡා කෙරෙනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම්, අදාළ පාර්ශ්ව අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ. ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් මෙසේ අවධාරණය කළේ, විදෙස් අමාත්‍යවරුන්ගේ හමුවට පෙර, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකදීය. පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දෙරටේම දායකත්වය සහ ඒ සඳහා පවතින බාධක ජය ගැනීම පිළිබඳව ද නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණු බවය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මේ වනවිට මැදපෙරදිග කලාපයේ සංචාරයක නියැලෙයි. ඔහු සෞදියට සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ගොස්, එම රටවලට යුක්රේනය සතු ඩ්‍රෝන තකාක්ෂණය ලබා දීමට කැමැත්ත පළ කළේය. ඒ, ඉරානයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ ආරක්ෂාව සලසා ගැනීමේ අරමුණින්ය. ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය හේතුවෙන් ලොවට අමතක වුවත්, රුසියාව සහ යුක්රේන අතර යුද්ධය දිගටම සිදුවෙයි. ලෝකයේ අවධානය වෙනතකට යොමු වෙද්දී අංශ රැසකින් රුසියාව ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටින බව ද පැවැසෙයි.
ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධය සම්බන්ධයෙන්, ඊශ්‍රායල විපක්ෂය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයට චෝදනා නගා ඇත. ඒ කිසිදු පැහැදිලි සැලැස්මක් නොමැතිව ඊශ්‍රායල හමුදාව හතරවටේ ප්‍රහාර එල්ල කරන බව පෙන්වා දෙමිණි. එයින් සිදුවන්නේ ඊශ්‍රායල හමුදාව දුර්වල වීමක් යැයි ඊශ්‍රායල විපක්ෂය පෙන්වා දී ඇත. මේ වනවිට ඉරානයෙන් එල්ල වන ප්‍රබල මිසයිල වළක්වා ගැනීමට ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධති අසමත් වී ඇත. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මාධ්‍ය හමුවේ අවධාරණය කළේ ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියාමාර්ගය අතරමග අවසන් නොකරන බවය. එම හමුදා ක්‍රියාමාර්ගය සති කීපයක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය. දිගු කාලීන යුද්ධයකට යෑමට ඇමෙරිකාව අකමැති බව ද පෙන්වා දුන්නේය. ඇමෙරිකන් හමුදා භටයන් ගොඩබිමින් ඉරානයට යැවීමක් නොකර, ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට හැකියාව ඇතැයි ද රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කළේය. රාජ්‍ය ලේකම්වරයා මෙසේ පැවැසුවත්, ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා ඇත්තේ ඊට පරස්පර විරෝධී දෙයකි. ඉරානය ඉලක්ක කර ගනිමින් සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත ගොඩබිම් යුද මෙහෙයුමක් සඳහා තමන් සූදානම් යැයි පෙන්ටගනය පවසා ඇත. අදාළ යුද සැලසුම් මේ වන විටත් සකස් කර අවසන්ව ඇති බව පෙන්ටගනය පැහැදිලි කර ඇත. මෙම දැවැන්ත හමුදා ක්‍රියාමාර්ගය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දුන් සැණින් එය ක්‍රියාවට නැංවෙනු ඇත.
ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකාව සතුව තවත් ඉලක්ක 3,554ක් ඉතිරිව ඇති බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයට මසක් සපිරෙන්නට ආසන්නව තිබියදී, ඉරානය සතු දැවැන්ත මිසයිල බලයෙන් විනාශ වී ඇත්තේ තුනෙන් එකක (1/3) ප්‍රමාණයක් පමණක් බව ට්‍රම්ප් අවධාරණය කර තිබේ. මේ අතර, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ දුරකතන සාකච්ඡාවක් ද පැවැත්විණි. ඒ, ඉරාන අර්බුදය මුල්කොට ගනිමිනි. එම සාකච්ඡාවට තෙවැනි පාර්ශ්වයක් ද සම්බන්ධ වූ බව පැවැසෙයි. ඒ, ලොව අංක එකේ බිලියනපති, ව්‍යාපාරික ඉලොන් මස්ක්ය. කෙසේ නමුත් ධවල මන්දිරය ඒ බව තහවුරු කර නොමැත. ට්‍රම්ප් සහ මෝදි සාකච්ඡා සිදුවෙද්දී ඇමෙරිකන් එෆ්බීඅයි කාර්යාංශයේ ප්‍රධානී, කැෂ් පටෙල්ගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම ඉරානය සමග සම්බන්ධකම් පවත්වන හන්ඩාලා හැක් ටීම් නමැති හැකර් කණ්ඩායමේ ප්‍රහාරයකට ද ලක්විය. ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධයට මාසයක් ගතවී, සිදුවීම් එකිනෙක මෙසේ පෙළ ගැසෙද්දී, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් නිකුත් විය. ඒ, යේමනයෙනි. යේමනයේ හූතිවරුන්ගෙනි.
“දෙවියන් ශ්‍රේෂ්ඨයි, ඇමෙරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය, යුදෙව්වන්ට ශාප වේවා, ඉස්ලාමයට ජයවේවා.” මේ, හූතිවරුන්ගේ සටන් පාඨයයි.
ඉරානයට දිගින් දිගටම ඊශ්‍රායලය සහ ඇමෙරිකාව පහර දෙන්නේ නම්, තමන් ඉරානයට සහාය දක්වමින්, සටනට අවතීර්ණ වන බව හූතිවරු ඉකුත් 28 වැනිදා අනතුරු ඇඟවීමක් කළා පමණක් නොව, මේ වනවිට ඔවුන් ඊශ්‍රායල ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අවසන්ය. බිහිසුණු සන්නද්ධ කණ්ඩායමක් මෙන්ම, ගල්ෆ් කලාපයේ අසල්වැසි රටවලට පහර දීමේ හැකියාව ඇති හූති සටන්කාමීන් මෙම ගැටුමට සම්බන්ධ වීම, අරාබි අර්ධද්වීපය අවට සමුද්‍රීය ගමනාගමනයට දැඩි බාධාවක් ඇති කළ හැකි බව රහසක් නොවෙයි. දැනටමත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාහේ වසා දැමීම හේතුවෙන් ගෝලීය වෙළඳාම දැඩි අර්බුදයකට ලක්ව අවසන්ය.
හූතිවරුන්ගේ නිල නාමය අන්සාරුල්ලාහ් ය. මෙහි තේරුම දෙවියන්ගේ සහායකයෝ යන්නය. 1990 දශකයේ මුල් භාගයේදී උතුරු යේමනයේ සාදා පළාත කේන්ද්‍ර කරගනිමින් හූතිවරුන්ගේ ආරම්භය සිදුවිය. ඒ, කුඩා සන්නද්ධ කල්ලියක් ලෙසය. හූතිවරුන්ගේ නිර්මාතෘ හුසේන් අල්-හූතිය. හූති යනු ඔහුගේ වාසගමය. සන්නද්ධ කල්ලිය ද ඒ නමින් හැඳින්වීම සිදුවිය. හූතිවරුන් ෂියා මුස්ලිම් සයිදි නිකායිකයන්ය. ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යය යන්නේ ඉරානයයි. යේමනයේ දශක ගණනාවක් පැවති සුන්නි මුස්ලිම් පාලනයට සහ සෞදි අරාබියේ ආගමික බලපෑමට එරෙහිව සිය අනන්‍යතාවය රැක ගැනීම හූතිවරුන්ගේ ආරම්භයයි. කුඩා කල්ලියක් ලෙස ආරම්භ වුණු හූතිවරුන්, උතුරු යේමනය කේන්ද්‍ර කරගත් සන්නද්ධ දේශපාලන සහ ආගමික ව්‍යාපාරයක් බවට පත් විය. 2004 දී යේමන රජය සහ හූතිවරුන් අතර සන්නද්ධ ගැටුම් ආරම්භ විය. මෙහිදී හුසේන් අල්-හූති මියගිය අතර, ඔහුගේ සහෝදරයා වන අබ්දුල්-මලික් අල්-හූති වර්තමාන නායකත්වය දරයි. එ් අනුව, හූතිවරුන්ට යේමන හමුදාව සමඟ ගරිල්ලා යුද්ධ කළ ඉතිහාසයක් ඇත.
2011 දී අරාබි වසන්තය නමැති විරෝධතා රැල්ල අසල්වැසි රටවල පැතිර යද්දී, හුතිවරුන් ද ඔවුන්ගේ බලය ව්‍යාප්ත කර ගන්නට විය. ඒ ඉරානය සමග සමීප සබඳතා ගොඩනඟා ගනිමිනි. රට තුළ පැවති අස්ථාවර භාවය ප්‍රයෝජනයට ගත් හූතිවරු 2014 වසරේදී යේමනයේ අගනුවර වන සානා අල්ලා ගත්හ. එවකට යේමනයේ සිටි සෞදි හිතවාදී ජනාධිපති මන්සූර් හාඩිට රටින් පලා ගියේය. සොෟදිය හුතිවරුන් මර්දනයට යේමන රජයට සහාය පළ කළේ හමුදාව යැවීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ද සෞදියට හිමිවිය. යේමනයට දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල විය. ඒ අනුව, 2015 වසරේ ආරම්භ වී වසර ගණනාවක් පුරා පැවති යුද ගැටුම ලොව දරුණුතම මානුෂීය අර්බුදයන්ගෙන් එකකට තුඩු දුන් අතර, 2022 වසරේදී එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් යේමනයේ ගැටුම්කාරී පාර්ශ්වයන් අතර සටන් විරාමයක් ඇති කර ගැණුනි. එතැන් සිට මේ දක්වා එම සටන් විරාමය අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද වනවිට හූතිවරු සැලකිය යුතුව මිසයිල සහ ඩ්‍රෝන ඇත. සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් ස්ථාපිතයන් සහ වැදගත් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකියාව ඔවුන් සතුව පවතී.
2023 වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ ඊශ්‍රායල-ගාසා යුද්ධයත් සමග හූතිවරුන් යළිත් වරක් ලෝක අවධානයට දැඩි ලෙස ලක්විය. ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය දැක්වීමක් ලෙස රතු මුහුද හරහා ගමන් කරන ඊශ්‍රායලයට සම්බන්ධ හෝ එම වරායන් වෙත යන නැව් වලට හූතිවරු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ලෝක වෙළඳාමෙන් සියයට 12 ක් පමණ සිදුවන මෙම මුහුදු මාර්ගය අඩාල වීම නිසා ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළේය. හූතිවරුන්, යේමනයේ හමාස් සංවිධානයට සහාය දක්වමින්, ඊශ්‍රායලයට එරෙහිව ද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබීය. ඇමෙරිකාව ද හූතිවරුන්ට එරෙහිව ප්‍රහාර දියත් කළේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හූතිවරුන් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේ මෙම අවස්ථාවේදීය. කෙසේ නමුත්, 2025 ඔක්තෝබර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසුව හූතිවරු ඔවුන්ගේ ප්‍රහාර නවත්වා දැමූහ. දැන් හූතිවරු යළි කරළියට පැමිණ සිටිති.
ඉකුත් මාර්තු 5 වැනි දින, හූති නායක අබ්දුල් මලික් අල්-හූති ප්‍රකාශ කළේ, ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, තම කණ්ඩායම ඉරානයට සහාය දක්වමින් ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවය. ඉරානය ඔවුන්ගේ කලාපීය බලය ව්‍යාප්ත කිරීම සඳහා සහ සෘජු යුද්ධයකින් තොරව තම සතුරන්ට බලපෑම් කිරීම සඳහා මැදපෙරදිග පුරා විවිධ සන්නද්ධ කණ්ඩායම් පවත්වාගෙන යනු ලබයි. මෙම කණ්ඩායම් පොදුවේ ඉරාන ප්‍රොක්සි (Iran's Proxies) ලෙස හඳුන්වනු ලබන අතර, මොවුන් ඉරානයේ ප්‍රතිරෝධයේ අක්ෂය (Axis of Resistance) ලෙස ද හැඳින් වෙයි. හූතිවරුන් ඉරානයේ සහාය ලබන ප්‍රතිරෝධයේ අක්ෂයට අයත් සාමාජිකයකු ලෙස සැලකෙයි. කෙසේ නමුත් දේශපාලන විහ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, හූතිවරුන්, ලෙබනනයේ හිස්බුල්ලා හෝ ඉරාක සන්නද්ධ කණ්ඩායම් මෙන් ඉරාන උත්තරීතර නායකයාට පූර්ණ ලෙස අවනත වන කණ්ඩායමක් නොවන බවය.
දේශපාලනික වශයෙන් ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය සමඟ සමීප ලැදියාවක් පැවතියත්, හූති ව්‍යාපාරය මූලික වශයෙන් මෙහෙය වන්නේ යේමනයට ආවේණික වූ දේශීය අරමුණු මත පදනම්ව බව දේශපාලන විහ්ලේෂකයෝ පෙන්වා දෙති. හිස්බුල්ලා සහ ඉරානය මගින් හූතිවරුන්ට අවි ආයුධ, මූල්‍ය ආධාර සහ පුහුණුව ලබා දෙන බවට ඇමෙරිකාව චෝදනා කළ ද, තමන් ඉරානයේ නියෝජිත කණ්ඩායමක් නොවන බවත්, තමන්ට අවශ්‍ය ආයුධ තමන් විසින්ම නිපදවා ගන්නා බවත් හූතිවරුන් අවධාරණය කර ඇත. ඒ අනුව, හූතිවරුන්ගේ ඉදිරි පියවර පිළිබඳව පුරෝකථනය කිරීම අසීරුය. ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් අපනයනය සඳහා රතු මුහුද මත දැඩි ලෙස යැපීමට සිදුවන තත්ත්වයක් උදාවුවහොත්, එය හූතිවරුන්ට තීරණාත්මක බලයක් ලැබෙනු නිසැකය. බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය සහ රතු මුහුදේ දකුණු කොටස හරහා ගමන් කරන නැව්වලට පහර දී නැව් ගමනාගමන කටයුතු අඩපණ කිරීමට හූතිවරුන්ට හැකි වීම ඊට හේතුවය.
අල් ජසීරා ඇසුරිනි

