හිමාල කඳු වැටිය අනතුරේ

විද්‍යාඥයන්ට අනුව, හිමාල කඳු වැටිය, අවුරුදු මිලියන 40 ක් හෝ 50 ක් පැරණිය. මිහිමත ඇති සෙසු කඳු වැටි සමග සැසැදීමේදී, ළාබාලතම කඳු වැටිය වන්නේ හිමාලයයි. ලෝකයේ පියස්ස ලෙස හිමාල කඳු වැටිය සැලකෙයි. එවරස්ට් කන්ද ඇතුළු, ලොව උසින් වැඩිම කඳු බොහොමයක් ඇත්තේ හිමාලයේය. එපමණක් නොව, ආසියාවේ මහා ගංගා ආරම්භ වන්නේ ද හිමාල කඳුකරයෙනි. පහළ නිම්නයේ රටවල් රැසක වැසියන්ගේ ජීව නාළිය හිමාල කඳුකරයෙන් පටන් ගන්නා මෙම මහා ගංගාය.
හිමාල අඩවිය පාමුල සහ හිමාල කලාපයට අයත් රටවල් වන්නේ, නේපාලය, භූතානය, ඉන්දියාව, පාකිස්තානය, චීන පාලනයට යටත් ටිබෙටයයි. නේපාලය, සම්පූර්ණයෙන්ම පාහේ හිමාල කඳු වැටිය සහ එහි පාමුල පිහිටා ඇත. භූතානය හිමාල කලාපයේ පිහිටි කඳුකර රාජ්‍යයකි. ඉන්දියාවේ උතුරු සහ ඊසානදිග පළාත් හිමාල අඩවියට අයත් වෙයි. පාකිස්තානයේ වයඹදිග පළාත් හිමාල පාමුල පිහිටයි. ටිබෙටය ඇත්තේ හිමාලයේ උතුරු මායිමේය.
හිමාල අඩවියෙන් ආරම්භ වී පහළට ගලා බසින ප්‍රධාන ගංගා එසේත් නැතිනම් නදී වන්නේ, ගංගා, සින්ධු, බ්‍රහ්මපුත්‍ර, මීකොං, සැල්වීන් සහ යැංසිය. ගංගා නදිය ආරම්භ වන්නේ, හිමාල අඩවියේ ගංගෝත්‍රි ග්ලැසියරයෙනි. ගංගා නදිය, ඉන්දියාව සහ බංග්ලාදේශය පසු කරමින්, බෙංගාල බොක්ක හරහා මුහුදට වැටෙයි. සින්ධු නදිය හිමාල අඩවියට උතුරින් පිහිටි ටිබෙට් සානුවේ මානසසරෝවර් ග්ලැසියර විල ආශ්‍රිතව ආරම්භ වෙයි. එය ටිබෙටය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් හරහා ගලා ගොස් අරාබි මුහුදට වැටෙයි.
හිමාලයේ උතුරු ටිබෙට් කලාපයෙන් ‘යාර්ලුං ට්සංපෝ’ ලෙස ආරම්භ වන බ්‍රහ්මපුත්‍ර නදිය, පිළිවෙළින් ටිබෙටය, ඉන්දියාව සහ බංග්ලාදේශය ඔස්සේ මුහුදට ගලා බසී. ටිබෙට් හිමාල සානුවෙන් ආරම්භ වන මීකොං නදිය රටවල් ගණනාවක් යා කරන දීර්ඝ ගංගාවකි. එය පිළිවෙළින් චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල් හරහා ගලා ගොස් දකුණු චීන මුහුදට වැටෙයි. ටිබෙට් හිමාල උස්බිම්වලින් ආරම්භ වන සැල්වීන් නදිය චීනය, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් හරහා ගලා බැස අන්දමන් මුහුදට එක් වෙයි.
ටිබෙට් හිමාල සානුවෙන්ම ආරම්භ වන යැංසි නදිය, චීනය හරහා පමණක් ගලා ගොස් අවසානයේ නැගෙනහිර චීන මුහුදට ගලා බසී. ඉකුත් දා, මුහුදක් පෙනෙන තෙක් මානයක නැති, නේපාලය සහ ටිබෙටය වැනසූ, සුනාමියක් බඳු ඒ බිහිසුණු ප්‍රචණ්ඩ මහා ජල කඳ හිමාල අඩවියේ සිට පහළ නිම්නයට ඇදී ආවේ, කිසිදු පෙර අනතුරු ඇඟවීමකින් තොරවය. ඊට බිලිවූ ගණන 400 කි.
විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් ඒ අතරේ සිටිති. අතුරුදන් ගණන දහස පසු කරයි. ජීවිත හානියට අමතරව සිදුවුණු දේපළ හානිය අති මහත්ය. මෙම බිහිසුණු සැඬ පහර ටිබෙටයටත්, ටිබෙටයට පහළින් ඇති නේපාලයටත් කඩා වැදුණේ හිමාල අඩවියෙන් ආරම්භ වන ගංගාවක් හරහාය. මෙම ගංගාව ටිබෙටය, නේපාලය හරහා ගොස් ඉන්දියාවෙන් මුහුදට වැටෙයි.
නේපාල වැසියන්, භෝටේකෝෂි ලෙස හඳුන්වන මෙම ගංගාව හිමාල කඳුවැටියේ, ශීෂපාන්ග්මා කන්ද ආසන්නයේ ඇති ෂැංෂැංබෝ ග්ලැසියරයෙන් ආරම්භ වෙයි. ටිබෙට් වැසියන් මෙම ගංගාව හඳුන්වන්නේ පොයිකූ යනුවෙනි. ටිබෙටය හරහා එන ගංගාව, චීන නේපාල දේශසීමාවේ කෝඩාරි පළාතෙන්, නේපාලයේ සිංධුපාල්චොක් දිස්ත්‍රික්කයට ඇතුළු වෙයි. ඉන්පසු භෝටේකෝෂි ලෙස එය ඉතා තද බෑවුම් සහිත පටු මාර්ග ඔස්සේ දකුණු දෙසට අධික වේගයෙන් ගලා බසී. භෝටේකෝෂි, තතෝපානි, බාරබිසේ සහ ලමොසංගු වැනි ප්‍රදේශ පසු කරමින් ගලා බසී.
සුදු පෙන කැටි විහිදුවමින්, වේගයෙන් ගලන මෙම ගංගාව සුළං පිරවූ විශේෂ රබර් බෝට්ටු (රෆ්ටිං) භාවිතයෙන් ගංගාව තරණය කිරීමේ ත්‍රාසජනක ක්‍රීඩාවට ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. භෝටේකෝෂි, බාලේෆි සහ ලමොසංගු ආසන්නයේදී සුන් කෝෂි ගංගාව සමග එක් වෙයි. පසුව සප්ත කෝෂි ගංගා පද්ධතිය හරහා ගලා ගොස් ඉන්දියාවේදී ගංගා නදියට මුසුවෙයි.
ඉකුත් 26 වැනිදා සිදුවුණු එම අවාසනාවන්ත සිදුවීම, මිනිත්තු කීපයක් ඇතුළත සිදුවුණු මහා ස්වභාවික විනාශයකි. අනතුරු ඇඟවීමට පවා කල් වේලා තිබුණේ නැත. මෙම බිහිසුණු ව්‍යසනයේ හද කම්පා කරන දසුන් අපට විදෙස් මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. මෙවැනි ව්‍යසනයක් සිදුවුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. අවසන් අවස්ථාව ද මෙය නොවනු ඇත. අතීතය දෙස බැලුවොත්, ගතවුණු දශක ගණන පුරාවට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන රැසක් මෙම ආසියා කලාපයේ දකින්න ලැබුණි.
2013 ජූනි මාසයේ, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තය හිටිහැටියේ මහා ජල ගැලීමකට සහ නායයෑම්වලට ලක් විය. ඉන්දීය ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික ආපදාවක් ලෙස මෙය සැලකෙයි. මෙම ව්‍යසනය හැඳින්වෙන්නේ ‘හිමාල සුනාමිය’ යන නමිනි. වේලයෙන් ඇදී ආ රුදුරු ජල කඳට සහ නායයෑම්වලට හසුවී මරණයට පත් වූ ගණන 5,000 ඉක්මවයි. මෙම ව්‍යසනයට හේතුව, අධික මෝසම් වැසි හේතුවෙන් හිමාලයේ චෝරාබාරී නමැති ග්ලැසියර විල කැඩී පිටාර ගැලීමය.
2017 පෙබරවාරි 7 වැනිදා යළිත් වරක් ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ චමෝලි දිස්ත්‍රික්කයේ ක්ෂණික මහා ජල ගැලීමක් සිදුවිය. ඒ, හිමාල අඩවියේ නන්දා දේවි හිම කන්දේ විශාල හිම තට්ටුවක් සහ පර්වත කොටසක් කඩා වැටීමෙනි. 2023 වසරේ දී ඉන්දියාවේ කඳුකරයේ පිහිටි සික්කම් ප්‍රාන්තයේ මහා ජල ගැලීමක් හටගත්තේය. පසුගිය දා ටිබෙටයේ සහ නේපාලයේ දකින්න ලැබුණු ආකාරයේ සුනාමි රළ වැනි මහා ජල කඳක් 2023 වසරේ දී ද ගම්මාන සහ නගර විනාශ කළේය. ඊට බිලිවුණු ගණන 53 කි. 2024 වසරේ දී නේපාලයේ මහා ජල ගැලීමක් සිදුවිය. එයින් 244 දෙනකුට දිවි අහිමි විය.
රටවල් වෙනස් වුණත්, ව්‍යසනවල ස්වරූපය සමානය. ඉන්දියාවේත්, නේපාලයේත් සිදුවුණු මෙම ස්වභාවික ආපදා පසුපස ඇත්තේ හිමාල කඳු වැටියයි. හිමාල කඳු වැටියට සිදුවී ඇත්තේ කුමක්ද? අන් කවරදාවත් අසන්න නොලැබුණු ලෙස ග්ලැසියර විල් කඩා වැටීම් සිදුවන්නේ ඇයි? මහ වැසි නිසා හිමාල කඳුකරයේ නායයෑම් බහුලව සිදුවන්නේ ඇයි? භූ විද්‍යාඥයන්ට අනුව, බැලූ බැල්මට ශක්තිමත් මහා කඳු පද්ධතියක් බව පෙනුනත්, හිමාල කඳු වැටිය තවමත් නිර්මාණය වී අවසන් නැත. එය දිනෙන් දින නිර්මාණය වෙමින් පවතී. හිමාලය ලෝකයේ ළාබාලතම කඳු වැටිය බව අමුතුවෙන් කිව යුතු නැත.
හිමාල කඳු වැටියේ නිර්මාණය සිදුවූයේ ඉන්දියාව අයත් ඉන්දීය භූ තැටිය සහ යුරෝපය අයත් යුරෝපා භූ තැටිය එකිනෙක ගැටීමෙනි. භූ විද්‍යාඥයන්ට අනුව, ඒ ගැටීම තවමත් අවසන් නැත. ගැටීමත් සමඟ ඉහළට එසවුණු නෙරුම හිමාල කඳු වැටියයි. මේ කලාපයේ භූමිය, නිරන්තරයෙන්ම මහා පීඩනයකට ලක්ව පවතී. කඳු වැටිය සෙමින් සෙමින් ඉහළට එසවීමක් සිදුවෙයි. මහා පර්වත ඉරි තැලීමකට ලක් වෙයි. මෙම කලාපයේ භූමිකම්පා, නායයෑම් ආදිය හට ගැනීම අරුමයක් නොවෙයි.
එම ස්වභාවික ක්‍රියාවලියේ කොටසකි. නේපාල සහ ටිබෙට නිම්නයේ ජනාවාස ඇත්තේ, අස්ථාවර භූමියකය. එය හරියට පස්වලින් පමණක් තැනූ පඩි පෙළක් වැනි පාදමක් මත නිවසක් ඉදි කිරීමක් වැනිය. කොයි මොහොතේ හෝ මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත. හිමාල කඳුකරය සැලකෙන්නේ පෘථිවියේ තෙවැනි ධ්‍රැවය යනුවෙනි. ඒ, ග්ලැසියර සිය දහස් ගණනක් හිමාලයේ පිහිටා තිබීම නිසාය. ආක්ටික් කලාපයෙන් පිට, වැඩිම හිම සහ අයිස් ප්‍රමාණයක් ඇත්තේ ද හිමාලයේය.
වසර දහස් ගණනක් තිස්සේ, මේ ‘අයිස්’ මැලියම් ලෙස, උස් භූමි ප්‍රදේශය එකිනෙක ඇදබැඳ තබා ගෙන තිබේ. ඒත් දිනෙන් දින ගෝලීය උණුසුම ඉහළ යද්දී, මේ ස්වභාවික මැලියම දුර්වල වෙයි. ග්ලැසියර් විල් පුපුරා යෑමට ලක් වෙයි. අයිස් සහ පස් නායයෑම් සිදුවෙයි. ග්ලැසියර් කඩා වැටීම එසේත් නැතිනම් ග්ලැසියර් නායයෑම් කොතරම් බිහිසුණු ද කිවහොත්, අපට එදා එනම් පසුගිය අගෝස්තු 26 වැනිදා නේපාලයෙන් සහ ටිබෙටයෙන් දකින්න ලැබුණේ ග්ලැසියර් නායයෑමක බිහිසුණු ප්‍රතිඵලයයි. විද්‍යාඥයන් සහ පරිසරවේදීන් දිගින් දිගටම බිය පළ කරන්නේ, ගෝලීය උණුසුම ඉහළ යෑමට මිනිස් ක්‍රියාකාරකම් ද ප්‍රධාන හේතුවක් බවය.
හිමාල අඩවියේ ග්ලැසියර් දියවීම, ස්වභාවික ව්‍යසන සිදුවීම, ග්ලැසියර් දියවී මහා ගංගා සිදී ගොස් මහා ජල අර්බුදයක් තෙක් එය දුරදිග යෑම ආදී ස්වභාවික විපත්වලට වක්‍රව මිනිස් ක්‍රියාකාරකම් ද බලපෑමක් කරයි. කාර්මික විප්ලවයේ ඇරඹුමත් සමග පොසිල ඉන්ධන දහනය, වන විනාශය සහ අධික කාර්මිකකරණය හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මානව ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වේගවත් හා දැඩි ගෝලීය උණුසුම් වීමක් අද වනවිට දකින්න ලැබේ.
අන්තර්-රාජ්‍ය දේශගුණික විපර්යාස පිළිබඳ මණ්ඩලයේ දත්ත අනුව, පසුගිය වසර 2,000 ක කාලය තුළ පෘථිවි පෘෂ්ඨීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති සීඝ්‍රතාවයට සමාන වෙනසක් මානව ශිෂ්ටාචාරය තුළ සිදුව නොමැත. කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි වායු සාන්ද්‍රණය වායුගෝලය තුළ අඛණ්ඩව ඉහළ යාම නිසා පෘථිවි තාප තුල්‍යතාවය බිඳවැටී ඇති අතර, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යෑම සහ අසාමාන්‍ය කාලගුණික විපර්යාස වැනි දරුණු බලපෑම් රැසකට පෘථිවි ජීව පද්ධතිය දැනටමත් මුහුණ දෙමින් සිටී.
එබැවින්, වර්තමානයේ සිදුවන ගෝලීය උණුසුම් වීම හුදෙක් ස්වාභාවික චක්‍රීය වෙනස්වීමක් නොව, මානව ක්‍රියාකාරකම්වල සෘජු හා අභියෝගාත්මක ප්‍රතිඵලයක් බව නොවැළැක්විය හැකි විද්‍යාත්මක යථාර්ථයයි. නේපාලය සහ ටිබෙටය කැලඹූ ඒ මහා ජල කඳ හිමාල කඳු වැටියෙන් ආරම්භ වී පහළ නිම්නයට ඇදී ඒමට පෙර භූ චලනයක් සිදුවුණැයි නේපාල විද්‍යාඥයන් මෙන්ම ඇමෙරිකන් භූ විද්‍යාඥයෝ ද පැවැසූහ.
ඒත්, රික්ටර් පරිමාණයේ ඒකක 4.4 ක් සටහන් කළ ඒ භූ චලනය සාමාන්‍ය භූමිකම්පාවකින් හටගත් එකක් නොවන බව වැඩි දුර සිදු කළ විමර්ශනවලිදී අනාවරණය විය. භූ චලනය සිදුවූයේ හිමාල අඩවියේ ග්ලැසියර විල කඩා වැටීම නිසාය. රික්ටර් පරිමාණයේ ඒකක 4.4 ක් සටහන් කිරීමට තරම් එම ග්ලැසියර් විල පුපුරා යෑම බිහිසුණු විය. මෙසේ ග්ලැසියර් විල් නානයෑමට ලක් වීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස හදිසි ජල ගැලීම් තත්ත්වයක් නිර්මාණය වීමත් සැලකෙන්නේ GLOF යනුවෙනි.
මෙය ඉංග්‍රීසියෙන් Glacial lake outburst flood හෙවත් ග්ලැසියර විලක් එකවර බිඳී යෑම ලෙස හැඳින්වෙයි. GLOF නිර්වචනය කළොත් එය මෙසේය. ග්ලැසියරයක් ආසන්නයේ හෝ ඊට පහළින් පිහිටි ග්ලැසියර විලක රැස්වී ඇති ජලය එකවරම පහළට මුදාහැරීම නිසා ඇතිවන දැවැන්ත ගංවතුර ආපදා තත්ත්වයයි.
මෙලෙස එකවර ගලා එන අතිවිශාල ජල කඳ සමඟ මඩ, ගල් සහ විවිධ සුන්බුන් විශාල වශයෙන් පහළ නිම්න වෙත ගසාගෙන එන බැවින්, එම මාර්ගයේ පිහිටි ජනාවාස, මාර්ග, පාලම් සහ වගාබිම්වලට දැඩි හානි සිදු වේ. හිමාලය, අන්දීස් සහ ඇල්ප්ස් වැනි ලෝකයේ උස් කඳුකර ප්‍රදේශවල දැකගත හැකි ප්‍රධානතම පාරිසරික තර්ජනයක් ලෙස මෙය භූ විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ තිබේ.

