සඳ නැතිවුණොත් මොකද වෙන්නේ ?



අපටත් හොරොන් අපේ සඳ පෘථිවියෙන් ඈත් වීමට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළේය. මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඇමෙරිකාවේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යා සහ තාරකා විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ඩිකර්බි කළ ප්‍රකාශයක් උපුටා දක්වමිණි. ස්ටීවන් ඩිකර්බි,‍ පැහැදිලි කරන ආකාරයට, සෑම වසරකම සෙන්ටිමීටර් 3.8 ක් (අඟල් 1.5 ක්) බැගින් සඳ පෘථිවියෙන් ඈතට යයි. මෙය සෙමින් සෙමින් පෘථිවියේ භ්‍රමණයට බලපෑමක් එල්ල කරනු ඇති බවත්, පෘථිවියේ දිනක පැය 24, ඉදිරියේ දී පැය 25 ක් ලෙස වෙනස් වීමට ඉඩ ඇති බවත් ඩිකර්බි කියයි. ඒත් බිය නොවන්න, අද හෙට එවැනි දෙයක් සිදුවන්නේ නැත.

වසර බිලියන 4.5 ක් පුරාවට, පෘථිවියට සිටින සගයා සඳ ය. පෘථිවියේ ස්වාභාවික චන්ද්‍රිකාව ලෙස සැලකෙන්නේ ද සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා ය. අහසේ සුන්දරත්වයට සහ රාත්‍රියේ අන්ධකාරයට ආලෝකයක් දෙන, පෘථිවිය වටා කක්ෂගත වූ චන්ද්‍රයා, තවත් ග්‍රහ වස්තුවක් නම් නොවෙයි. පෘථිවි පරිසර පද්ධතියේ සමබරතාව රැක ගැනීමට උදවු වෙන ඉතා වැදගත් සාධකයකි. හිටිහැටියේ සඳ අතුරුදහන් වුවහොත් කුමක් වේවිද? එහි බලපෑම අපේ ජීවිතවලට පමණක් නොව, පෘථිවියේ ස්වභාවික ක්‍රියාවලීන්ට ද ඉතා විශාල බලපෑමක් එල්ල කරනු නිසැකය.

සඳ නැති වීමෙන් ඇති වන ප්‍රධානතම වෙනස වන්නේ පෘථිවියේ භ්‍රමණය වේගවත් වීමය. සඳේ ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ භ්‍රමණය මන්දගාමී වී, අද වනවිට පැය 24 ක් බවට පත් වී ඇත. විද්‍යාඥයන්ට අනුව, සඳ නැති වුවහොත්, මෙම බාධකය ඉවත් වී පෘථිවිය වේගයෙන් භ්‍රමණය වීමට පටන් ගනු ඇත. කාලගුණික සහ දේශගුණික රටා විශාල වශයෙන් වෙනස් වනු ඇත. ඍතු චක්‍රය ද අස්ථාවර වනු ඇත.

සාගරයේ දියවැල් ඇති වන්නේ සඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසාය. මෙම දියවැල්, සාගර ජලය නිරන්තරයෙන් චලනය කරමින් මුහුදු පරිසර පද්ධතියට සමබරතාවක් ලබා දෙයි. බොහෝ මුහුදු ජීවීන්ගේ ජීවන චක්‍ර සහ ප්‍රජනන රටා දියවැල් මත රඳා පවතී. සඳ නැති වුවහොත් දියවැල් අතුරුදහන් වෙයි. සාගර පරිසර පද්ධති මුළුමනින්ම උඩුයටිකුරු වෙයි. මත්ස්‍ය සම්පත අහිමි වෙයි. කොරල්පර විනාශ වෙයි.

සඳ සූර්යාලෝකය පරාවර්තනය කරන බැවින්, රාත්‍රී අහස දීප්තිමත් වෙයි. අහසේ පවතින සුන්දර සඳ එළිය, රාත්‍රී කාලයේ ක්‍රියාශීලී වන සතුන් නිශාචරයන්ට උන්ගේ දෛනික කටයුතු කරගෙන යෑමට උපකාර වෙයි. සඳ නැති වී, සඳ එළිය නැති වූ විට, රාත්‍රී අහස අඳුරු වනු ඇත. සඳ එළිය මත යැපෙන සතුන්ගේ හැසිරීම් රටා වෙනස් වනු ඇත. ඔවුන්ගේ පැවැත්මට එය සෘජු බලපෑම් එල්ල කරනු ඇත. අතීතයේ සිටම මිනිසාට සහ සතුන්ට රාත්‍රී කාලයේදී දිශානතිය තීරණය කිරීමට සහ ගමන් බිමන් කිරීමට ද උපකාරී වූයේ සඳය.

සඳ, පෘථිවියේ භ්‍රමණ අක්ෂය ස්ථාවරව තබා ගැනීමට උපකාරී වන ප්‍රධාන සාධකයයි. සඳ නැති වුවහොත්, පෘථිවියේ අක්ෂය වෙනස් වෙයි. පෘථිවි ධ්‍රැවවලට ආලෝකය ලැබෙන රටාවන් වෙනස් වී, හිම දියවීම සහ හිම යුගයක් (අයිස් යුගයක්) නිර්මාණය වීමට ඉඩ ඇත.

විද්‍යාඥයන්ගේ අලුත් සොයා ගැනීමකට අනුව, අප පෘථිවියට තවත් චන්ද්‍රයෙක් ද සිටී. මේ චන්ද්‍රයා  අපේ ප්‍රධාන චන්ද්‍රයා සේම, වසර ගණනාවක් තිස්සේ, (වසර බිලියන ගණනක් නම් නොවෙයි.) පෘථිවිය සමඟ සිටින බව විද්‍යාඥයන්ගේ අදහසය. ඒත් රෑ අහස දෙස බලද්දී අපට චන්ද්‍රයන් දෙදෙනකු කිසි දිනක දකින්නට ලැබී නැත. මෙම දෙවැනි චන්ද්‍රයා සොයා ගැනීම කළේ, ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි පෑන් ස්ටාර්ස් නිරික්ෂණාගාරයයි. විද්‍යාඥයන් මෙම නව චන්ද්‍රයා නම් කර ඇත්තේ ‘2025 පීඑන්7’ යන කේත නාමයෙනි. මේ චන්ද්‍රයා පෘථිවිය සමඟ සිටින්නේ 1960 දශකයේ සිට යැයි විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ‘2025 පීඑන්7’ නමැති මෙම චන්ද්‍රයා, ක්වාසි-චන්ද්‍රයෙකි. සාමාන්‍යයෙන් පියවි ඇසින් දැකිය හැකි අපගේ චන්ද්‍රයා මෙන් නොව, අලුතින් හමුවුණු ‘2025 පීඑන්7’ ක්වාසි චන්ද්‍රයා දැක ගත හැක්කේ දුරේක්ෂයක් හරහා පමණි.

ක්වාසි-චන්ද්‍රයකු යනුවෙන් හැඳින්වෙන්නේ කුමන ආකාරයේ චන්ද්‍රයෙක්ද? මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයට අනුව, ක්වාසි යන වදනේ අරුත අර්ධ, බොහෝ දුරට හෝ බැලූ බැල්මට යන්නය. ඇත්තටම කියනවා නම්, ‘2025 පීඑන්7’ යනු ග්‍රහකයකි. නව චන්ද්‍රයෙකු සිටිනවා යැයි කියා, රෑ අහස පියවි ඇසින් නිරීක්ෂණය කළොත්, ඔබට මෙම චන්ද්‍රයා දකින්න ලැබෙන්නේ නැත. මෙය ඉතා කුඩා ග්‍රහකයකි. අපේ චන්ද්‍රයා මෙන් මෙය පෘථිවිය වටා කක්ෂගතව නැත. මෙය පෘථිවියට සමානව, සමාන මාර්ගයක් ඔස්සේ හිරු නැතිනම් සූර්යයා වටා කක්ෂගත වෙයි. සරලව කීවොත්, යම් ග්‍රහලෝකයක් වටා කක්ෂගත වනවා සේ පෙනෙන අභ්‍යවකාශ වස්තූන් හැඳින්වෙන්නේ ක්වාසි-චන්ද්‍රයන් යනුවෙනි.

තාරකා විද්‍යාඥයන්ට අනුව මෙම ක්වාසි-චන්ද්‍රයා මීටර් 19ක් (අඩි 62ක්) පමණ පළල බවය. මෙය ක්වාසි චන්ද්‍රයා, ක්වාසි කක්ෂයක රැඳී සිටින්නේ වසර 60 ක් තිස්සේ බවත්, එය තවත් වසර 60 ක් එසේ රැඳී සිටිනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ක්වාසි චන්ද්‍රයන් හයට ‘2025 පීඑන්7’ ග්‍රහකය ඇතුළත් වෙයි. එපමණක් නොවෙයි, කුඩා ම මෙන් ම ස්ථාවරත්වයෙන් අඩු ක්වාසි චන්ද්‍රයා ලෙස ද ‘2025 පීඑන්7’ හැඳින්විය හැකි යැයි විද්‍යාඥයන්ගේ අදහසය. මෙය පෘථිවිය වටා කක්ෂගත වන බවක් පෙනුනත්, මෙය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට බැඳී නැත. ‘2025 පීඑන්7’ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 4.5 සිට කිලෝමීටර් මිලියන 59 දක්වා පුළුල් පරාසයක දුර ප්‍රමාණයක් පවත්වා ගනිමින් සිටී. 

‘2025 පීඑන්7’ වැනි ක්වාසි චන්ද්‍රයන් ගැන තාරකා විද්‍යාඥයන් දැනුවත් වී සිටින්නේ 1991 වසරේ සිටය. විද්‍යාඥයන්ට පළමුවෙන් හමුවුණු ක්වාසි චන්ද්‍රයා නම් කෙරුණේ ‘1991 වීජී’ යනුවෙනි. මෙය ද කුඩා ග්‍රහකවකි. මෙය මුලින්ම සොයා ගත් අවස්ථාවේ, විද්‍යාඥයන් සිතුවේ එය පිටසක්වළ ගවේෂණ යානයක් කියාය. වසර තිහකට වැඩි කාලයක් ගත වූ පසු, මෙවැනි ක්වාසි චන්ද්‍රයන් (ග්‍රහක) ද බහුලව ඇති බව පැහැදිලි විය. මේවා ඇත්තේ, පෘථිවියත් චන්ද්‍රයාත් අතර පිහිටන සූර්යයා වටා කක්ෂගත දෙවන ග්‍රහක පටිය යනුවෙන් හඳුන්වන කලාපයේය. විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ ක්වාසි චන්ද්‍රයන් අතරින් කැපී පෙනෙන චන්ද්‍රයකු වන්නේ කමෝඕලෙවාය. ‘2025 පීඑන්7’ මෙන් නොව, කමෝඕලෙවාට වසර 381ක් පමණ පවතින පෘථිවි-ආශ්‍රිත කක්ෂයක් ඇත. ‘2020 එක්ස්එල්5’ ද තාරකා විද්‍යාඥයන්ට හමුවී ඇති ‘2025 පීඑන්7’ වැනි ක්වාසි චන්ද්‍රයෙකි. ‘2025 පීඑන්7’, කමෝඕලෙවා, ‘2020 එක්ස්එල්5’ ආදිය පෘථිවියට අයත් ක්වාසි චන්ද්‍රයන් වුවත්, අප සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකවලට ද ක්වාසි චන්ද්‍රයන් (කුඩා ග්‍රහක) සිටින බව පැවැසෙයි. සිකුරු ග්‍රහයාට එක් ක්වාසි චන්ද්‍රයෙක් සිටී. නෙප්චූන් ග්‍රහයාට ද එක් ක්වාසි චන්ද්‍රයෙක් සිටී. බෘහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ට ද ක්වාසි චන්ද්‍රයන් කීප දෙනෙක් සිටිති.

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS