ශ්‍රී ලංකාව ජගත් සංවිධානයේ සාමාජිකත්වය ලැබූ හැටි



ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 70 ක් සපිරෙයි. මේ පළ වන්නේ, ඒ නිමිත්තෙන්, තලීෆ් ඩීන් මහතා, 2025.10.19 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ The day Sri Lanka was denied admission to the UN by a Soviet veto (ද ඩේ ශ්‍රී ලංකා වෝස් ඩිනයිඩ් ඇඩ්මිෂන් ටු ද යූඑන් බයි අ සෝවියට් වීටෝ) යනුවෙන් පළ කළ විශේෂාංග ලිපියේ සිංහල පරිවර්තයයි. අයි.පී.එස්. ප්‍රවෘත්ති ආයතනයේ එක්සත් ජාතීන්ගේ කාර්යාංශ ප්‍රධානියා ලෙස තලීෆ් ඩීන් මහතා, 1970 දශකය අග භාගයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය කටයුතු  ආවරණය කළ අයෙකි. ඩේලි නිවුස් පුවත්පතේ හිටපු නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයකු වූ ඔහු, හොංකොං පදනම් කරගත් ‘ද ස්ටෑන්ඩර්ඩ්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවැකි රචකයකු ලෙස ද කටයුතු කර තිබේ.

අද ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ, හිටපු අගවිනිසුරු, ජනාධිපති නීතිඥ, ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාය. මේවනවිට ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු බවට පත් වී වසර 70 ක් ගත වී ඇත. ඒ නිමිත්තෙන්, ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුමක් පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමිවූයේ, ගෙවී ගිය යුගයක අපූරු සිදුවීම් රැසක් ද සමඟය.

අතීතයට එබිකම් කළොත්, එදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේ නෙවිල් කනකරත්න මහතාය. (පසුව ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලතල දැරීය.) ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ඔහු අතීතාවර්ජනයක යෙදෙයි.

එදා ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ඉල්ලා කළ ඉදිරිපත් කළ අයැදුම්පතට සෝවියට් සමූහාණ්ඩුව එරෙහි විය. ඒ, නිෂේධ බලය භාවිතයට ගනිමින් ඊට විරෝධය දක්වමිනි. ඊට හේතුව, ශ්‍රී ලංකාව, 1948 පෙබරවාරි මාසයේ, මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා තිබුණ ද, ඒ වන විට බ්‍රිතාන්‍ය රජය සමඟ පැවැති ආරක්ෂක එකඟතාවක් මුල්කොට ගනිමිනි. එම ආරක්ෂක එකඟතාව වූයේ ත්‍රිකුණාමලය වරාය, නාවික වරායක් ලෙස පවත්වාගෙන යෑමට බ්‍රිතාන්‍යයට ඉඩ දීමය.

බ්‍රිතාන්‍යයනේ නිදහස ලැබුවා යැයි කීවත්, ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලබා නොතිබුණු බවත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් වූ බවත් සෝවියට් සමූහාණ්ඩුව තර්ක කළේය. මේ නිසා ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ අසුනක් පිරිනැමීම සෝවියට් සමූහාණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ විරෝධයක් නොවීය.

ඒ වන විට, සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයනිරවි යුද්ධයේ පැටලී සිටියේය. සෝවියට් සමූහාණ්ඩුව, ඔවුන්ට හිතවාදී රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් විය යුතු යැයි යෝජනා කරද්දී, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊට විරෝධය දැක්වූ අතර, සෝවියට් සමූහාණ්ඩුව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට සුදුසු යැයි යෝජනා කරන ඔවුන්ට හිතවාදී රටවලට ඇමෙරිකාව ඇතුළු රටවල් විරෝධය දැක්වීය.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය පළමු වරට ඉල්ලා සිටියේ 1948 මැයි මාසයේය‍. ඒ නිදහස හිමිවීමෙන් මාස තුනකට පසුවය. ඊට අදාළ ඇයැදුම්පතට අත්සන් කළේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාය. එදා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස එම ධුරය හෙබවූයේ ද ඩී.එස්. සේනානායක මහතාය. අයැදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, එහි නිත්‍ය නියෝජිත සෝවියට් සමූහාණ්ඩුව නිෂේධ බලය යොදා ඊට එරෙහි වුණු බැවිනි. ‘සිලෝන් ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන තුරු සාමාජිකත්වය සඳහා කරන ඉල්ලීම සම්බන්ධ තීරණය තාවකාලිකව කල් දමනවා’ යැයි ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවේ දැක්විණි.

මේ සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කළ, පසුව අග්‍රාමාත්‍ය ධුරයට පත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මැදිහත් වී, මාධ්‍ය දැවැන්තයකු මෙන්ම දක්ෂ දේශපාලන බල තැරැව්කරුවකු ද වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා මෙම කාර්යයට සම්බන්ධ කර ගත්තේය. ඒ විශේෂ නියෝජිතයකු ලෙස ඔහු පත් කරමිනි. සියලු පාර්ශ්වකරුවන් සමඟ (ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුව) සාකච්ඡා කර, එකඟතාවක් ඇති කර ගනිමින්, ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ක්‍රමයක් කල්පනා කර එය ක්‍රියාවට නඟන්නැයි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට උපදෙස් ලැබුණි.

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා යනු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන්ය. ඔහු එසේ මෙසේ චරිතයක් නොවීය. ඔහු කීර්තිමත් මාධ්‍ය දැවැන්තයකු පමණක් නොව, දේශපාලනයේ රජුන් තනන්තකු ලෙස ද එකල ප්‍රකටව සිටියේය. ඒ වන විට තිරයෙන් පිටුපස රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බොහොමයකට ඔහු දායක වී සිටියේය. ඒ අනුව, ආර්.එස්.එස්. ගුණවර්ධන මහතාගේ ද (පසුව අපගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු ස්ථිර නියෝජිතයා වූ) සහයෝගය ඇතිව, සැමට වාසි වන ආකාරයේ ගනුදෙනුවකට සියලු දෙනා කැමැති කර ගැනීමට හැකියාව ලැබුණි.

සිලෝන් ඩේලි නිවුස් සහ ඔබ්සර්වර් යන පුවත්පත්වල හිටපු කර්තෘවරයකු වූ, ලේක් හවුස් ආයතනයේදී එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා යටතේ සමීපව කටයුතු කළ අර්නස්ට් කොරයා මහතා අදහස් දක්වා ඇත්තේ, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මැදිහත් වී නයිට් පදවියක් පිරිනමා එස්මන්ඩ් මහතා ඇගයීමට ලක් කිරීමට උත්සාහ ගත් බවය. කෙසේ නමුත් එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත. පසුව ආර්.එස්.එස්. ගුණවර්ධන මහතාට නයිට් පදවිය හිමිවූ අතර, ඔහු ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන බවට පත් විය.

ඇති කර ගත් එකඟතාව අනුව, 1955 වසරේ දී ශ්‍රීලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිවිය. අපට පමණක් නොව, අපට සාමාජිකත්වය හිමිවුණු දිනයේම, සෝවියට් සමූහාණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය සඳහා යෝජනා කර තිබුණු සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිෂේධ බලය යොදා සාමාජිකත්වය අවහිර කළ සෝවියට් සමූහාණ්ඩුවට හිතවත් ඇල්බේනියාව, බල්ගේරියාව, හංගේරියාව සහ රුමේනියාව යන රටවලට ද සාමාජිකත්වය හිමිවිය.

අප එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ඉල්ලා සිටියේ 1950 වසරේ සිට වුවත්, එය අපට හිමිවූයේ වසර පහකට පසුවය. ඒ සඳහා දිගු කාලයක් අපට බලා සිටීමට සිදුවී තිබුණි.

අවාසනාවකට, සාමාජිකත්වය ලැබීමෙන් පසු, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා බලාපොරොත්තු වූ ආකාරයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අති උත්කර්ෂවත් අන්දමින් ප්‍රවේශ වීමට හැකියාව ලැබුණේ නැත. ඊට හේතුව, 1956 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ලෙස පරාජය වී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 1956/57 සැසිවාර සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේ බණ්ඩාරනායක මහතාය.

1956 වසරේ නොවැම්බරයේ, බණ්ඩාරනායක මහතා සහ මෙරට දූත පිරිස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමිවුණු පළමු ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා ලෙස, ලේක් හවුස් පුවත්පත් සමූහය නියෝජනය කරමින් අර්නස්ට් කොරයා මහතා ද නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය බලා ගොස් සිටියේය. අර්නස්ට් කොරයා මහතා පසුව එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

අර්නස්ට් කොරයා මහතාට අනුව, බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කළ පළමු මෙන්ම අවසාන කතාව ද සුවිශේෂී විය. සෙසු රටවල නායකයන් බොහෝ දෙනකු පෙර සූදානම් කරගෙන ආ කතාවක් බලා කියවූවත්, බණ්ඩාරනායක මහතා සමුළුව ඇමතුවේ ලියාගෙන ආ කතාවක් බලාගෙන නොවීමය. අග්‍රාමාත්‍යවරයාගේ චතුර කථිකත්වය, විචක්ෂණභාවය සහ පුළුල් දේශපාලන දැක්ම, සෙසු ලෝක නායකයන් මවිතයට පත් කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති සම්ප්‍රදාය බිඳ දැම්මේ එසේය.

1955 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිවුවත්, ශ්‍රී ලංකා දූත මණ්ඩලයට කාර්යාලයක් සඳහා ඉඩකඩ ලැබුණේ නැත. මෙය ශ්‍රී ලංකා රජයේ පුදුමයට හේතුවක් විය. 1950 දශකයේ මුල් භාගයේදී ඇමෙරිකාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයකු වූ ලෝරන්ස් ගුණතිලක මහතාගේ කරුණාව සහ හොඳ හිත දූත මණ්ඩලයට යොමු වූයේ මෙම අවස්ථාවේදීය. ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය පුරෝගාමී ශ්‍රී ලාංකිකයකු ලෙස ලෝරන්ස් ගුණතිලක මහතා සැලකෙයි. ගුණතිලක මහතා, ඔහුගේ නවාතැන ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කාර්යාලය ලෙස භාවිතයට ගන්නැයි ඉඩ සලසා දුන්නේය.

වෙස්ට් 73 වැනි වීදියේ පිහිටි ගුණතිලක මහතාගේ නවාතැනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ පළමු නිවහන ස්ථාපිත කෙරුණි. එවකට දූත මණ්ඩලයේ ලිපිශීර්ෂවල ලිපිනය ලෙස සඳහන් වූයේ එම ස්ථානයයි. එදා තානාපති ධුරය හෙබවූ තානාපති කනකරත්න මහතා පවසා ඇත්තේ, සටන් ප්ලේස් හි ගොඩනැගිල්ලක් සොයා ගන්නා තෙක් මාස දෙකක් හෝ තුනක් පමණ ලෝරන්ස් මහතාගේ නවාතැන අපගේ මූලස්ථානය වූ බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ශ්‍රී ලංකා පළමු නිත්‍ය නියෝජිතයා වූ ශ්‍රීමත් සෙනරත් (ආර්.එස්.එස්.) ගුණවර්ධන මහතා, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළ බැවින්, ඔහුට නිතරම නිව්යෝර්ක් නුවර සහ වොෂින්ටන් අගනුවර අතර එහා මෙහා යෑමට සිදුවිය. වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ප්‍රමාණවත් නියෝජිතයන් නොමැති වීම ගැටලුවක් විය. එබැවින්, එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් නුවර මූලස්ථානය ඉදිරිපිට සිට පාරේ ගමන් කරමින් සිටින ශ්‍රී ලාංකිකයකු දුටුවහොත්, ඔහු මූලස්ථානයට ඇදගෙන ගොස් නියෝජිතයකු ලෙස සමුළුවට සහභාගී කරවා ගනු ලැබුවේ යැයි විහිළුවක් ද එකල පැවතුනි.

කෙසේ නමුත්, 1970 දශකයේ අගභාගය වන විට, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කර, ඒ ගැන අවබෝධයක් ලබා දීමේ අරමුණින්, මහජන මන්ත්‍රීවරුන් සහ දේශපාලඥයන් නිව්යෝක් වෙත රැගෙන යෑම සිදුවිය.

1971 දී ෂර්ලි අමරසිංහ මහතාට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට පත්වීමට අවස්ථාව උදා විය. ඒ, එම තනතුරට තේරී පත් වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසය. කෙසේ නමුත්, එය එසේ නොවීය. ෂර්ලි අමරසිංහ මහතා දැඩි පලස්තීන හිතවාදියකු යැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් චෝදනා නැගෙන්නට විය. ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලිය ගිනි තැබීමත් සමඟ ඊශ්‍රායලයට එරෙහිව විරෝධතා නැගෙද්දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළ එක් අයකු වූයේ ෂර්ලි අමරසිංහ මහතාය. පසුව ඔහු, ඊශ්‍රායල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලේඛනගත කිරීමේ කමිටුවේ පළමු සභාපතිවරයා බවට ද පත් විය.

1961 දී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ස්වීඩනයේ ඩැග් හැමර්ෂල්ඩ් මහතා කොංගෝවේදී සිදුවූ අභිරහස් ගුවන් යානා අනතුරකින් මියගියේය. එම අවස්ථාවේදී තානාපති කනකරත්න මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය. හැමර්ෂල්ඩ් මහතා සමඟ කනකරත්න මහතා ද එම ගුවන් යානයෙන් කොංගෝවට යෑමට නියමිතව තිබුණි. කෙසේ නමුත්, අවසන් මොහොතේදී, කනකරත්න මහතා, ඔහු වෙනුවට එම ගමනට එක්සත් ජාතීන්ගේ වෙනත් නීති උපදේශකයකු වූ ව්ලැඩිමීර් ෆැබ්රි යෙදවීය. ඒ, ව්ලැඩිමීර් ෆැබ්රි තමාට වඩා හොඳින් ප්‍රංශ බස හැසිරවීමට දක්ෂ වූ නිසාය. කනකරත්න මහතා වෙනුවට මහ ලේකම් ඩැග් හැමර්ෂල්ඩ් සමඟ කොංගෝවට යාමට ෆැබ්රිට සිදුවිය. අනතුරට පත්වුණු ගුවන් යානයට කනකරත්න මහතා ගොඩ වූයේ නැත. අනතුරින් මහ ලේකම්වරයා ඇතුළු යානයේ සිටි සියලු දෙනා ම ජීවිතක්ෂයට පත් වූහ.

‘සිලෝන් ඔබ්සර්වර්’ පුවත්පත ඒ ගුවන්යානා අනතුර සම්බන්ධ පුවත පළ කළේ ‘ඒ මාරක ගුවන් යානයේ අපේ අයකුත් සිටියා ද?’ කියා ප්‍රශ්න කරන සිරස්තලය යොදමිනි. “කවුදෝ කෙනෙක් ඒ පුවත්පත අපේ අම්මට පෙන්වලා. ඇය පුවත දුටු සැණින් සිහිසුන් වෙලා තියෙනවා.”යැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කනකරත්න මහතා විසින් කියා තිබුණි. “පැය 24ක් යන්නට මත්තෙන් එහි ඇත්ත නැත්ත ප්‍රකාශ කිරීමට, එවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කළ ගුණපාල මලලසේකර මහතා (1961-1963) කටයුතු කළා.” යැයි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කනකරත්න මහතා පැහැදිලි කර තිබුණි.

පුවත්පත් සිරස්තල ගැන කතා කරද්දී, 1956 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ මාධ්‍ය කටයුතු ආවරණය කළ පළමු වාර්තාකරු වූ අර්නස්ට් කොරයා මහතා, ඩේලි නිවුස් සහ ඔබ්සර්වර් යන පුවත්පත් දෙකෙහිම කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය. පසුව ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ තනාපතිවරයා ලෙසද කටයුතු කළේය.

ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයකු ලෙස, නිව්යෝර්ක් නුවර කටයුතු කළ එඩ් කර්නර් මහතා, 1970 දශකයේ මුල් භාගයේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්තාකරුවකු වශයෙන් හොංකොං පාදක කරගත් ‘ඒෂියන්’ පුවත්පතට සේවය කළේය. ‘ඒෂියන්’ පුවත්පතේ එවකට සංස්කාරක ලෙස කටයුතු කළේ ටාසි විට්ටච්චි මහතාය‍. ඔහු දිගු කලක් ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘවරයා ලෙස සේවය කළ මාධ්‍ය ලොවේ දැවැන්තයකු ලෙස පිළිගැණුණු චරිතයකි.

ටාසි විට්ටච්චි මහතා ගැන සඳහන් කරන අර්නස්ට් කොරයා මහතා මෙසේ කියයි. ‘ඔහු වරක් මට උපදෙසක් දුන්නේය. “එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්වෙන්න නම් එපා.” යනු ඔහු දුන් උපදෙස එයයි. “ඔවුන්ට පුළුවන් ඔබ වැනි මාධ්‍යවේදියකු නිලධාරීවාදියෙක් කරන්න.”

විට්ටච්චි මහතා නිලධාරිවාදයට එරෙහිව හඬ නැඟූ අයෙකි. එවකට එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයෙකුගේ තනතුර දරමින් යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද ඔහු කටයුතු කළේය. එසේ කටයුතු කරද්දී පවා ඔහු ‘නිව්ස්වීක්’ සඟරාවේ තීරු ලිපි රචකයකු ලෙස සිය මාධ්‍ය වෘත්තිය ද කරගෙන ගියේය. එලෙස කටයුතු කළ එකම ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නිලධාරියා ඔහු විය හැක.

සංවර්ධන මාධ්‍ය කලාවේ ප්‍රබල උපදේශකයකු වූ ටාසි විට්ටච්චි මහතා, තුන්වැනි ලෝකයේ ප්‍රවෘත්ති ඒජන්සියක් වූ අයි.පී.එස්. ප්‍රවෘත්ති ඒජන්සියට සහාය දැක්වීය. ඔහු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී, එම අරමුදල සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීමට අයි.පී.එස්. ප්‍රවෘත්ති ඒජන්සියට අවස්ථාව සලසා දුන්නේය.

විශ්‍රාම යෑමෙන් පසු ද, ටාසි විට්ටච්චි මහතා අප කාර්යාලයට නිතර පැමිණියේය. එසේ පැමිණි එක් අවස්ථාවකදී, ඔහු එකල පැවති රජය නිර්දය ලෙස විවේචනය කළ අතර, ඇතැම් දේශපාලන නායකයන්ද දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය. ඔහු එදා කාර්යාලයෙන් පිටවී යෑමට පෙර මගේ මේසයේ කොනකට බර දෙමින් මා දෙස හැරී බලමින් මෙසේ කීවේය.

“මගේ මරණය ගැන ලියන දවසට, ඔබ ඒ ගැනත් සඳහන් කරන්නට අමතක කරන්න එපා!”

ඔහු කී ලෙස ම මම එය ඉටු කළෙමි.


RECOMMEND POSTS