ලෝකය සුරකින වීරයා

මේ පුංචි අප්‍රකට වීරයකු ගැන කතාවකි. මෙහි එන වීරයා පුංචි ජීවියෙකි. කෙස් ගහකටත් වඩා සිහින්ය. ක්ෂුද්‍ර ජීවියෙකි. මේ පුංචි වීරයා ගෝලීය උණුසුමෙන් අපේ ලෝකය, එසේත් නැතිනම් අපේ පෘථිවිය, ආරක්ෂා කරයි. ඒ, මහා පර්යටනයක (Migration) යෙදෙමිනි.
කවුරුත් වැඩිය නොදන්න, කවුරුත් කිසිදු තැකීමක් නොකරන වීරයා සාගර ජීවියකු වන ප්ලැන්ක්ටන් (Plankton) ය. සිංහල බසින් මෙය හැඳින්වෙන්නේ ප්ලවාංග කියාය. ප්ලවාංග කියන්නේ මිරිදිය සහ ලවණ ජල පරිසර පද්ධති දෙකේ ම දකින්න ලැබෙන ඉතා කුඩා ජීවීන් විශේෂයකි. සාමාන්‍යයෙන් තනි තනිව ඇසට පෙනෙන්නේ නැති ක්ෂුද්රජීවීන්ය. ප්ලැන්ක්ටන් යන වදන ග්‍රීක භාෂාවේ ප්ලැන්ක්ටොස් (planktos) යන වදනින් බිහිවුවකි. එහි අරුත, ‘ඉබාගාතේ පාවෙන’ යන්නය. ප්ලැන්ක්ටන් ජීවීන්ට තනිවම පිහිනා යෑමට හැකියාවක් නැත. ඒ වරල් ආදිය නැති නිසාය. ඒ නිසා ප්ලැන්ක්ටන් ජලයේ ගමන් බිමන් කරන්නේත්, පර්යටනයේ නියැළෙන්නේත් ජල ධාරා උපයෝගී කර ගනිමිනි.
ප්ලැන්ක්ටන් (ප්ලවාංග) ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. ශාක ප්ලැන්ක්ටන් (Phytoplankton) එක් වර්ගයකි. මේවා සමාන ශාකවලටය. සූර්යාලෝකය යොදා ගනිමින්, ප්‍රභාසංශ්ලේෂණය (Photosynthesis) හරහා තමන්ගේ ආහාර තමන් විසින්ම සාදා ගනු ලබයි. ඩයටම් (Diatoms) සහ ඩයිනොෆ්ලැජලේට් (Dinoflagellates) ශාක ප්ලැන්ක්ටන් සඳහා උදාරණ වෙයි. දෙවැනි වර්ගය, සත්ව සූප්ලැන්ක්ටන් (Zooplankton) ය. මොවුහු ශාක ප්ලැන්ක්ටන්, වෙනත් සත්ව ප්ලැන්ක්ටන් හෝ කාබනික ද්‍රව්‍ය ආහාරයට ගනිමින් ජීවත් වෙති. සාගර ජීවීන්ට; මාළුන්ට සහ තල්මසුන්ට ඉතා වැදගත් ආහාර ප්‍රභවයක් ද වෙයි. කෝපිපොඩ් (Copepods), ක්රිල් (Krill), ජෙලිෆිෂ් (Jellyfish) කීටයන් ආදිය සූප්ලැන්ක්ටන්ට උදාහරණ වෙයි.
ගෝලීය උණුසුමෙන් අපේ ලෝකය ආරක්ෂා කරන පුංචි වීරයා සූප්ලැන්ක්ටන් (Zooplankton) ය. විද්‍යාඥයන් මේ සූප්ලැන්ක්ටන් ජීවීන් හඳුන්වන්නේ, ‘ජීව විද්‍යාත්මක පොම්පය’ (Biological Pump) යන නමිනි. වසන්ත කාලයේදී, සූප්ලැන්ක්ටන් ක්ෂුද්‍ර ජීවීහු සාගර මතුපිටට පැමිණෙති. විද්‍යාඥයන්ට අනුව සූප්ලැන්ක්ටන්, වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ නංවන (ගෝලීය උණුසුම ඇති කරක) කාබන් අවශෝෂණය කර ගනී. එසේ අවශෝෂණය කර ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ආසන්න වශයෙන් පෙට්ට්‍රල් මෝටර් රථ මිලියන 55 ක වාර්ෂික විමෝචනයට සමාන යැයි පැවැසෙයි. සූප්ලැන්ක්ටන් කාබන් උරා ගනිද්දී, ඒවා වායු ගෝලයට එක් වන්නේ නැත. එමගින් වායුගෝලය උණුසුම් වීම වැළකෙයි.
මෙය සිදුවන්නේ සූප්ලැන්ක්ටන් ගන්නා ආහාරයෙනි. සූප්ලැන්ක්ටන් සාගර මතුපිටට පැමිණ, විශාල වශයෙන් පාසි වැනි ශාක ප්ලවාංග (Phytoplankton) ආහාරයට ගනී. ෆයිටොප්ලැන්ක්ටන්, ප්‍රභාසංශ්ලේෂණය මගින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් (CO2) අවශෝෂණය කර, එය කාබනික ද්‍රව්‍ය බවට පත් කරයි. සූප්ලැන්ක්ටන්, ෆයිටොප්ලැන්ක්ටන් ආහාරයට ගන්නා විට, එම කාබන් සූප්ලැන්ක්ටන්ගේ ශරීරයට උරාගෙන, මේදය ලෙස තැන්පත් කර ගනී. සූප්ලැන්ක්ටන් සිරුරුවල කාබන් ගබඩා කර ගැනෙයි.
ශීත ඍතුව ළං වන විට හෝ පරිසර තත්ත්වයන් වෙනස් වන විට, සූප්ලැන්ක්ටන්, ඇන්ටාක්ටිකාවේ ගැඹුරු සාගරයට සංක්‍රමණය වෙයි. ඒ මහා පරිමාණයෙන් සිදුවන සංක්රමණයකි. එය මහා පර්යටනයකි. ඇන්ටාක්ටිකාවේ ගැඹුරු සාගරයට ගිය පසු සූප්ලැන්ක්ටන්, මීටර් සිය ගණනක් ඇන්ටාක්ටිකා සාගරයේ ගැඹුරු පතුළ බලා යයි. ඒ, සිරුරුවල තැන්පත් කරගත් මේදය ද සමඟය. එසේ සාගරයේ ගැඹුරට ගිය පසු මේදය මුදා හැරීමක් සිදු කරයි. මේදය දහනය කිරීමක් සිදුවෙයි. එය සිදුවන්නේ, සූප්ලැන්ක්ටන් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලීන් සඳහා එම මේදය ශක්තිය ලෙස භාවිතා කිරීමෙනි.
මේ ආකාරයෙන්, වායුගෝලයෙන් අවශෝෂණය කරගත් කාබන්, ගැඹුරු සාගරයේ සිර වෙයි. යළි පහසුවෙන් වායුගෝලයට මුදා හැරීමක් සිදුවන්නේ නැත. මෙම ක්‍රියාවලිය මගින් කාබන්, වසර දහස් ගණනක් හෝ ඊට වැඩි කාලයක් ගැඹුරු සාගරයේ ගබඩා වී තිබේ. සූප්ලැන්ක්ටන්, ගෝලීය උණුසුම අවම කිරීමට දක්වන කාර්යය සුළුපටු නොවන්නේ එබැවිනි. විද්‍යාඥයන් වසර ගණනාවක් තිස්සේ ඇන්ටාක්ටික් මුහුදේ (දක්ෂිණ සාගරයේ) මෙම සූප්ලැන්ක්ටන් ජීවින්ගේ වාර්ෂික සංක්‍රමණ (පර්යටන) සහ එය දේශගුණික විපර්යාස සඳහා බලපාන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටි අතර, එහිදී මේ බව අනාවරණය විය. සූප්ලැන්ක්ටන් සම්බන්ධ මෙම අධ්‍යයනයට දායක වූයේ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥවරියක වන ගුවාං යැං ප්රමුඛ ඇගේ පර්යේෂණ කණ්ඩායමය. සූප්ලැන්ක්ටන්, අප පෘථිවියේ ආරක්ෂකයෙකි. සූප්ලැන්ක්ටන්, පෘථිවිය ආරක්ෂා කර ගන්න මහඟු සේවයක් ඉටු කරන බව විද්‍යාඥයන් අවබෝධ කර ගනිද්දී, සූප්ලැන්ක්ටන්ට එල්ල වන තර්ජන ද වැඩිවෙමින් පවතින බව ද අනාවරණය විය. ඒ සාගරය දූෂණය වීම හේතුවෙනි. සූප්ලැන්ක්ටන් රැක ගැනීම කොතරම් වැදගත්දැයි යන්න විද්‍යාඥයන් ඔවුන්ගේ මෙම නව සොයා ගැනීමත් සමඟ ලෝකයා දැනුවත් කර ඇත.
මේ ක්ෂුද්‍ර ජීවීන් අප්‍රකට වීරයෝ, ඔවුන්ගේ ජීවන රටාව හරිම අමුතුයි. යැයි පවසන්නේ, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක වන ජෙනිෆර් ෆ්රියර්ය. —තල්මසුන් හෝ පෙන්ගුයින් වැනි ඇන්ටාක්ටිකාවේ ජනප්‍රිය සතුන්ට සාපේක්ෂව සූප්ලැන්ක්ටන් ගැන කවුරුවත් තැකීමක් කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් ප්ලැන්ක්ටන් කීවාම දන්නේ මින්මැදුරු වෙළෙඳසැල්වලින් සුරතල් මසුන්ට කෑමට දෙන ආහාර ලෙස පමණයි. ඒ නිසා සූප්ලැන්ක්ටන් ජීවීන්ගේ වටිනාකම අගය කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒත් මේ ප්ලවාංග කොතරම් වැදගත්ද දැන් අප දන්නවා.” යැයි ජෙනිෆර් ෆ්‍රියර් වැඩි දුරටත් පැහැදිලි කරන්නීය.
සූප්ලැන්ක්ටන් ජීවන චක්‍රය ඉතා අමුතු මෙන්ම සිත්ගන්නාසුලුය. මිලිමීටර් 1-10 ක් තරම් කුඩා ප්‍රමාණයේ මේ ජීවීහු තම ජීවිතයේ වැඩි කාලයක් සාගරයේ මීටර් 500 සිට කිලෝමීටර් 2 ක් දක්වා ගැඹුරින් නින්දේ පසුවෙති. ඇන්ටාක්ටිකාවේදී සූප්ලැන්ක්ටන් ඡායාරූප ගත කළ මහාචාර්ය ඩැනියෙල් මේයර් පැහැදිලි කරන පරිදි, අන්වීක්ෂයක් යටතේ ගත් පින්තූරවලින් ඔවුන්ගේ සිරුරු තුළ දිගු මේද තට්ටු සහ හිසේ මේද බුබුළු පැහැදිලිව දැකගත හැකි බවය. මෙම සටහන සමඟ පළවන ඡායාරූපයක එම මේද තට්ටු දැක ගත හැකිය. සමස්තයක් ලෙස ගත් කළ, ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් මුදා හැරෙන තාප ප්‍රමාණයෙන් සියයට 90 ක් සාගරය මගින් අවශෝෂණය කර ගනී. දක්ෂිණ සාගරය පමණක් එසේ අවශෝෂණය කර ගන්නා ප්‍රමාණය සියයට 40 කි. එහිදී ද වැඩි දායකත්වයක් දක්වන්නේ සූප්ලැන්ක්ටන්ය.
බීබීසී ඇසුරිනි

