ලස්සන ඇහිබැමක් ඇති ඩයිනසෝරයා



තවත් අලුත් ඩයිනසෝරයකු ගැන කියන්නයි මේ සූදානම. මේ ඩයිනසෝරයා ගැන කියද්දී, පොසිල විද්‍යාඥයන්ට ජනප්‍රිය බටහිර නිළියක මෙන්ම නිරූපිකාවක ද වන කාරා ඩෙලවීන් Cara Delevingne මතක් වුණු බව ද පැවැසෙයි. කාරා ඩෙලවීන් ලස්සන නිරූපිකාවයක්; රංගන ශිල්පිණියක්. ඒත් මේ අලුත් ඩයිනසෝරයා සහ ඇගේ ඇති සම්බන්ධය කුමක්ද? ඒක ඇත්තටම හිතා ගන්න බැරි විදියේ සම්බන්ධයක්. මේ සටහන සමඟ ඒ අලුත් ඩයිනසෝරයාගේත්, කාරාගේත් සිතුවම් සහ ඡායාරූප පළවෙයි. 

පොසිල විද්‍යාඥයන් මේ නව ඩයිනසෝරයා නම් කර ඇත්තේ ඇල්පාරකුෂ් කිර්ගිස්කස් Alpkarakush kyrgyzicus යන නමිනි. නමට අනුව, ඩයිනසෝරයාගේ පොසිල අස්ථි හමුවන්න ඇත්තේ කොහෙන්දැයි අනුමාන කළ හැකිය. පොසිල අස්ථි හමුවී ඇත්තේ කිර්ගිස්තානයෙනි. කිර්ගිස්තානය මධ්‍යම ආසියානු රටකි. බොහෝ දෙනකු කිරිකිස්තානය යනුවෙන් ද මේ රට හඳුන්වයි. ඒත් ඒක වැරදිය. කිරිකිස්තානය යනුවෙන් රටක් නැත. මේ රට කිර්ගිස්තානය Kyrgyzstan යි. 

කිර්ගිස්තානයේ, ටාෂ්කුමර් Tashkumyr නගරයට ඔබ්බෙන් ඇත්තේ කාන්තාර කඳුකර පළාතකි. මේ පළාත ඩයිනසෝර පොසිල අස්ථිවලට ප්‍රකටය. අතීතයේ එනම් අවුරුදු මිලියන 165 කට කලින්, ඇල්පාරකුෂ් කිර්ගිස්කස් ඩයිනසෝරයා මෙම පළාතේ ජීවත් වූ බව පැවැසෙයි. අද වියළි කාන්තාර ප්‍රදේශයක් වුවත්, අතීතයේ මෙම පළාත වගුරක් වන්න ඇතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. 

මේ ඩයිනසෝරයා ඇල්පාරකුෂ් Alpkarakush යන නමින් නම් කළේ විශේෂ හේතුවක් ද ඇතිවය. ඇල්පාරකුෂ් Alpkarakush යනු කිර්ගිස්තාන සාහිත්‍යයේ ප්‍රකට කාව්‍යයක සඳහන් මිත්‍යා කුරුල්ලෙකි. යෝධ කුරල්ලෙකි. වීර වික්‍රමවල යෙදුණු වීරයන්ගේ පිහිටට ආ කුරුල්ලෙකි. ඩයිනසෝරයන් උරගන් නොවෙයි. ඩයිනසෝරයන් වඩාත් සමානකම් දක්වන්නේ කුරුල්ලන්ටය. විද්‍යාඥයන් මෙම සමානකම සොයාගෙන ඇත්තේ ඩයිනසෝර අස්ථිවලිනි. “ඩයිනසෝරයන් අද නැහැ. ඒත් ඩයිනසෝරයන් දැක ගන්න ඕනෑ නම් යන්න ගෙවත්තට. ගෙවත්තට එන සෑම කුරුල්ලෙකුම ඩයිනසෝරයකුට සමානයි.” මෙය පොසිල විද්‍යාඥයන්ගේ ප්‍රකට කියමනකි. 

ඇල්පාරකුෂ් කිර්ගිස්කස් ඩයිනසෝරයාගේ අස්ථි කොටස් පළමුවෙන් සොයා ගැනීම සිදුවූයේ 2006 දීය. ඒ වනවිට හමුවුණේ නව ඩයිනසෝරයකුගේ අස්ථි යැයි පොසිල විද්‍යාඥයන් දැන සිටියේ නැත. අස්ථි අධ්‍යයනය කරමින්, ඒවා අයිති නව ඩයිනසෝර විශේෂයක් යැයි තහවුරු කර ගැනීම සිදුවූයේ පසුවය. එය කිසිසේත් පහසු කාර්යයක් වූයේ නැත. ඒ සඳහා වසර ගණනක් ගතවිය. කැණීම් කරද්දී, වැඩිහිටි ඇල්පාරකුෂ් කිර්ගිස්කස් ඩයිනසෝරයකුගේත් අවුරුදු 17 ක් පමණ වයසැති ඇල්පාරකුෂ් කිර්ගිස්කස් පැටවකුගේත් අස්ථි මතු කර ගැනීමට පොසිල විද්‍යාඥයන් සමත් විය. 

එයින් පැහැදිලි වන්නේ මෙම ඩයිනසෝරයන් ද අනෙක් බොහෝ ඩයිනසෝර විශේෂ මෙන්ම කුඩා පැටවුන් රැක බලා ගත්තා යන්නයි. විද්‍යාඥයන්ට හමුවූයේ පොසිලකරණයට ලක් වුණු ඇල්පාරකුෂ් කිර්ගිස්කස් Alpkarakush kyrgyzicus ඩයිනසේරාගේ කාශේරුකාවේ අස්ථි කොටස්, උකුල් අස්ථි කොටස්, පාද අස්ථි කොටස් උරහිස් අස්ථි කොටස් සහ හිස් කබලේ කොටස්ය. 

පාදයේත් කාශේරුකාවේත් අස්ථි කොටස් අධ්‍යයනය කිරීමෙන් ඩයිනසෝරයා මීටර් 9 ක් උස වන්න ඇතැයි තහවුරු කර ගැණුනි. අස්ථි කොටස් වැඩිදුර අධ්‍යයනය කරද්දී, ඇල්පාරකුෂ් කිර්ගිස්කස් Alpkarakush kyrgyzicus අයිති වන්නේ තෙරපෝඩ් Therapod වර්ගයේ පාද දෙකෙන් (පසුපස ගාත්‍රා දෙකෙන්) ඇවිද්ද ඩයිනසෝරයෙකු බවත්, අප කවුරුත් හොඳින් දන්නා ටී රෙක්ස් ඩයිනසෝරයාගේ දුරින් ඥාතියෙකු බවත් තහවුරු විය. 

ඇල්පාරකුෂ් කිර්ගිස්කස් ඩයිනසෝරයාගේ හිස් කබලේ ඇසට ඉහළින් නාස් පුඩු සිට හිස මුදුන දක්වා අස්ථි නෙරීමක් පිහිටයි. මෙය ඇල්පාරකුෂ් කිර්ගිස්කස් ඩයිනසේරයාට සුවිශේෂී ලක්ෂණයකි. බැලූ බැල්මට එය අසාමාන්‍ය ලස්සන ඇහිබැමකි. පොසිල අස්ථි පරිගණකයට ස්කෑන් කර, පරිගණකයෙන් ඩයිනසෝරයාගේ ත්‍රිමාණ රූපයක් ප්‍රතිනිර්මාණය කර ගැනීමට ද විද්‍යාඥයෝ සමත් වී සිටිති. 

මේ සටහන සමඟ ඇති ඇල්පාරකුෂ් කිර්ගිස්කස් ඩයිනසෝරයාගේ සිතුවම බලද්දී ඔබට එය වැටහෙනු ඇත. විද්‍යාඥයන්ට සුරූපී කාරා ඩෙලවීන් සිහියට ආවේ මේ ඇහිබැම නිසාය. කාරා ඩෙලවීන්, ඝන පළල් ඇහිබැමක් ඇති සුන්දර යුවතියකි. 


RECOMMEND POSTS