යුද්ධය අවසන්



අවසානයේ එය එසේ සිදුවිය. ඒ, හිසරදය අවසන් විය. මුළු ලෝකයම සැනැසුම් සුසුම් හෙළීය. ඇමෙරිකාව සහ ඉරානය අතරේ යුද්ධය අවසන් විය. සාම සැලැස්මක් පෙරදැරි කර ගනිමින්, අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වය සහ ඉරාන නියෝජිතයන් අත​රේ එකඟතාවක් ඇති කර ගැනුණි. මෙම එකඟතාව ඇති කර ගැනීමට පසුබිම සකස් කළේ සහ එය පසුපස සිටින්නේ පාකිස්තානයයි. ඒ සම්බන්ධයෙන් පාකිස්තානයට ප්‍රසංශා කළ යුතුය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදාපති අසිෆ් මුනීර් ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ මිතුරන්ය. මොවුන් දෙදෙනා ඉරානයේ ද හිතවතුන්ය. අර්බුදය අවසන් කිරීමට මැදිහත් වෙන්නැයි පාකිස්තානයට ඇරැයුම් කළේ වෙන කවුරුත් නොව ට්‍රම්ප්ය. ඒ අනුව, පාකිස්තානය ප්‍රසංශනීය කාර්යයක් ඉටු කළේය. සෙසු මැදරපෙරදිග රටවල, විශේෂයෙන් කටාර්යේ ද සහාය පාකිස්තානයට හිමිවුණු බව අමතක නොකළ යුතුය.

ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය ඉකුත් 15 වැනිදාට යෙදී තිබුණි. ඉරානය සමග අවබෝධචතා ගිවිසුමකට සියල්ල සූදානම් බව ට්‍රම්ප් නිවේදනය ජන්ම දිනයට සමගාමීවය. අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් කිරීම ලබන සිකුරාදා (19) ස්විට්සර්ලනත්යේ ජිනීවා නුවර දී සිදුවනු ඇත. ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් පමණක් නොව, පාකිස්තාන සහ කටාර් නියෝජිතයන් ද ඊට සහභාගී වනු ඇතැයි මාධ්‍ය පවසයි. උපන් දිනය සැමරීමෙන් පසු, ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ට්‍රම්ප් ගුවන්ගත විය. දැන් ට්‍රම්ප් සිටින්නේ යුරෝපයේය. මෙවර ‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ ප්‍රංශ ස්විට්සර්ලන්ත දේශසීමාවේ සුන්දර නිවාඩු නිකේතනයකය. ඇතැම් විට ට්‍රම්ප් ද අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ එම ඓතිහාසික අවස්ථාවක එක් වනු ඇත. කෙසේ නමුත් ඒ ගැන ධවල මන්දිරය කිසිවක් පවසා නැත. ට්‍රම්ප් සහභාගී නොවන්නේ නම්, උප ජනාධිපති ජේඩී වැන්ස් එම අවස්ථාවට එක් වනු ඇත.

ඊයේ (16) ‘ජී7’ සමුළුව අතරතුරේ අවබෝධතා ගිවිසුම ගැන මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කරන්න විය. එහිදී ට්‍රම්ප් පැහැදිලි කළේ, මේ වනවිටත් තමන් සහ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගාර් ගලිබාෆ් අතරේ ‘වාචිකව’ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර අවසන් බවය. ඇතිකරගත් එකඟතාවට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘත වී නැව් ගමනාගමනය සිදුවෙමින් පවතින බවත් ‘ජි7’ සාමාජිකයන් වන ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එම කටයුතුවලට මැදිහත් වනු ඇති බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ විස්තර තවමත් සම්පූර්ණයෙන් ප්‍රසිද්ධියට පත් කර නැතත්, ඉදිරියේ දී සියලු කරුණු ලෝකයට හෙළි කරනවා යැයි ට්‍රම්ප් ‘ජී7’ සමුළුවේදී වැඩි දුරටත් පැවැසීය. කෙසේ නමුත් ගිවිසුමට අදාළ මූලික කාරණා සම්බන්ධයෙන් ඇමෙරිකාවත් ඉරානයත් යම් යම් ඉඟි ලබා දී ඇත. දෙපාර්ශ්වය අතරේ සටන් නැවැත්වීම සහ ‘නාවික අවහිරතා’ ඉවත් කිරීම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන කාරණා වෙයි. අවබෝධතා ගිවිසුමට අනුව, ලෙබනනයේ ගැටුම් ද අවසන් විය යුතු වෙයි. ලෙබනනයට පහර දෙන්නේ ඊශ්‍රායලයයි. ඒ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. හිස්බුල්ලා යනු ඉරාන හිතවාදී කණ්ඩායමකි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කළ කණ්ඩායමකි. හිස්බුල්ලා දේශපාලනික අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. දේශපාලනික අංශය ලෙබනන් දේශපාලනය හා තදින්ම බැඳී පවතී.

ඇමෙරිකාව පහර දෙද්දී, ඉරානය හෝමූස් වසා දැමීය. හෝමූස් සමුද්‍ර සන්ධිය යනු පර්සියානු ගල්ෆ් බොක්ක සහ ඕමාන් බොක්ක (අරාබි මුහුද) යා කරන, ලෝකයේ පිහිටි දේශපාලනික හා ආර්ථික වශයෙන් අතිශය වැදගත්ම සහ උපායමාර්ගිකම පටු මුහුදු මාර්ගයයි. මෙහි උතුරු වෙරළ තීරයේ අයිතිය ඇත්තේ ඉරානය සතුවය. දකුණු වෙරළ තීරය ඕමානයටත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් අයත් වෙයි. හෝමූස් මුහුදු තීරයේ පටුම ස්ථානය කිලෝමීටර් 33 ක් තරම් කුඩා වන අතර, ලෝකයේ දිනපතා පරිභෝජනය කරන ඛනිජ තෙල් ප්‍රමාණයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් (විශේෂයෙන්ම සෞදි අරාබියෙන්, කුවේටයෙන්, ඉරාකයෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් අපනයනය කරන තෙල්) ලෝකය වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ හෝමූස් හරහාය. නැව්වලට ආරක්ෂිතය යා හැකි මාර්ගය ඇත්තේ ඉරානයට ළංවය. ඕමානයට ළංව ඇති මුහුදු කලාපය ගැඹුරු නැත. ගල් පර්වත ද බහුලය.

‘ඉරානය හෝමූස් වසා දැමීම’ යනු, ඊශ්‍රායල විප්ලවීය ආරක්ෂක බලකාය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමය. ඉරානය විප්ලවීය ආරකක්ෂක බලකාය මෙම අවහිර කිරීම කරන්නේ, මුහුදේ බෝම්බ අතරමින් සහ ප්‍රහාරක නාවික යාත්‍රා යොදා ගනිමිනි. ඇමෙරිකාව සමග ගැටුම් උත්සන්න වෙද්දී, ඉරානය ඔවුන්ගේ මෙම ‘හෝමූස් අවහිර කිරීම’ නැමැති තුරුම්පුව අතට ගත්තේය. ඉරානය ඔවුන්ට හිතවත් තෙල් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට පමණක් හෝමූස් විවෘත කර අතර, ඉරානයට කෙණෙහිලිකම් කරන ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට හිතවත් රටවල නෞකාවලට හෝමූස් හරහා යෑමට හෝ ඒමට අවසර දුන්නේ නැත. පහර දුන්නේය. නෞකා අත්පත් කර ගත්තේය.

ලෝක වෙළඳපොළට ලැබෙන ඛනිජ තෙල් සැපයුම එකවරම අඩාල වී, ගෝලීය වශයෙන් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් මුළු මහත් ලෝක ආර්ථිකයම දැඩි අර්බුදයක් නිර්මාණය විය. මෙම අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකන් හමුදාව යොදවා හෝමූස් සමුද්‍ර සන්ධියේ පිවිසුම අවහිර කළේ ඉරාන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධියට පිවිසීමට හෝ පිටවීමට හෝ නොහැකි අයුරිනි. ඉරාන නෞකා කීපයක් ඇමෙරිකන් නාවික හමුදාවේ ප්‍රහාරයට ලක්විය. තවත් නැව් කීපයක් ඇමෙරිකන් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

අවබෝධතා ගිවිසුමට අනුව, ට්‍රම්ප් ඉරානයට තර්ජනයක් වූ ඇමෙරිකන් නාවික බලඇණි ආපසු ගෙන්වා ගනු ඇත. ඉරානයට පහර දීමට ඇමෙරිකන් සෙබළුන් 50,000 ක බලඇණියෙක් මැදපෙරදිග කලාපයේ සීරුවෙන් සටි බව ද පැවැසෙයි. හෝමූස් හරහා යන නැව්වලින් බදු මුදලක් අය කර ගැනීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය දී තිබුණු නමුත්, හෝමූස් සැමට විවෘත වි යුතු යැයි ට්‍රම්ප් දිගින් දිගටම තර්ක කර ඇත. ඒ අනුව හෝමූස් සම්පූර්ණයෙන් විවෘත වනු ඇති බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ජනපති ට්‍රම්ප් මේ බව නිවේදනය කළ සැණින්, ඉන්ධන මිල ක්ෂණිකව පහළ වැටුණි. ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සියයට 5කින් පමණ පහළ ගියේය. එය පසුගිය මාර්තු මාසයෙන් පසුව වාර්තා වූ අඩුම මිල මෙය වෙයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 4.10 කින් ඩොලර් 83.75 දක්වාත්, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සියයට 4.72කින් ඩොලර් 80.87 දක්වාත් පහළ ගොස් තිබිණි. මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය බොරතෙල් මිල ඒ අනුව මෙම මාසයේදී සියයට 22.56 කින් පහළ ගොස් ඇත. එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 25.42 කින් පහළ ගොස් තිබේ. ඉන්ධන මිල පහළ යෑම ලොව සැමට අස්වැසිල්ලකි. අප රටට ඒ අස්වැසිල්ල උදා වීමට තවත් ටික කාලයක් ගත යනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. හේතුව, අතමිට සරු ප්‍රබල රටවල් මේ වනවිටත්, වැඩි වැඩියෙන් තෙල් මිලදී ගැනීමට යොමුවන බැවිනි.

අවබෝධතා ගිවිසුමට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ද ඇතුළත් වෙයි. ඇමෙරිකා ඉරාන විරසකයට ප්‍රධාන හේතුව මෙම න්‍යෂ්ටික වැඩසටහනය. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි ගිවිසුමක් ඇති කරගෙන සිටියේය. ඒ, චීනය, රුසියාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය යන රටවල් ද හවුල් කර ගනිමිනි. න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කළේය. මෙය ඊශ්‍රායලයේ අප්‍රසාදයට හේතුවක් විය. ට්‍රම්ප් සිය පළමු ධුරයේදී එම ගිවිසුම අහෝසි කළේ, ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් කර ගනිමිනි. එය සිදුවූයේ බීබීගේ බල කිරීමටය. බීබී යනු ට්‍රම්ප්ගේ ගජ මිතුරා වන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. නෙදන්යාහුට අනුව, ට්‍රම්ප් තරම් ඊශ්‍රායලයේ මිතුරකු මෙතෙක් ලොව පහළ වී නැත.

එලැඹෙන සිකුරාදා දිනයේ, ස්විට්සර්ලන්තයේදී අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් කිරීමෙන් පසු එළඹෙන දින 60 ක කාලය තුළ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා මෙන්ම සම්බාධක ලිහිල් කිරීම පිළිබඳ ඉදිරි සාකච්ඡා ද සිදුවනු ඇත. මේ වනවිටත් ඇමෙරිකාන විසින් රඳවාගෙන ඇති ඉරානයට අයත් මුදල්වලින් කොටසක් යළි ඉරානයට භාරදීමට එකඟත්වයක් ද පළ වී ඇත. එසේ වුවත්, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් ඊයේ (16) මාධ්‍ය හමුවේ පවසා තිබුණේ, එසේ ඉරානයට අයත් වත්කම් යළි ඉරානයට බාර දීමට ට්‍රම්ප් එකඟ වී නොමැති බවය. මේවනවිට ඇමෙරිකාව සතුව රඳවාගත් ඉරාන වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 25 කි. අවබෝධතා ගිවිසුමට අදාළව එය ද යළි ඉරානයට බාර දීම සඳහා නිදහස් කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ අවධානය යොමු වී ඇත.

ඇමෙරිකාව සහ ඉරානය අතර ඇතිවීමට නියමිත නව එකඟතාවය සම්බන්ධයෙන් ඊයේ (16) වෙද්දී ඊශ්‍රායලය තුළ දැඩි දේශපාලන නොසන්සුන්තාවක් හටගෙන තිබුණි. මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවැසුවේ, අදාළ ගිවිසුම ක්‍රියාත්මක වුවද නැතද ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොතබන බවය. ඊට අමතරව දැනට සීරුවෙන් තබා ඇති ඊශ්‍රායල ආරක්ෂක අංශ ආපසු කැඳවීමේ කිසිදු අදහසක් නොමැති බව ද නෙදන්යාහු පැහැදිලි කළේය. මාධ්‍ය හමුවකට එක් වෙමින් නෙදන්යාහු වැඩිදුරටත් කියා සිටියේ, ‘ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවි හිමිවන්නේ නැහැ, ඒක අදට වගේම හෙටටත් පොදු සත්‍යයක්’ යනුවෙනි. මෙම ඔක්තෝබරයේ ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. නෙදන්යාහුගේ ‘ලිකුද්’ දේශපාලන පක්ෂය නිවේදනය කර ඇත්තේ නෙදන්යාහු දිගටම බලයේ සිටීමේ අරමුණින් ඊට එක් වනු ඇති බවය. කෙසේ නමුත්, ඉරානය සමග ගැටුමකට යෑම සම්බන්ධයෙන්, පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂවලින් සහ විපක්ෂයෙන් අග්‍රාමාත්‍ය නෙදන්යාහුට දැඩි විරෝධයක් පවා එල්ල වෙයි. නෙදන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව, ගාසා තීරය් පලස්තීනුවන් අමු අමුවේ මරා දැම්මේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් චෝදනා එල්ල වී ඇත. නෙදන්යාහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බීබීගේ කීමට, ෂියා මුස්ලිම් ඉරානයට පහර දුන්නේ ඉකුත් අප්‍රේල් 28 වැනිදාය. ඇමෙරිකා යුද්ධයෙන් ජයග්‍රහණය කළේ කවුරුන්ද? පරාජය වූයේ කවුරුන්ද? ඉරානය මට්ටු කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහය අසාර්ථක වූවාද? මේ බොහෝ දෙනකු නගන පොදු ප්‍රශ්නවලින් කීපයකි. ඉරානය සමග යුද්ධය සඳහා ඇමෙරිකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන 29 ත් 50 ත් අතර දැවැන්ත මුදලක් වැය කර ඇති බව ඇස්තමේන්තු කර තිබේ. දිනකට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන එකක් හෝ දෙකක් යැයි ද පැවැසෙයි. ඇමෙරිකාව ඉරානයට පහර දීමට ඔවුන්ගේ අති නවීන මිසයිල සහ ප්‍රහාරක යානා භාවිතයට ගත්තේය. නාවික බලඇණි රැසක් මධ්‍යධරණී මුහුදට යැවීම සිදුවිය.

අප්‍රේල් 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ දේශපාලන සහ හමුදා ඉලක්කවලට එකපිටඑක ප්‍රහාර එල්ල කළේය. ඒ වනවිට ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළේ අයතුල්ලා අලි කමේනීය. ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් කාමේනී සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ජීවිතක්ෂයට පත්වූහ. කාමේනීගේ බාල පුතු මුජ්ටාබා කමේනී බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තේය. අද ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන්නේ 56 හැවිරිදි මුජ්ටාබා කමේනීය. දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනාගේ අදහස ඇමෙරිකාව ඉරානයේ ඉස්ලාමීය පාලනය පෙරළා දැමීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත්, ඇමෙරිකන් ප්‍රහාර හමුවේ ඉරානය නොසැලුණු බවත්ය. ඉරානයට පහර දී, ඇමෙරිකාව ඔවුන්ගේ අවි ගබඩා හිස් කර ගත් බව ඇතැමුන්ගේ අදහසය. ඇමෙරිකාව සතු අති ප්‍රබල මිසයිල බොහොමයක් යුද්ධයට යොදා ගැණුනු බව සැබෑවකි. ඇමෙරිකාවට, එක් වසරක් තුළ, ඇතැම් මිසයිල නිපදවීම කළ හැක්කේ මිසයිල දෙකක් හෝ තුනක් පමණක් බව ද පැවැසෙයි. ඊට අමතරව, ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද ඔවුන් සතු අති නවීන ඩ්‍රෝන යානා ද මෙම යුද්ධය අතරතුරේ අත්හදා බැලීම්වලට යොදා ගත් බව ද පැවැසෙයි.

ඉරානයේ රෙජීමයේ වෙනසක් ඇති කිරීම යනු මුල් ඇදුණු අතු බෙදුණු මහ රූස්ස ගසක් ගලවනවා හා සමානය. එය පහසු නොවෙයි. ඊට හේතුව, ඉරානය ඔවුන්ගේ රජය ගොඩනගා ඇත්තේ සතුරු ප්‍රහාර එල්ල වුවහොත්, රජය කඩා නොවැටෙන ආකාරයටය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධානියා උත්තරීතර නායකයාය. ඉහළින්ම සිටින්නේ ඔහුය. එසේ වුවත් රටේ පාලනය උත්තරීතර නායකයා යටතේ කොටස් තුනකට බෙදී යයි. බලය මධ්‍යගත කිරීමක් නොවෙයි. එම කොටස් තුන ජනාධිපතිවරයා, අධිකරණය සහ පාර්ලිමේන්තුවයි. ඉරානයේ අධිකරණ පද්ධතිය සෘජුව ඇත්තේ උත්තරීතර නායකයා යටතේය. අධිකරණ පද්ධතියේ ප්‍රධානියා පත් කරන්නේ උත්තරීතර නායකයාය. ඉරාන පාර්ලිමේන්තුවට සතු බලතල ඉහළය. ඉරාන ඉස්ලාමිය ජනරජය දෙමුහුන් දේශපාලන පද්ධතියකි. මෙය නිර්මාණය වූයේ 1979 ඉරාන විප්ලවයෙන් අනතුරුවය. ආණ්ඩු බලය විවිධ පාර්ශ්වයන් අතරේ බෙදී යෑමක් සිදු කර ඇත්තේ ඒ නිසාය. 1979 ඉරාන විප්ලවයෙන් පසු ඒ සඳහා ද විශේෂ සභාවක් ස්ථාපිත කර ඇත. මේ සභාව විශේෂඥ මණ්ඩලයයි. මෙම මණ්ඩලයේ සාමාජිකයන් 88 දෙනකු සිටින අතර ඔවුන් සියලු දෙනා ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන්ය. උත්තරීතර නායකයා තෝරා ගැනීම පමණක් නොව, ඔහු ගැන වගකීම දරන්නේ ද මෙම මණ්ඩලයයි. ඉරානයේ  ව්‍යවස්ථාවට අනුව, ඉරාන උත්තරීතර නායකයා තමන්ගේ රාජකාරිය හරිහැටි නොකරන්නේ නම් හෝ ඔහුගේ තීන්දු තීරණ සැමවිටම නිවැරදි නොවන්නේ නම්, ඔහු බලයෙන් ඉවත් කර වෙනත් උත්තරීතර නායකයකු පත් කර ගැනීමේ බලය ඇත්තේ ද මෙම මණ්ඩලයටය. උත්තරීතර නායකයා මියගියහොත්, නව නායකයකු හැකි ඉක්මනින් තෝරා ගැනීම කළ යුත්තේ ද මෙම මණ්ඩලයයි. කමේනී ඝාතනය වීමෙන් පසු නව නායකයා ගෙස මුජ්ටාබා කමේනී තෝරා ගැනීම කළේ ද මෙම මණ්ඩලයයි.

ලෝකයේ හමුදා දෙකක් ඇති එකම රට වන්නේ ඉරානයයි. මෙම හමුදා දෙක එකිනෙකට වෙනස් කාර්යභාරයන් ඉටු කරයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ යුද හමුදාව සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය යනු ඒවාය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ එරට සාම්ප්‍රදායික හමුදාවය. මෙහි මූලික වගකීම වන්නේ ඉරානයේ භූමිය, ගොඩබිම, මුහුද සහ ගුවන් සීමාව බාහිර ආක්ර මණයන්ගෙන් ආරක්ෂා කිරීමය. මෙයට ගොඩබිම් හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක බලකාය යන අංශ හතරම ඇතුළත් වේ. මෙය ඉරානයේ ඉස්ලාමීය පාලනයට පෙර, ෂා රජුගේ පාලන යටතේ සිට පැවැත එන හමුදාවය. ඉරාන විප්ලවවාදීන්ට මෙම හමුදාව කෙරෙහි ලොකු විශ්වාසයක් පැවැතියේ නැත. ඒ අනුව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පිහිටුවීය.

ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය යනු 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද ඉතා බලගතු හමුදාමය සහ දේශපාලනික ඒකකයයි. මෙහි අරමුණ ඉරානයේ ඉස්ලාමීය පාලන ක්‍රමය ආරක්ෂා කිරීම සහ ඉරාන විප්ලවයට එල්ල වන අභ්‍යන්තර සහ බාහිර තර්ජන මැඩපැවැත්වීමය. ඇමෙරිකා හිතවාදීන් ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහිව විරෝධතා පවත්වද්දී පොලිසිය සමඟ එක් වී එම විරෝධතා මර්දනය කරන්නේ ද මෙම හමුදාවය. මෙම හමුදාවට තමන්ගේම ගොඩබිම්, නාවික සහ ගුවන් අංශ පවතී. විදේශීය මෙහෙයුම් සඳහා කුඩ්ස් නමින් අතිරේක බලඇණියක් සහ බසීජ් නමැති ස්වේච්ඡා සන්නද්ධ කණ්ඩායමක් ද ඇතුළත් වෙයි. ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය සමඟත්, සිරියාවේ හූති සටන්කාමීන් සමඟත් සම්බන්ධකම් පවත්වන්නේ කුද්ස් සහ බසීජ්ය. 

ඉරාන ඉස්ලාමීය පාලනය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නම්, ඇමෙරිකාව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සහ පොලිසිය ද මුළුමනින්ම අඩපණ කළ යුතුය. යුද්ධය උත්සන්න වෙද්දී, ට්‍රම්ප් පුරසාරම් දොඩන්න වූයේ ඉරාන ගුවන් හමුදාව, ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කර දැමීමට ඇමෙරිකන් හමුදාවටත්, ඊශ්‍රායල හමුදාවටත් හැකි වුණු බවය. ඉරාන විප්ලවීය හමුදාවට අනුව, එය එසේ නොවෙයි. ඉරානය පවසන්නේ තම විප්ලවීය ආරක්ෂක බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හිතවාදී රටවල පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුරු සියල්ලම පාහේ විනාශ වුණු බවය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවා මේ බව ප්‍රසිද්ධියේ පවසා ඇත. ඉරානයට දිගින් දිගටම තර්ජනය කරමින්, ට්‍රම්ප් ඉරානයට ගොඩබිමින් හමුදාව යැවීමට සූදානම් වෙද්දී, යුද විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ එය කිසිසේත් නුවණට හුරු නැති බවය. ට්‍රම්ප්, ඉරානයට ගොඩබිම් හමුදා යැවීමට සූදානම් වෙද්දී, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇමෙරිකන් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඇමෙරිකන් හමුදා එනකල් ඉරානය බලා සිටින බවත්, ඇමෙරිකන් හමුදා එසේ පැමිණියහොත් ඔවුන්ට පසුතැවීමට සිදුවනු ඇති බවත්ය. “අප බොහොම ගෞරවණීය ජාතියක්. අප කාගේවත් බලපෑම්වලට යටත් වන්නේ නැහැ. තර්ජනවලට යටත් වෙන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. අපට ගෞරවය දක්වන ආකාරයට අප පෙරළා ඕනෑම කෙනකුට ගෞරව කරනවා.” මේ ඉරාන විදේශ අමාත්‍යවරයාගේ වදන්ය.

මේ අතර, මාස ගණනාවක් තිස්සේ ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරමින් මැදපෙරදිග පැවැති යුද ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව සහ ඉරානය ඇති කරගත් එකඟතාව සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු සතුට පළ කර ඇත. චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම මේ වනවිට යුරෝපා සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිටී. ඉන්දියාව ‘ජී7’ සාමාජික රාජ්‍යයක් නොවුණත්, ප්‍රංශයේ, ප්‍රංශ ස්විට්සර්ලන්ත දේශසීමාවේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට මෝදි ‘ඔළුව දමනු ඇතැයි’ විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකා ඉරාක යුද ගැටුම් අවසන් වී, එයින් ලෝකයට සිදුවුණු බලපෑම අවම වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ”ලොව පුරා බරපතළ ආර්ථික කඩා වැටීම්වලට මෙන්ම මිනිස් ජීවිත අහිමි වීමට හේතුවූ ඇමෙරිකා ඉරාන යුද ගැටුම නිමා කිරීම සඳහා ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතාව මා සාදරයෙන් පිළිගන්නවා.” යනුවෙනි. අවබෝධතා ගිවිසුම මගින් මගින් කලාපයේ නාවික කටයුතුවල සහ වෙළෙඳාමේ නිදහස තහවුරු වන අතරම, සාමය සහ ස්ථාවරත්වය නැවත උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් පැහැදිලි කළේය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS