යළි පණ ලබන මෝවා

ජාන සංස්කරණ තාක්ෂණය සහ ක්ලෝනකරණයේ (cloning) මූලධර්ම භාවිතයට ගනිමින්, මිහිමතින් වඳවී ගිය සතුන්ට යළි පණ දීමට උත්සහ ගනිමින් සිටින්නේ කොලෝසල් බියෝසයන්ස් Colossal Biosciences නමැති සමාගමය. මෙය ඇමෙරිකන් සමාගමකි. සියයට 100 ක් ම සමාන නොවුණත්, වඳ වී ගිය සතුන්ට සියයට 99 ක් හෝ සමාන අයුරින් එම සතුන්ට යළි පණ දීම කොලෝසල් බියෝසයන්ස් විද්‍යාඥයන්ගේ අරමුණය. මෙය සදාචාරාත්මක ද නැද්ද යන්න සම්බන්ධයෙන් වාද විවාද පවතී. එසේ වුවත්, 2028 දී අයිස් යුගයේ ජීවත් වූ මැමතකුට පණ දීමට සූදානම් වන්නේ ද මෙම සමාගමේ විද්‍යාඥයන්ය.
වඳ වී ගිය සතුන්ට පණ දීමට අවශ්‍ය උන්ගේ ඩී.එන්.ඒ. ය. අස්ථිවලින් හෝ ලොම්වලින් ඩී.එන්.ඒ. ලබා ගැනීම කළ හැකිය. මැමතාට පණ දීමට කොලෝසල් බියෝසයන්ස් විද්‍යාඥයන් සූදානම් වන්නේ, සයිබීරියාවේ අයිස් අතරේ තිබී හමුවුණු මමීකරණය වූ මැමතුන්ගේ සිරුරුවලින් ලබා ගත් ඩී.එන්.ඒ. යොදා ගනිමිනි. ජාන සංස්කරණය කළ සෛල මඟින් කළලයක් නිර්මාණය කර, එම කළලය අප්‍රිකානු ඇතින්නකගේ ගර්භාෂයේ තැන්පත් කෙරේ. එවිට අලි පැටවකු ලෙස ගර්භාෂයේ වැඩෙන්නේ මැමත් පැටවෙකි.
මැමතාට පණ දීමට පෙර, කොලෝසල් බියෝසයන්ස් විද්‍යාඥයන් විවිධාකාරයේ අත්හදා බැලීම් කරමින් සිටී. වූලි (ලොම්) මැමතකුගේ මෙන්, දිගු ලොම් ඇති මීයන් කීප දෙනකු නිර්මාණය කිරීමටත්, අළු වෘක ධේනුවක යොදාගෙන, අවුරුදු 12,500 ක් ඈත අතීතයේ ජීවත් වූ වඳ වී ගිය ඩයර් වුල්ෆ් වෘක පැටවුන් තිදෙනකුට පණ දීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඩයර් වුල්ෆ් නමින් හැඳින්වෙන වෘකයන්, අද අපට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන වෘකයන් මෙන් නොව, ප්‍රමාණයෙන් ද විශාලය.
විද්‍යාඥයන්ට අනුව, අළු වෘකයන්, ඩයර් වුල්ෆ් වෘකයන්ට සමානය. ජානමය වශයෙන් සියයට 85 ක් සමානය. එබැවින්, අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ඩයර් වුල්ෆ් වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කෙරුණු අතර, ඩයර් වුල්ෆ් වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව ඩයර් වුල්ෆ් පැටවුන් බිහි කර ගැනුණි.
මිහිමතින් වඳ වී ගිය සතකුට පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඩයර් වුල්ෆ් පැටවුන් බිහි කළ අවස්ථාවේදී, වඳ වී ගිය ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට කොලෝසල් බයෝසයන්ස් විද්‍යාඥයන් සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒත් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මැමතාට, ඩෝඩෝ ට සහ ටැස්මේනියානු ව්‍යාඝ්‍රයාට අමතරව, තවත් වඳ වී ගිය සතකුට පණ දීමට කොලෝසල් බියෝසයන්ස් විද්‍යාඥයන් ලකලෑස්ති වීමය. මේ සතා යෝධයෙකි; පියඹා යා නොහැකි යෝධ කුරුල්ලෙකි.
මේ යෝධ කුරුල්ලා මෝවා ය. මෝවා නවසීලන්තයට ආවේණික, යෝධයෙකි. මෝවා විශේෂ නවයක් ජීවත් වූ අතර අද මෝවා මිහිමතින් සමුගෙන ගොස් අවසන්ය. මෝවා විශේෂ අතරින් විශාලතම මෝවා විශේෂය වන්නේ, මීටර් 3.6 (අඩි 11.8) ක් උසැති සහ කිලෝග්‍රෑම් 230 (රාත්තල් 507) ක් බරැති දකුණු දූපත් යෝධ මෝවා (South Island Giant Moa) ය. විද්‍යාඥයන් පණ දීමට උත්සාහ ගන්නේ මෙම මෝවාටය.
විද්‍යාඥයන් සතුව ඇති මෝවා අස්ථිවලින් ලබාගත් ජාන මේ සඳහා භාවිතයට ගැනෙයි. මෝවාට පණ දීමේ කටයුත්තට, කොලෝසල් බියෝසයන්ස් විද්‍යාඥයන් නවසීලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයේ, නගායි ටහූ Ngāi Tahu පර්යේෂණ අංශය සමඟ එක් වී සිටී. 'ලෝඩ් ඔෆ් ද රින්ග්ස්' (Lord of the Rings) චිත්‍රපට අධ්යක්ෂ, නවසීලන්ත සිනමාකරු ශ්‍රීමත් පීටර් ජැක්සන් විසින් මෝවා ට යළි පණ දීම සඳහා අදළා පර්යේෂණ කටයුතු කරගෙන යෑමට ඇමෙරිකන් ඩොලර් මිලියන 15ක මුදලක් ද ලබා දී ඇතැයි පැවැසෙයි.
ඩේලිමේල් ඇසුරිනි

