මොසාඩ් රහස් මෙහෙයුම
ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි. ලොව බුද්ධිමතුන් අතරින් යුදෙව්වන් කැපී පෙනෙයි. සංඛ්‍යාත්මක දත්ත දෙස බැලීමේදී, යුදෙව්වන් යනු ලෝක ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයකි. එය සියයට 0.2 කි. එසේ වුවද, ලෝකයේ විශාලතම ජයග්‍රහණ අතර, යුදෙව්වෝ ඔවුන්ගේ නම ඉහළින් තබා ගැනීමට සමත් වී සිටිති. ජේසුතුමන් ද යුදෙව්වෙකි. සමස්ත නොබෙල් ත්‍යාගලාභීන්ගෙන් සියයට 20කට වඩා වැඩි ප්‍රමාණයක් යුදෙව්වන් හෝ යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයන් වීම විශේෂත්වයකි. අද ලෝකයේ භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි ක්ෂේත්‍රවල දැවැන්ත පෙරළි සිදු කළ පුද්ගලයන් වන්නේ යුදෙව්වන් බව අමුතුවෙන් කිවයුතු නැත. ගූගල්, ෆේස්බුක් (මෙටා) වැනි ලොව බලවත් සමාගම් රැසක නිර්මාතෘවරුන් යුදෙව් සම්භවයක් සහිත අයයි. මොසාඩ් යනු ඊශ්‍රායලයේ ජාතික බුද්ධි ඒජන්සියයි. මොසාඩ් ලොව අති දක්ෂ අති බිහිසුණු අතිශය රහසේ ක්‍රියාත්මක වන බලවත්ම බුද්ධි අංශයකි. ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන්, ඊශ්‍රායල වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, දේශසීමාවෙන් පිටත රහසිගත මෙහෙයුම් දියත් කිරීම සම්බන්ධයෙන් මොසාඩ් බුද්ධි අංශය ප්‍රසිද්ධියක් උසුලයි.
ඊශ්‍රායලය ඇමෙරිකාව සමඟ එක් වී ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ, ඔපරේෂන් ලයන්ස් රෝර් එනම් සිංහ ගර්ජනාව යනුවෙනි. මේ මෙහෙයුම එසේ මෙසේ එකක් නොවෙයි. ඉතාම ඉවසීමෙන් කල්මරා ආරම්භ කළ එකකි. ඇමෙරිකාව ඉරානයට එරෙහි ඔවුන්ගේ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ ඔපරේෂන් එපික් ෆියුරි යනුවෙනි. ඔපරේෂන් එපික් ෆියුරිආරම්භ වී ඇත්තේ ඊශ්‍රායල හමුදාවට සහ මොසාඩ් බුද්ධි අංශයට සහාය දැක්විමක් වශයෙන් යැයි කීවොත් නිවැරදිය. ඇමෙරිකා සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී සහ ඉරාන ඉස්ලාමීය රජයේ සහ විප්ලවීය හමුදාවේ ඉහළම තනතුරු දැරූ නායකයන් එක පොදියට මරා දැමුණි. ඒ, පසුගිය 28 වැනිදා ඉරානයේ තෙහෙරාන් අගනුවර, උත්තරීතර නායකයාගේ නිල නිවසේදීය. මෙම නිවසේ පහළින් ශක්තිමත් බංකරයක් ඇති අතර, කමේනී සහ ඔහුගේ විශ්වාසවන්ත සමීපයන් රැස්වී සාකච්ඡා පවත්වන්නේ මෙය තුළය. ඇමෙරිකාව සහ ඊශ්‍රායෙලය ඉරානයට පහර දුන්නේ කමේනී සහ පිරිස එසේ රැස්වෙද්දීය. රාත්‍රියේ එල්ල කිරීමට සැලැසුම් කළ ප්‍රහාරය ඔවුන් පසුගිය 28 වැනිදා සෙනසුරාදා උදෑසනට වෙනස් කළේ ඒ අනුවය. රටේ අනෙකුත් ඉලක්කවලට ප්‍රහාර එල්ල වෙද්දී, ඒ සමඟම, කමේනීගේ නිවසට ද තත්ත්පර කීපයක් ඇතුළත දිගට හරහට මිසයිල ප්‍රහාර එල්ල විය. කමේනි සහ පිරිස ඝාතනය වූයේ ඒ අනුවය.
උත්තරීතර නායක කමේනී සහ ඔහුගේ සමීපතමයන් රැස්වන බව ඊශ්‍රායල හමුදාව දැනගත්තේ මොසාඩ් ඒජන්තවරුන්ගෙනි. පසුගිය මාස කීපය පුරාවට ඔවුන් ඉතා අවධානයෙන් කමේනීගේ ගමන් බිමන්, ඔහුගේ ජීවන රටාව අධ්‍යයනය කර ඇත. කමේනී ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සාර්ථක වූයේ එබැවිනි. මොසාඩ්වරුන්, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය සමඟ ඔවුන්ගේ බුද්ධි තොරතුරු බෙදා ගෙන ඇත. මේ සියල්ල මේ වනවිට අනාවරණය වී අවසන්ය. කමේනී ඔහුගේ සමීපතමයන් (ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයන්) ඝාතනය කිරීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ ඉරානයට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු අවි නිපදවීමට ඇති ඉඩ අවහිර කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර ආරම්භ කළ බවය. ට්‍රම්ප්, ඉරාන උත්තරීතර නායකයා හඳුන්වා දුන්නේ ‘ලෝක ඉතිහාසයේ වඩාත් දුෂ්ට තැනැත්තා’ යනුවෙනි.
මොසාඩ් බුද්ධි අංශ ඒජන්තවරුන් කමේනී සිටින තැන නිවැරදිව දැනගත්තේ කෙසේද? මොසාඩ් ඒජන්තවරුන් කමේනී සහ ඔහුට අතිශය විශ්වාස සහ සමීපතමයන් අතරට රිංගා ගත්තේ කෙසේද? මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ ගැන මොසාඩ් බුද්ධි අංශය හෝ සී.අයි.ඒ. බුද්ධි අංශය හෝ කිසිවක් පවසා නැත. පවසන්නේ ද නැත. ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා ඒ සම්බන්ධයෙන් පැතිර යන ඒ තොරතුරු නම් හරිම රසවත්ය. පුදුමාකාරය.
නිල නොවන එක් සිදුවීමක් වන්නේ ඉරාන රජයේ ඉහළ නිලධාරීන්ගේ දත් පිරවීමේ සිද්ධියයි. ඉහළ නිලධාරීන් ඔවුන්ගේ දත් පිරවීම් කරගෙන ඇතැයි පැවැසෙන්නේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය හා සම්බන්ධකම් ඇති දන්ත වෛද්‍යවරුන්ගෙනි. මොවුන් ඉරාන ජාතික වෛද්‍යවරුන් වන අතර රහසේ මොසාඩ් බුද්ධි අංශයේ නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇත. කමේනීගේ සමීපතමයන් සහ ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයන්ගේ දත් පිරවීම් සිදු කරද්දී ‘කුඩා ජීපීඑස් හසුකර ගැනීමේ උපාංග’ දත් අස්සේ සැගවීමට මෙම ඒජන්තවරුන් ක්‍රියා කර ඇත. ඒ අනුව අදාළ නිලධාරියා යන එන තැන දැන ගැනීමට මොසාඩ් බුද්ධි අංශයට හැකි වී තිබේ. ඊට අමතරව, ඇතැම් මොසාඩ් ඒජන්තවරුන්, ඉරාන ජ්‍යෙෂ්ට නිලධාරීන්ට ආහාර සමඟ හසුකර ගැනීමේ උපාංග සවි කළ කුඩා කරල් ගිල්ලවීමට සලස්වා ඇත. ඒ ඔවුන් නොදැනුවත්වම ඒවා ආහාරවලට එක් කරමිණි. ඒ ආමාශගත වුණු එම කරල්වලින් ද ඉරාන හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන් යන එන තැන සොයා දැනගත් බව පැවැසෙයි. මේ කිසිවක් නිල වශයෙන් තහවුරු වී නොමැත.
ඊට අමතරව, තහහරාන් අගනුවර, මාර්ගවල සවි කළ රථවාහන කැමරා පද්ධති වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායල බුද්ධි අංශ විසින් ‘හැක්’ කර තිබූ බව ද පැවැසෙයි. එම කැමරාවලට හසුවන සියලු දසුන් මොසාඩ් බුද්ධි ඒජන්තවරුන් අතට පත්වී තිබේ. 28 වැනිදා කමේනී සිය නිවසේ සිටින බව, නිවසට ඔහුගේ සමීපතමයන් පැමිණ බව තහවුරු කර ගැනීම සිදුවූයේ ඒ අනුවය. කමේනිගේ ආරක්ෂක නිලධාරීන් රථවාහන ගාල් කරන ස්ථාන සහ ඔවුන්ගේ දෛනික චර්යාවන් ද මෙම කැමරා මගින් නිරීක්ෂණය කිරීමට ඊශ්‍රායලයට හැකිවිය. කමේනී එසේ පැමිණි පිරිස සමඟ උදෑසන ආහාරය ගැනීමට සූදානම් වෙද්දී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කළ බව ට්‍රම්ප් පසුව අනාවරණය කර ඇත.
ඉරාන වැසියන් මිලියන 10ක් පමණ ‘බාඩේසබා’ නමැති ඇප් එක (යෙදවුම) භාවිතයට ගනී. ඒ දෙවියන්ට යාඥා කිරීම සඳහාය. මෙම ඇප් එක හරහා ඉරාන තරුණ තරුණියන් එරට ඉස්ලාමීය රජයට එරෙහිව උසි ගැන්වීමට මොසාඩ් බුද්ධි අංශය රහසේ ක්‍රියා කර ඇත. ඊට අමතරව ඉරාන රජයේ මාධ්‍ය වෙබ් අඩවි ආදිය හැකි කරමින්, ඉස්ලාමීය රජය විවේචනය කරන මත ඉරාන වැසියන් අතරට යැවීමට ද මොසාඩ් ඒජන්තවරුන් ක්‍රියා කර ඇත. ඒ අනුව, මෙය මනෝවිද්‍යාත්මක වශයෙන් කළ යුද්ධයකි. ඊට අමතරව, මේ වනවිට මෙම ‘බාඩේසබා’ ඇප් එක හරහා, ඉරාන විප්ලවීය හමුදාවට උපදෙස් ලැබී ඇත්තේ අවි බිම දමා යටත් වන ලෙසටය.
ඔබ මේ ලිපිය කියවන මොහොත වනවිට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයේ පළාත් 31න් 24කට ප්‍රහාර එල්ල කර ඇත. ඒ, ඉරානයේ ඉස්ලාමීය නායකත්වය අඩපණ කිරීම සහ ඉරාන විප්ලවීය හමුදාව අඩපණ කිරීමේ අරමුණින්ය. හමුදා ඉලක්ක 1,200 කට අධික සංඛ්‍යාවකට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය හමුදාව, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා ස්ථානගත කර ඇති කඳවුරු 27කට මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ඇතුළු ඇතුළු එරට ප්‍රදේශ රැසක හමුදා ඉලක්කවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
ඉරානය, ප්‍රහාර එල්ල කළ අසල්වැසි රටවල් වන්නේ, බහරේනය, ඉරාකය, ජෝර්දානය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මෙම රටවලට එල්ල වුණු ඉරාන ප්‍රහාර බොහොමයක් උඩු ගුවනේ දී විනාශ කර දැමීමට, මෙම රටවල හමුදාවෝ සමත් වූහ. මෙම රටවල් අතරින් ද ඉරානයෙන් වැඩිම මිසයිල සහ ඩ්‍රෝන එල්ල වන්නේ කටාර් රාජ්‍යයටය. ඒ, අනෙක් රටවලට වඩා කටාරයේ ඇමෙරිකන් හමුදා ඉලක්ක තිබීමය. හමුදා කටයුතුවලදීකටාර් රාජ්‍යය ඇමෙරිකාවට නිරන්තරයෙන් සහාය ලබා දෙයි.
මීට අමතරව, සයිප්‍රසයේ ඇති බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරක ගුවන් පථයකට ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. මෙය මහා බ්‍රිතාන්‍යය ද යුද්ධයට ඈඳා ගැනීමක් විය. කලාපයේ තම කඳවුරු, ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා ඇමෙරිකන් හමුදාවට භාවිත කිරීමට අවසර දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පැවැසුවේ එම ඉරාන ප්‍රහාරයෙන් පසුවය. සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරේ ආරක්ෂාවට ප්‍රංශය මැදිහත් වී සිටී. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ උපදෙස් පරිදි ප්‍රංශයට අයත් ප්‍රබල යුද නැවක් බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරට සේන්දු වී හමාරය.
ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් වැඩිම ජීවිත හානි වාර්තා වූයේ ඉරානයෙනි. ඉරානයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 787 කි. ගිනිකොනදිග ඉරානයේ මිනාබ් නගරයේ බාලිකා පාසකලට එල්ල වුණු ඇමෙරිකන් ප්‍රහාරය ඒ අතරින් හද සසල කරයි. එම ප්‍රහාරයෙන් බාලිකාවන් 180 දෙනකු මියගිය බව ඉරාන රජය පවසයි. ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා දන්වා ඇත්තේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් පහර දෙන බවය.
උත්තරීතර නායක අල් කමේනී ඝාතනයත් සමඟ ඉස්ලාමීය නායකත්වය ද අඩපණ වී ඇති බැවින් සහ විදෙස් ප්‍රහාර හමුවේ ඉරානයේ හමුදා නායකත්වය අඩපණ වි ඇති බැවින් මේ වනවිට ඉරානය තුළ යම් බෙදීමක් නිර්මාණය වී ඇත. ඉරාන පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීමට මෙම බෙදීම අවශ්‍ය බව ඇමෙරිකාවේ මතයයි. ඉරානය පහර දී ආක්‍රමණය කළ හැකි රටක් නොවන අතර, එහි පාලනය වෙනස් කිරීමට නම් ඇතුළින්, එනම් රට තුළින්, රටේ ජනතාව පවතින පාලනයට විරෝධය පළ කළ යුතුය. පසුගිය දිනවල අපට දකින්න ලැබුණේ එයයි. ඉරාන වැසියන් ඉරාන පාලකයන්ට එරෙහිව වීදි බැස විරෝධතා පැවැත්වූ අතර එම විරෝධතා සඳහා ජනතාව උසි ගැන්වීම කළේ ඇමෙරිකාව බව රහසක් නොවෙයි.
ඉරාන විප්ලවීය හමුදාව හතර වටේට එල්ල කරන මිසයිල ප්‍රහාර හේතුවෙන් ද මරණ වාර්තා වෙයි.ඉරාන ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයන් 52 දෙනකු මියගොස් ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේටය, සහ ඉරාකය යන රටවලින් ද මරණ වාර්තා වෙයි. ජෝර්දානය, කටාර් සහ ඕමානය වැනි රටවලින් ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ මිසයිල සුන්බුන් පතිත වීමෙන් කීප දෙනකුට තුවාල සිදුවුණු බවය.ඉරානයෙන් එල්ල වුණු ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 11 දෙනකු මියගොස් 770 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ. ඉරාන ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා සාමාජිකයෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම් හමුවේ, ඉරානය ඇමෙරිකාවට මෙන්ම ඊශ්‍රායලයට දිගින් දිගටම දන්වා ඇත්තේ සාකච්ඡා කර අර්බුදය විසඳා ගැනීමට කැමැති බවය. නමුත් තම ස්වෛරීත්වය පාවා දීමට කැමති නැති බවත්, ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ බලපෑම්වලට යටත් වීමට කැමැති නැති බවත් ඉරානය අවධාරණය කර ඇත. ‘ඔව්, ඉරානය මාත් එක්ක සාකච්ඡා කරන්න කැමැතියි කිව්වා තමයි. ඒත් දැන් ප්‍රමාදයි. සාකච්ඡා කරලා බේරුමක් කර ගන්න දැන් කිසිවක් ඉතිරි වෙලා නැහැ. ඉරාන හමුදාව අඩපණ කරලා ඉවරයි. නාවික හමුදාව ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක පද්ධතිය අඩපණ කරලා ඉවරයි.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ට්‍රම්ප් ඉරානයට පහර දීමට පෙර, ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් සමඟ පළමුවෙන් ඒ ගැන සාකච්ඡා කළේය. නිල නොවන වාර්තා අනුව, එම සාකච්ඡාවට සී.අයි.ඒ. ප්‍රධානියා ඇතුළු සෙසු ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානීහු සහභාගී වූහ. එහිදී ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ජනරාල්වරුන්ගෙන් විමසා ඇත්තේ, ඉරානය සමඟ ගැටුමක් ආරම්භ කළොත් එය කොතරම් කාලයක් පවතී ද යනුවෙනි. ජ්‍යෙෂ්ඨ හමුදා ජනරාල්වරුන් පිළිතුරු දී ඇත්තේ වසර හතරක් පහක් ගැටුම් දිග් ගැස්සෙනු ඇති බවය. කෙසේ නමුත් එක් තරුණ හමුදා ජනරාල්වරයකු පවසා ඇත්තේ ඉරානය ගැටුම සති 4 කින් හෝ 5 කින් අවසන් කළ හැකි බවය. ට්‍රම්ප් ඊශ්‍රායලය හවුල් කර ගනිමින් ප්‍රහාර ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. කෙසේ නමුත් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකින් පසු අනාවරණය කළේ ඉරානය සමඟ හටගත් ගැටුම සති පහක් හෝ ඊට වැඩි කාලයක් දුරදිග යනු ඇති බවය. ඊශ්‍රායලය ඇමෙරිකාව සමඟ එක් වී, ඉරානයට පහර දීම ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද අවධාරණය කර ඇත්තේ ඉරානය සමඟ හටගත් අර්බුදය වැඩි කාලයක් නොපවතිනු ඇති බවය.
බලකඳවුරු දෙකකට බෙදී ඇති ලෝකයේ ඉරානයේ මිතුරන් ලෙස සැලකෙන්නේ රුසියාව සහ චීනයයි. රුසියාව මේ වනවිටත් වසර පහක් තිස්සේ යුක්රේනය සමඟ යුද වදිමින් සිටී. චීනය ඔවුන්ගේ ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් කර ගනිමින් සිටී. ඉරාන උත්තරීතර නායක කමේනී මරා දැමු බව නිවේදනය කළ අවස්ථාවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඒ ගැන සොව පළ කළ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ඉරානයට පහර දීම නවත්වන ලෙසය. ඉරානය ඔවුන්ගේ ගුවන් ආරක්ෂක බලඇණිය ශක්මත් කර ඇත්තේ චීනයේ නිෂ්පාදිත මිසයිල නාශක අවි වලිනි. සතුරු ප්‍රහාරයකදී මෙම මිසයිල ප්‍රතිප්‍රහාර සඳහා භාවිතයට ගැනෙයි. කෙසේ නමුත් ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙද්දී මෙම මිසයිල නිසි ලෙස ක්‍රියාත්මක වී නැත. එයින් පැහැදිලි වන්නේ ඇමෙරිකන් සහ ඊශ්‍රායල යුදෝපකරණ චීන යුදෝපකරණවලට වඩා ඉදිරියෙන් සිටින බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නිල නොවන වාර්තා අනුව, ඉරානයට පහර දීමට පෙර, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, රුසියානු ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ට දුරකතනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඉරානයට පහර දෙන බැවින් ඊට මැදිහත් වීමෙන් වැළකී සිටින ලෙසටය. රුසියාවට හෝ චීනයට හෝ තෙල් අවශ්‍ය නම් වෙනිසියුලාවේ තෙල් තමන්ට ලබා දීමට හැකි බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇතැයි ද නිල නොවන වාර්තා පෙන්වා දෙයි. නිකලස් මදුරෝ කුදලාගෙන ඒමෙන් පසු, වෙනිසියුලාවේ තෙල් නිධි ඇත්තේ ඇමෙරිකානු සමාගම් සතුවය. චීනය යනු ඉරානයේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙකි. ඇමෙරිකාව ඉරානයට පහර දීම යනු චීනයට එල්ල කළ අතුල් පහරක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ට්‍රම්ප්, චීනයට පමණක් නොව ඉන්දියාවට ද දැඩි තීරුබදු පනවා ඇත්තේ චීනය සහ ඉන්දියාව දිනෙන් දින ලෝක බලවතුන් වීම ඇමෙරිකාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි. මෙය ලොවට රහසක් නොවෙයි. ‘ට්‍රම්ප්ට ඕනෑ ඇමෙරිකාව ලෝකයේ එකම බලවතා වනු දැකීමයි. සෙසු රටවලට නැගී සිටින්න ට්‍රම්ප් ඉඩ දෙන්නේ නැහැ. ඇමෙරිකාව ඊශ්‍රායලය සමඟ හවුලේ ඉරානයට පහර දීම එහි එක් අදියරක්. ලෝකය මෙය තේරුම් ගන්න ඕනෑ.’ යැයි ඉරාන උත්තරීතර නායකයාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරන අබ්දුල් මජීද් හකීම් ඉලාහී මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත. මේ අතර, ඉරාන රජය ඉල්ලීමක් කරන්නේ නම්, ඉරානයට සහාය වීමට තමන් ඉදිරිපත් වන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද අවධාරණය කර ඇත.
ඒ.එෆ්.පී. ඉන්දියා ටුඩේ සහ අල් ජසීරා ඇසුරිනි
