මූදට බැස්ස යෝධයා



එකිනෙකාට තීරුබදු පනවා ගනිමින්, චීනයත් ඇමෙරිකාවත් අතර ආරම්භ වුණු වෙළෙඳ යුද්ධය අවසන් වන බවක් තවමත් පෙනෙන්න නැත. වෙළෙඳ යුද්ධය අතරතුරේ, චීනය පසුගිය දා නැවක් එළිදැක්වීය. මේ නැව එසේත් නැතිනම් නෞකාව එසේ මෙසේ එකක් නොවෙයි. එය ඉන්ජිනේරු විස්කමකි. භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ මෙම නෞකාව අති දැවැන්ත එකකි.

නෞකාවේ දිග අඩි 1,310 කි. ටොන් 220,000ක භාණ්ඩ ප්‍රමාණයක් සහ කන්ටේනර 24,000ක් රැගෙන යෑමට මෙම නෞකාවට හැකියාව ඇත. නෞකාව ලහිලහියේ ඉදි කිරීම සිදුවූයේ පසුගිය මාස 17 ක කාලය ඇතුළත වීම ද විශේෂත්වයකි.

CMA CGM සියැන් SEINE යන නමින් නම් කළ මෙම දැවැන්ත නෞකාව, මේ වනවිට වාර්තා අතරට ද එක් වී අවසන්ය. ඒ, ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ලෙසය. පසුගිය අඟහරුවාදා එනම් 22 වැනිදා නෞකාව සිය මංගල ගමන ආරම්භ කළේය. ඒ චීනයේ ෂැංග්හායි පිහිටි හුඩොං-ඇන්-ඇන්ෂුවා නෞකා නිෂ්පාදනාගාරයේ සිටය.

 නෞකාවට බලය සපයන්නේ එල්.එන්.ජී. ස්වභාවික වායුවය. එල්.එන්.ජී ගබඩා කිරීමට විශේෂයෙන් ඉදි කළ බංකරයක් වැනි ටැංකියක් නෞකාවේ ඇත. මෙම ටැංකිය ඝන මීටර් 18,600 කි. ටැංකිය එල්.එන්.ජී වලින් පුරවාගත් පසු නාවික සැතපුම් 20,000 ක දුරක් යාත්‍රා කිරීමට හැකි බව පැවැසෙයි.


 සාමාන්‍යයෙන් මුහුදේ ජීවත් වන දැවැන්ත සාගර ජීවීන් බිහිසුණු මුහුදු රකුසන් ලෙස හැඳින්වෙන අතර, බටහිර මාධ්‍ය මෙම චීන නෞකාව හඳුන්වා දී ඇත්තේ ද 'දැවැන්ත මුහුදු රතුසකු' ලෙසය.

ස්වභාවික වායුවලින් බල ගැන්වෙන බැවින්, නෞකාව පරිසර හිතකාමී බව අමුතුවෙන් කිවයුතු නැත. නෞකාව නිසා සාගරය කිසිදු අයුරකින් අපවිත්‍රවීමක් සිදුවන්නේ නැත. එබැවින් නෞකාව, ඉන්ධන බලැති සෙසු නෞකාවලට වඩා, මේ වනවිට බොහෝ දෙනකුගේ පැසැසුමට ලක්වී අවසන්ය. යෝධ නෞකාව, සාම්ප්‍රදායික නෞකා වලට වඩා කාබන් ඩයොක්සයිඩ් වායු සියයට 20 ක්, නයිට්‍රජන් ඔක්සයිඩ් වායු සියයට 85 ක් සහ සල්ෆර් ඔක්සයිඩ් වායු සියයට 99 ක් අඩුවෙන් පිට කරයි.

චීනය මේ අයුරින්, දැවැන්ත නෞකා තැනීම සිදු කරන්නේ සැපයුම් පිරිවැය අඩු කිරීමේ අරමුණින්ය. ගෝලීය නැව් ප්‍රවාහනය පරිසර හිතකාමී කිරීම සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ සමඟ එහි සම්බන්ධතාවය වැඩි කිරීම දෙවැනි අරමුණ වෙයි. මෙම දැවැන්ත නෞකාව දැනටමත් ආසියාවේ සිට යුරෝපය දක්වා යාත්‍රා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

මෙම දැවැන්ත නෞකාව, චීනයේ ප්‍රමුඛතම නැව් තැනීමේ සමාගමක් වන හුඩොංග් ෂොංගුවා නැව් නිෂ්පාදන සමාගම විසින් තනන ලද්දකි. මෙම නැව් සමාගම ඉදි කළ 17 වැනි නෞකාව මෙය යැයි ද පැවැසෙයි. CMA CGM සියැන් SEINE නෞකාව කරළියට පැමිණීමට පෙර, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ලෙස සැලකුණේ අයිරිනා (MSC Irina) නමැති චීන නෞකාව යැයි විදෙස් මාධ්‍ය පවසයි.

අයිරිනා නෞකාව, CMA CGM සියැන් SEINE නෞකාවට දිගින් බොහෝ දුරට සමාන වුවත්, පළලින් කුඩාය. එහි පළල අඩි 167 ක් වන අතර එය මෙම නව නෞකාවට වඩා අඩි 30 කට වඩා පටුය. අයිරිනා නෞකාව, 2023 දී ජියැංග්සු යැංග්සිජියැංග් නැව් සමාගම විසින් ඉදිකරනු ලැබූ අතර එම වසරේම සේවයට යොදවනු ලැබුණි.


ද සන් ඇසුරිනි


RECOMMEND POSTS