මූදට ගියේ ගොඩබිමින්

ලෝකයේ විශාලතම සතා මොකාද? ලෝකයේ විශාලම සතා නිල් තල්මසාය. තල්මසුන් වර්ග ගණනක් ඇති අතර විශාලතම සතා ලෙස සැලකෙන්නේ නිල් තල්මසාය. ඈත අතීතයේ විසූ දැවැන්ත ඩයිනසෝරයන්ට පවා වඩා විශාල නිල් තල්මසුන්, සාමාන්‍යයෙන් අඩි 100ක් පමණ දිගින් යුක්ත බව සත්ව විද්‍යාඥයෝ පැහැදිලි කරති. නිල් තල්මසකුගේ බර, ටොන් 190ක් පමණ වන අතර, උගේ හෘද වස්තුව පමණක් කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන වේ. පුදුමයට කරුණ නම්, මෙතරම් විශාල සත්වයකු ජීවත් වන්නේ ක්රිල් (Krill) නමැති ඉතා කුඩා ඉස්සන් විශේෂයක් දිනකට ටොන් ගණනින් ආහාරයට ගැනීමෙනි. තල්මසතු යනු මාළුවෙකි. පිහිනා යෑමට වරල් ඇත. ඒත් වසර මිලියන ගණනකට පෙර, අද අප දකින තල්මසුන්ගේ මුතුන්මිත්තෝ ගොඩබිම ඇවිද ගිය සත්ව විශේෂයක් වූහ. විද්‍යාඥයන් මේ බපව හරියටම කියන්නේ කෙසේද? විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, තවමත් තල්මසුන්ගේ සිරුර තුළ සැඟවී ඇති කුඩා අස්ථි කීපයක් මේ විශ්මයජනක පරිණාමීය කතාවට ජීවමාන සාක්ෂි දරණ බවය.
සාගරයේ පිහිනා යන මාළුවකු වුවත්, තල්මසුන් මාළු නැතිනම් මත්ස්‍යයන් ලෙස සැලකෙන්නේ නැත. තල්සසුන් අයත් වන්නේ ක්ෂීරපායී (Mammals) ගණයටය. තල්මසුන්ට කරමල් (Gills) නැත; උන් ආශ්වාස කරන්නේ පෙනහළු මගිනි. තල්මසුන් බිත්තර දමන්නේ නැත; පැටවුන් ප්‍රසූත කර කිරි ලබා දෙයි. මත්ස්‍යයන්ගේ වලිගය දෙපසට ලෙලදෙන අතර, තල්මසාගේ වලිගචෙලනය වන්නේ ඉහළට සහ පහළට චලනය පමණි. දෙපසට නොවෙයි. විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි තල්මසාගේ පරිණාමය ආරම්භ වන්නේ මින් වසර මිලියන 50කට පමණ පෙරය. තල්මසාගේ මුතුන්මිත්තා ලෙස සැලකෙන්නේ පැකිසීටස් (Pakicetus) නම් බල්ලකුට හෝ වෘකයකුට සමාන කුඩා සිවුපාවෙකි. ආහාර සොයා සහ ආරක්ෂාව පතා ක්‍රමයෙන් ජලාශ්‍රිත පරිසරයට හුරු වූ මේ සතුන්, කාලයත් සමඟ සම්පූර්ණයෙන්ම මුහුදු ජීවිතයට හැඩගැසුණි.
විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට පැකිසීටස් පරිණාමයේදී සිදු වූ ප්‍රධාන වෙනස්කම් වන්නේ, ඉදිරිපස පාද පිහිනීමට උදවු වන 'පැතලි වරල්' (Flippers) බවට පත් වීම, පසුපස පාද ක්‍රමයෙන් කුඩා වී කෙමෙන් අතුරුදන් වී යෑම, නාස් සිදුරු හිස මුදුනේ පිහිටීමට පටන් ගෙන, ශ්වාස සිදුරක් (Blowhole) බවට පත් වීම ය. අදටත්, තල්මසුන්ගේ (නිල් තල්මසා ද ඇතුළුව) සිරුරේ පිටුපස කොටසේ, කොඳු ඇට පෙළට සම්බන්ධ නොවී මස්පිඬු අතර රැඳී ඇති කුඩා අස්ථි යුගලක් පවතී. විද්‍යාඥයන් මේවා අවශේෂ අවයව (Vestigial Organs) ලෙස හඳුන්වයි. මේවා පරීණාමීය සාක්ෂි වෙයි.මේවා තල්මසාගේ මුතුන්මිත්තන්ට පසුපස පාද තිබූ බවට ඉතිරිව ඇති පැහැදිලි සලකුණු බව පැවැසෙයි. නූතන පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙම අස්ථි තල්මසුන්ගේ ප්‍රජනක අවයව පාලනය කරන මස්පිඬු රඳවා තබා ගැනීමට යම් දායකත්වයක් දක්වන බවය. එබැවින් ඒවා සම්පූර්ණයෙන්ම අතුරුදන් නොවී පවතී.
අදින් වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ විසූ සත්ව විශේෂ අතරින් විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක් වූ සත්වයකු ලෙස පැකිසීටස් (Pakicetus) හැඳින්විය හැකිය. පැකිසීටස් ගැන සාක්ෂි මුලින්ම සොයාගනු ලැබුවේ 1981 වසරේදී පාකිස්තානයෙනි. ඒ අනුව, පාකිස්තානයේ තල්මසා යන අර්ථය ඇතිව 'පැකිසීටස්' යන නාමය තබන ලදී. මේ සත්වයාට දිගු හොම්බක්, ශක්තිමත් කකුල් හතරක් සහ දිගු වලිගයක් තිබුණු බව පැවැසෙයි. මීට වසර මිලියන 50කට පමණ පෙර ජීවත් වූ මොවුන්, ප්‍රමාණයෙන් මීටරයක් හෝ දෙකක් පමණ දිගින් යුක්ත වන්නට ඇතැයි ද විද්‍යාඥයෝ කියති.
මෙම සත්වයා තල්මසකුගේ මුතුන්මිත්තෙකු ලෙස හඳුනා ගැනීමට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ ඇතුළු කනෙහි (Middle ear) පිහිටීමය. නූතන තල්මසුන්ට පමණක් ආවේණික වූ සුවිශේෂී අස්ථිමය සැකැස්මක් පැකිසීටස්ගේ කනෙහි ද දක්නට ලැබුණි. මෙය ජලය යටදී ශබ්ද තරංග හඳුනා ගැනීමට ස්වභාවධර්මයෙන් ලැබුණු අතීත උරුමයකි. මොවුන් ගොඩබිම සතුන් වුවද, නොගැඹුරු ජලාශ සහ ගංගා අසල ගැවසෙමින් මසුන් දඩයම් කරමින් ජලජ ජීවිතයට හැඩගැසීමට උත්සාහ කළ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
පැකිසීටස් යනු පරිණාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ගොඩබිම ඇවිද ගිය සත්වයෙකු දශලක්ෂ සංඛ්‍යාත වසර ගණනාවක ඇවෑමෙන් ක්‍රමයෙන් ජලයට හුරු වූ ආකාරය මොහුගෙන් මැනවින් පැහැදිලි වේ. කාලයත් සමඟ මොහුගේ ශරීරය පිහිනීමට හිතකර ලෙස වෙනස් වූ අතර, පසුපස පාද කුඩා වී වලිගය හබලක් මෙන් ශක්තිමත් විය. අද අප දකින නිල් තල්මසා දක්වා වූ දීර්ඝ ගමනේ ආරම්භක පුරුක මෙම කුඩා පැකිසීටස් සත්වයාය
ලයිව් සයන්ස් ඇසුරිනි

