මිහිමත පිටසක්වල ලෝකය

අපට හදි කළ ‘දිට්වා’ සුළි කුණාටුවට, එ් නම භාවිත කෙරුණේ, යේමන විසින් එම නම යෝජනා කරනු ලැබ තිබුණු බැවිනි. සුළි කුණාටුවලට නම් තීරණය කරන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අයත්, එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ මණ්ඩලයේ සාමාජික රටවල එකමුතුවය. ශ්‍රී ලංකාව පමණක් නොව, යේමනය ද මෙම එකමුතුවේ සාමාජිකත්වය දරයි. යේමනයට අයත් සෝකෝත්‍රා දූපතේ ‘දිට්වා’ නමැති කලපුව සිහි ගන්වමින්, යේමන කාලගුණ විද්‍යාඥයන් ‘දිට්වා’ යන නම සුළි කුණාටුවක් සඳහා භාවිතයට ගන්නැයි යෝජනා කර තිබුණු අතර ශ්‍රී ලංකාව කැලැඹූ සුළි කුණාටුවට එම නම හිමිවිය. සෝකෝත්‍රා එසේ මෙසේ තැනක් නොවෙයි. ජීව විද්‍යාඥයන්ට අනුව එය මිහිමත පිටසක්වළ ලෝකයකි.
සෝකෝත්‍රා දූපතේ ඇති පරිසරය, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක පිටසක්වළ ලෝකයක් වැනිය. මෙම දූපත විදෙස් සංචාරක ආකර්ශණවයක් වුවත්, අවාසනාවකට යේමනයේ පවතින සිවිල් යුද ගැටුම් සහ යේමනයේ හූති ෂියා මුස්ලිම් සටන්කාමීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මෙම දූපතයට යෑම අනතුරුදායක යැයි පැවැසෙයි. සෝකෝත්‍රා තනි විශාල දූපතක් මෙන්ම කුඩා දූපත් සමූහයකි. යේමනයට ඔබ්බෙන් අරාබි මුහුදේ පිහිටයි. අසමසම ජෛව විවිධත්වය හේතුවෙන් මෙම දූපත බොහෝ විට ‘ඉන්දීය සාගරයේ ගැලපගෝස් දූපත’ ලෙසින් ද හැඳින්වෙයි. භූගෝලීය වශයෙන් මීට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකානු මහාද්වීපයෙන් වෙන් වීම නිසා, සෝකෝත්‍රා දූපතේ ශාක සහ සත්ත්ව විශේෂ ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක දක්නට නොලැබෙන අයුරින් ස්වාධීනව පරිණාමය වීමට අවස්ථාව ලැබී ඇත. මෙම සුවිශේෂී ස්වභාවික උරුමය හේතුවෙන් 2008 වසරේ දී යුනෙස්කෝව විසින් මෙම දූපත ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.
සෝකෝත්‍රා දූපත්වල සංකේතය බවට පත් වී ඇත්තේ මකර ලේ ගසය. ඉංග්‍රීසියෙන් මෙය ඩ්‍රැගන් බ්ලඩ් ට්‍රී යනුවෙන් හැඳින්වෙන අතර මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඩ්‍රැකෙනා සිනැබාරි ය. මෙම මකර ලේ ගස යේමනයේ සෝකෝත්‍රා දූපතට පමණක් ආවේණික වූ, ලෝකයේ වඩාත්ම සුවිශේෂී ශාක විශේෂයකි. මෙම ගස එහි අද්විතීය පෙනුම නිසා ක්ෂණිකව හඳුනාගත හැකිය. එහි අතු ඉහළට විහිදී, ඝනකම්, ප්‍රතිලෝම කුඩයක් වැනි සුවිශේෂී උඩු වියනක් සාදයි. මෙම ගසේ සුවිශේෂී හැඩය පරිණාමය වී ඇත්තේ දූපතේ පවතින වියළි හා සුළං සහිත පරිසරයට අනුවර්තනය වීමටය. අතු විහිදී සෑදෙන උඩු වියන මගින් වායුගෝලයේ ඇති තෙතමනය සහ පිනි එකතු කර, එය ගසේ කඳ ඔස්සේ මුල්වලට යොමු කිරීමට උපකාරී වෙයි.
මෙම ගසට ‘මකර ලේ ගස’ යන නම ලැබී ඇත්තේ එහි අතු හෝ පොත්ත කැපූ විට පිටවන තද රතු පැහැති දුම්මල නිසාවෙනි. ඓතිහාසික වශයෙන් මෙම රතු දුම්මල සඳහා ලොව පුරා ඉහළ වටිනාකමක් තිබී ඇත. පුරාණයේදී එය විවිධ ඖෂධ සඳහාත්, සායම් (විශේෂයෙන් මැටි බඳුන් සහ රෙදි සඳහා) සහ වාර්නිෂ් සෑදීම සඳහාත් භාවිතා කර ඇත. ඒවායේ ආයු කාලය අවුරුදු සිය ගණනක් වන නමුත්, ඒවා වැඩෙන්නේ ඉතා සෙමිනි. මෙම සුවිශේෂී ශාක විශේෂය මේ වන විට දැඩි ලෙස අවදානමට ලක් වූ ශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත. දේශගුණික විපර්යාස නිසා ඇතිවන නිතර සුළි කුණාටු හේතුවෙන් ගස් විනාශ වීම, එළුවන් වැනි සතුන් මගින් නව පැළ ආහාරයට ගැනීම සහ ස්වභාවික වාසස්ථාන විනාශ වීම ප්‍රධාන තර්ජන වී ඇත. නව පැළෑටි ස්වභාවිකව බිහිවීම අඩු වීමත් සමඟම, සෝකෝත්‍රාහි මෙම අද්විතීය ස්වභාවික උරුමය අහිමි වීමේ අවදානමක් පවතී.

බෝතල් ගස තවත් ආකර්ශනීය ශාකයකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩෙනියම් ඔබෙසම් සෝකෝත්‍රානම්ය. බෝතල් ගස දූපතේ රළු, වියළි පරිසරයට අනුවර්තනය වීමේ පුදුමාකාර උදාහරණයකි. විද්‍යාත්මකව මෙය ඇඩෙනියම් ඔබෙසම් ගණයේ උපවිශේෂයක් ලෙස සැලකෙයි. මෙම ගස එහි ඉදිමුණු, තරබාරු කඳ හේතුවෙන් ‘බෝතල් ගස’ යන නම ලබා ඇත. ගසේ පහළ කොටසෙහි දැවැන්තව ඉදිමී ඇති මෙම කඳ ශාකයට ජලය ගබඩා කර තබා ගැනීමට උපකාරී වේ. සෝකෝත්‍රා හි පවතින දීර්ඝ වියළි කාලවලදී සහ අඩු වර්ෂාපතන තත්ත්වයන් යටතේ ජීවත්වීමට මෙම ජල ගබඩාව අත්‍යවශ්‍ය වේ. ගසේ මෙම හැඩය නිසා එය බොහෝ විට නිල් අහසට පසුබිම්ව තබා ඇති ස්වභාවික මූර්තියක් බඳු පෙනුමක් ගනී.
බෝතල් ගසේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි මල් නැතිනම් පුෂ්ප ය. වියළි කාලය අවසන් වී වැසි සමය ආරම්භ වන විට, ගසෙහි අතු මුදුනේ අලංකාර රෝස හෝ රතු පැහැති පුෂ්ප පොකුරු වශයෙන් හට ගනී. මෙම මල් දූපතේ පාෂාණමය භූ දර්ශනයට විශාල වර්ණවත් බවක් එක් කරයි.
සමස්තයක් වශයෙන්, දූපතේ ශාක විශේෂවලින් සියයට 37 කට අධික ප්‍රමාණයක් සහ උරග විශේෂවලින් සියයට 90 ක් පමණ ආවේණික වීම දූපතේ ජෛව විවිධත්වයේ සුවිශේෂී බව පෙන්වයි. සෝකෝත්‍රා දූපතේ මෙම අද්විතීය පාරිසරික පද්ධතිය මේ වන විට බරපතළ තර්ජන රැසකට මුහුණ දෙමින් සිටී. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන නිතර සුළි කුණාටු සහ තද වැසි ආවේණික ශාකවලට හානි කරමින් ඒවායේ පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇත. ඊට අමතරව ආක්‍රමණශීලී සත්ත්ව විශේෂ, වනාන්තර විනාශය සහ නිසි කළමනාකරණයකින් තොරව සිදුවන මානව ක්‍රියාකාරකම් දූපතේ සියුම් සමතුලිතතාවයට හානි කරන බව පැවැසෙයි. මිහිමත පිටසක්වල ලෝකයක් වැනි මෙම දූපත සහ එහි අසමසම ජෛව විවිධත්වය අනාගත පරම්පරාවන් වෙනුවෙන් සංරක්ෂණය කිරීම මුළු ලෝකයේම වගකීමකි.
Earth.com ඇසුරිනි

