මදුරෝ කුදලාගෙන ඒම

ඉතා ත්‍රාසජනක හමුදා මෙහෙයුමකින් පසු, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකා හමුදාව සමත් විය. මදුරෝ සහ සීලියා අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවේ පාලනය ඇත්තේ තමා සතු බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවැසුවේ, මදුරෝ සහ සීලියා ෆ්ලෝරස් අල්ලා ගැනීමේ මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කරමිණි. වෙනිසියුලාවේ සාමාකාමී බලහුවමාරුවක් සිදුවන තෙක් රටේ බලය තමා (ඇමෙරිකාව) යටතේ පවතිනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ, මාර් අ ලාගෝ නිවාඩු නිකේතනයේ සිට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඇමෙරිකන් හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීහු මෙම මාධ්‍ය හමුවට එක් වී සිටියහ.
දශක ගණනක් තිස්සේ, වෙනිසියුලාවේ මදුරෝ පාලනය ඇමෙරිකාවේ උදහසට ලක් වෙද්දී, ඇමෙරිකාවේ සහාය හිමිවූයේ වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. මේ නිසාම, මදුරෝ රජය, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිර්දය ආකාරයට දැඩි ලෙස මර්දනය කළේය. පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය තමන්ට හිමිවේවි යැයි ට්‍රම්ප් බලාපොරොත්තු දල්වා ගෙන සිටියත්, එය එසේ නොවීය. සාම ත්‍යාගය හිමිවූයේ වෙනිසියුලා විපක්ෂ නායිකාව ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පිළිගන්නා, මදුරෝගේ ඒකාධිපතිත්වයට එරෙහි වෙමින්, ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමට උත්සාහ ගන්නා මරියා කොරීනා මචාඩෝටය. තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව දැනගත් සැණින්, මරියා දුරකතන ඇමතුමක් දී ස්තුති කළේ ට්‍රම්ප්ටය. කෙසේ නමුත්, මදුරෝ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරිමෙන් පසු මරියාට බලය පැවැරීමක් සිදු කරන බවට ට්‍රම්ප් කිසිවක් පැවසා නැත.
ඇමෙරිකන් හමුදාව විසින් මහ රෑ අඳුරේ කුදලා ගත් වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ බෲක්ලින් මෙට්‍රෝපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ඒම සිදුවිය. මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළීම, ඒවාට අනුබල දීම, ත්රස්තවාදයට උඩගෙඩි දීම සහ ඇමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ, මදුරෝ සහ සීලියා නිව්යෝක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පෑම් බොන්ඩි පවසා ඇත.
ඇමෙරිකනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවේ කැරකස් අගනුවර හමුදා ඉලක්කවලටත්, රටේ වෙනත් ස්ථානවල හමුදා ඉලක්කවලටත් බෝම්බ හෙළීම සිදු කළේ පෙරේදා (2) රාත්‍රියේය. මාස ගණනක් තිස්සේ කළ ඔත්තු බැලීම්වලින් අනතුරුව, ඇමෙරිකන් සී.අයි.ඒ. ඔත්තුකරුවන්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකන් නීතී ආයතන සියලු දෙනාගේ ද එකමුතුවෙන් මදුරෝ සහ බිරිඳ සීලියා අල්ලා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ගොස් මදුරෝ සහ බිරිඳ කුදලාගෙන ආවේ ඇමෙරිකන් හමුදාවේ ඩෙල්ටා ෆෝස් සෙබළුන්ය. ඩෙල්ටා ෆෝස් යනු ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් සිදු කරන, ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම් සිදු කරන, ඔත්තු බැලීම්වල නියැළෙන ඇමෙරිකන් හමුදාවට අයත් විශේෂ බලඇණියයි.
කුදලා ගත් මදුරෝ සහ බිරිඳ සීලියා පළමුවෙන්, ඇමෙරිකන් නාවික හමුදාවේ ‘යූ.එස්.එස්. ඉයෝ ජීමා’ යුද නෞකාවට රැගෙන යෑම සිදුවිය. පසුව ඔවුන් පුවර්ටෝ රීකෝ හරහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට රැගෙන එනු ලැබීය. එසේ රැගෙන එමින් සිටි, ඇස් ආවරණය කළ, කන් ආවරණය කළ, මාංචු දමා සිටින මදුරෝගේ ඡායාරූපයක් ද ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ද අමතක කළේ නැත. ඇමෙරිකාව, මදුරෝ සහ බිරිඳට එරෙහිව මෙලෙස හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ මත්ද්‍රව්‍ය (විශේෂයෙන් කොකේන්) ජාවාරම් මැඬලීමේ මෙහෙයුමක් යටතේ බව පැවැසෙයි. කුදලා ගත් මදුරෝ සහ බිරිඳ සීලියා ඇමෙරිකන් මත්ද්‍රව්‍ය වැටලීම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ට බාර දීම සිදුවිය. නීතිමය කටයුතු ඔවුන් විසින් සිදු කරනු ඇතැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, වෙනිසියුලා සන්නද්ධ අපරාධ කල්ලි දෙකක් වන ‘ට්‍රෙන් ඩි අරගුවා’ සහ ‘කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්’ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කළේ මීට මාස කීපයකට පෙර, වෙනිසියුලාව සමඟ පවතින අර්බුදය කෙමෙන් කෙමෙන් තීව්ර වෙද්දීය. ට්‍රම්ප් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා යැයි මදුරෝ ප්‍රසිද්ධියේ චෝදනා නැගීය. එම අවස්ථාවේ ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූයේ මදුරෝ පාලනය වෙනස් කිරීමේ අදහසක් ඇමෙරිකාවට නැති බවය. මේ අතර, වෙනිසියුලාවට ඇතුළු වී, පහර දී, එරට නායක නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ප්‍රදිවාදී ඩිමොක්රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී. ට්‍රම්ප්, ඇමෙරිකන් නීති ආයතන සමඟ එක් වී එම මෙහෙයුම කළත්, කොංග්රස් මණ්ඩලයෙන් (පාර්ලිමේන්තුව) ඒ සඳහා නිසි අනුමැතිය ලබා නොගත් බවට ප්‍රතිවාදී ඩිමොක්රටික්වරු චෝදනා නගති.
‘කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්’ එසේත් නැතිනම් ‘සෝලස්ගේ කල්ලිය’ මෙහෙයවන්නේ මදුරෝ යැයි ට්‍රම්ප් චෝදනා කර ඇත. මෙම සියලු චෝදනා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ ප්‍රතික්ෂේප කර තිබේ. ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් හමුදා සුදුසු වේලාව බලා වෙනිසියුලාවට පහර දීම කළේ, චීන ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් පැමිණ, වෙනිසියුලා ජනාධිපති මදුරෝ හමුවී සාකච්ඡා කර පිටවී යෑමෙන් පසුවය. චීනය, මෙන්ම රුසියාව ද වෙනිසියුලාවේ මිතුරන්ය. මදුරෝගේ මිතුරන්ය. මදුරෝ සහ බිරිඳ කුදලාගෙන ඒම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ, මදුරෝට එල්ල වන චෝදනා පදනම් විරහිත බවය. මීට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, පුටින් මොනවා කීවත්, එය තමන්ට වැදගත් නැති බවය.

ඉරානය ද වෙනිසියුලාවේ හිතවතෙකි. පසුගිය දිනවල ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් සහ ප්‍රහාරක යාත්‍රා වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ ස්ථානගත කර තිබුණි. ඇමෙරිකන් සම්බාධක හේතුවෙන්, වෙනිසියුලාව ඔවුන්ගේ තෙල් ගනුදෙනු කරන්නේ ඉරානයේ ද සහාය ඇතිවය. ලෝකයේ ලොකුම තෙල් සම්පත ඇත්තේ සෞදියට නොව, ලතින් ඇමෙරිකන් කලාපයේ පිහිටි වෙනිසියුලාවටය. වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට පැමිණි තෙල් නැව් කීපයක් ඇමෙරිකන් නාවික හමුදාව අත්අඩංගුවට ගැනීම ද සිදුවිය. ඇමෙරිකන් හමුදා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ කුදලාගෙන යද්දී, ඇමෙරිකාව වෙනිසියුලාවට කළ දෙයින් පාඩම් ඉගෙන ගන්නැයි ඊශ්‍රායලය ඉරානයට අනතුරු ඇඟවීමක් ද කර ඇත. මේ අතර ඇමෙරිකාව, වෙනිසියුලාවට පහර දී, මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සිය කනස්සල්ල පළ කර ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා හමුදා නායකයා කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකානු හමුදාව, 1989 දී පැනමාව ආක්‍රමණය කර එරට එවකට බලයේ සිටි මැනුවෙල් නොරියේගා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම කළේය. එදා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ය. එම මෙහෙයුම සිදුවූයේ බුෂ්ගේ අණ පරිදිය. නොරියේගාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇමෙරිකානු අධිකරණයකින් චෝදනා එල්ල වී තිබුණි. එමෙන්ම පැනමා ඇළේ ආරක්ෂාව සහ එහි සිටි ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එම මෙහෙයුමේ අරමුණ යැයි එදා ජනාධිපති බුෂ් පැහැදිලි කර දුන්නේය.
නිකලස් මදුරෝ මොරෝස් යනු වෘත්තියෙන් බස් රථ රියදුරකු ලෙස සිය ජීවිතය ආරම්භ කළ අයෙකි. පසුව වෘත්තීය සමිති නායකයකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු, මදුරෝට පෙර දිගු කාලයක් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කළ හියුගෝ චාවේස්ගේ සමීපතම විශ්වාසවන්තයකු බවට පත් විය. ඔහු චාවේස්ගේ රජය යටතේ, වෙනිසියුලාවේ විදේශ අමාත්‍යවරයා සහ උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. 2013 දී හියුගෝ චාවේස් පිළිකා රෝගයෙන් මිය යෑමට පෙර, තම අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේ නිකලස් මදුරෝවය. චාවේස්ගේ අභාවයෙන් පසු පැවති මැතිවරණය ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරමින් මදුරෝ බලයට පත් විය. මදුරෝ, චාවේස් හඳුන්වා දුන් සමාජවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවට ජනතාවට පොරොන්දු විය. ඉන්පසු මදුරෝ බලය අත්හැරීමට කැමැති වූයේ නැත.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර සබඳතාව බිඳ වැටීමට ප්‍රධාන හේතු කීපයකි. මදුරෝ පාලනය ඒකාධිපති ස්වරූපයක් ගන්නා බවත්, මැතිවරණ දූෂිත බවත් ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කිරීම එක් හේතුවකි. 2018 සහ 2024 වෙනිසියුලාවේ මැතිවරණ ප්‍රතිඵල ඇමෙරිකාව පිළිගන්නේ නැත. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මදුරෝ රජයට බටහිර රටවලින් දැඩි විවේචන එල්ල වෙයි. මදුරෝ රජය රුසියාව, චීනය සහ ඉරානය යන ඇමෙරිකාවේ ප්‍රතිවාදී රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීම ඇමෙරිකාවේ නොසතුටට හේතුවකි. මදුරෝ බලයෙන් පහ කිරීමේ අරමුණින් ඇමෙරිකාව වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට දැඩි සම්බාධක පැනවීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙනිසියුලාවේ උද්ධමනය අහස උසට නැගුණු අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් රට හැර ගියහ. 2020 දී ඇමෙරිකන් අධිකරණයක්, මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා එල්ල කළ අතර, ඔහුව අල්ලා දීමට උදවු කරන අයෙකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 464 ක් පමණ) ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.
මදුරෝ මෙන්ම සීලියා ෆ්ලෝරස් ද ප්‍රබල දේශපාලන චරිතයකි. මදුරෝගේ ආදරණීය බිරිඳ වීමට පෙර ඇය, මදුරෝට පෙර බලයේ සිටි චාවේස්ගේ විශ්වාසවන්තම නීතීඥවරියයි. 1956 ඔක්තෝබර් 15 වන දින වෙනිසියුලාවේ ටිනාකිලෝ නගරයේ උපත ලැබූ සීලියා, සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයාය. ඇගේ ළමා කාලය ගෙවුණේ මැටි ගඩොලින් තැනූ, බිමට වැලි දැමූ කුඩා නිවසකය. ඇගේ පියා නගරයෙන් නගරයට ගිය වෙළෙන්දෙකි. පසු කාලයක, ඇගේ පවුල වඩා හොඳ ජීවිතයක් සොයා අගනුවර වන කැරකස් වෙත සංක්‍රමණය වූ අතර, එහිදී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අපරාධ නීතිය හැදෑරීමට සීලියාට අවස්ථාව ලැබුණි. මුල් කාලයේදී ඇය දේශපාලනය කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැත. ඇය පොලිස් පරීක්ෂකවරයකු සමඟ විවාහ වී පුතුන් තිදෙනකු ලැබූ අතර, වසර දහයක පමණ කාලයක් පෞද්ගලික ආයතනයක විත්ති පක්ෂයේ නීතිඥවරියක ලෙස සේවය කළාය.
1989 වසරේ දී ඉන්ධන මිල ඉහළ යෑමට එරෙහිව ඇති වූ කැරකැසෝ කැරැල්ල සීලියාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. ඇය දේශපාලනයට නැඹුරු වූයේ එම කැරැල්ලෙන් පසුවය. 1992 දී චාවේස් විසින් මෙහෙය වනු ලැබූ අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් පසු, ඇය ඔහු කෙරෙහි දැඩි ලෙස පැහැදීමකට පත්වුණු බව පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ද සීලියා ය. ඇය චාවේස්ට ලිපියක් යවමින් ඔහුගේ නීතිමය ආරක්ෂාව සඳහා සහාය වීමට ඉදිරිපත් වූ අතර, එතැන් පටන් ඇය චාවේස්ගේ සමීපතම උපදේශිකාවක බවට පත් වූවාය. චාවේස් හමුවීමට යද්දී සීලියාට එවකට ජනප්‍රිය වෘත්තීය සමිති නායකයා හමුවිය. ඒ නිකලස් මදුරෝය. ඒ වනවිට ඔවුහු දෙදෙනාම ඔවුන්ගේ පෙර විවාහවලින් වෙන්වීමට සූදානමින් සිටියහ. එසේ හමුවී මදුරෝ සහ සීලියා පෙම්වතුන් වූහ.
1994 දී චාවේස්ට ජනාධිපති සමාව හිමිවිය. ඉන්පසු චාවේස්, සිවිල් නායකයකු ලෙස ජනතාව අතරට ගෙන යෑමට කැප වී කටයුතු කළේ සීලියා ප්රමුඛ ඇගේ කණ්ඩායමය. 1998 දී චාවේස් ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ සීලියාගේ දේශපාලන ගමන වේගවත් විය. 2000 වසරේ දී ඇය වෙනිසියුලා පාර්ලිමේන්තුවට (ජාතික සභාවේ) මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූවාය. 2007 දී ජාතික සභාවේ නායිකාව ලෙස පත් වූවාය. 2012 වසරේ දී ඇය වෙනිසියුලාවේ නීතිපති ධුරයට පත්වූවාය. 2013 දී හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු මදුරෝ ජනාධිපති ධුරයට පත් වූ අතර, එම වසරේම ජූලි මාසයේදී ඔවුහු දෙදෙනා විවාහ වූහ. එතැන් පටන් වෙනිසියුලාවේ ජනාධිපති ආර්යාව වූයේ සීලියාය.

