බල්ලකු තරම් ඩයිනසෝරයා

සාමාන්‍යයෙන් ඩයිනසෝරයන් කීවාම අපේ සිහියට නැගෙන්නේ අවුරුදු මිලියන ගණනකට පෙර පෘථිවියේ රජ කළ දැවැන්තයන්. ඒත් දැවැන්තයන් නොවන ඩයිනසෝරයෝ ද ඒ දැවැන්තයන් අතරේ සිටියහ. මේ එවැනි ඩයිනසෝරයකු ගැන කතාවකි. මේ ඩයිනසෝරයා ප්‍රමාණයෙන්, ලැබ්රඩෝර් වර්ගයේ බලු සුරතලකු තරම්ය. මේ ඩයිනසෝරයා අලුත් ඩයිනසෝර විශේෂයක් බව විද්‍යාඥයන්ගේ අදහසය.
විද්‍යාඥයන් නව ඩයිනසෝරයා නම් කර ඇත්තේ, එනිග්මාකර්සර් මෝලිබෝර්ත්විකායි Enigmacursor mollyborthwickae යනුවෙනි. එනිග්මාකර්සර් යන්නෙහි අරුත ඉවක් බවක් නැතිව එහෙමෙහෙ දුවන්නාය. මේ ඩයිනසෝරයා ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 150 කට පෙර අතීතයේ ඇමෙරිකාවේය. අද ඇමෙරිකාව අතීතයේ ඩයිනසෝරයන්ගේ රජදහනකි. එනිග්මාකර්සර් ජීවත් වූයේ කවුරුත් හොඳින් දන්නා ස්ටෙගොසෝරස් Stegosaurus සහ ඩිප්ලෝඩොකස් Diplodocus වැනි ප්‍රසිද්ධ ඩයිනසෝරයන් අතරේ යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. අතීතයේ මේ පුංචි ඩයිනසෝරයා ස්ටෙගසෝරස් සහ ඩිප්ලෝඩොකස් ආදී දැවැන්තයන්ගේ පාද අතරින් දුවන්න ඇතැයි ද විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
විද්‍යාඥයන් ඔවුන්ට හමුවුණු පොසිල අස්ථි කොටස් අනුව, පළමුවෙන් මේ කුඩා ඩයිනසෝරයා නම් කර තිබුණේ නැනෝසෝරස් Nanosaurus යන නමිනි. ඒත් මේ සත්වයා මුළුමනින්ම අලුත් විදියේ ඩයිනසෝර විශේෂයකට අයත් සත්වයකු බව විද්‍යාඥයන් අනාවරණය කර ගත්තේ මෑතකදීය. දැන් පොසිල අස්ථි අනුව, කෘත්‍රිමව නිර්මාණය කළ අස්ථි ඇසුරින් පොසිල විද්‍යාඥයන් එනිග්මාකර්සර් මෝලිබෝර්ත්විකායිගේ අස්ථි සැකිල්ලක් ඒ අනුව නිර්මාණය කෙරුණි. දැන් එය එංගලන්තයේ ලන්ඩන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනයට තබා ඇත. ඒ ඩයිනසෝර වංශකතාවට එක් වන අලුත්ම ඩයිනසෝරයා බව පෙන්වා දෙමිනි. හමුවුණු පොසිල සාක්ෂි ඇසුරින්, එනිග්මාකර්සර්ගේ ඇටසැකිල්ල නිර්මාණය කළේ ඩයිනසෝර අස්ථි සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයන් වන ලූ ඇලින්ටන් ජෝන්ස් සහ කියරන් මයිල්ස් යන දෙදෙනාය.
“ඩයිනසෝරයන්ගේ පරිණාමය සිදුවුණු ආකාරය ගැන ඩයිනසෝරයන් ප්‍රමාණයෙන් ලොකු කුඩා අයුරින් බිහිවුණු හැටි පැහැදිලි අවබෝධයක් ලබා දීමට නව ඩයිිනසෝරයාට හැකියාව ඇතැයි අප විශ්වාස කරනවා.” යැයි ලන්ඩන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ මහාචාර්ය පෝල් බැරට් පවසයි. කෞතුකාගාරයේ සෙසු ඩයිනසෝර අස්ථි අතරේ, වීදුරු කුටියක් තුළ එනිග්මාකර්සර් මෝලිබෝර්ත්විකායිගේ ප්‍රදර්ශනය කෙරේ. එනිග්මාකර්සර්ගේ ඇටසැකිල්ලට පහළින් සිටින්නේ ස්ටෙගොසෝරස් ඩයිනසෝරයකුගේ ඇටසැකිල්ලකි. එනිග්මාකර්සර්ගේ පොසිල අස්ථි මෙන්ම මෙම ස්ටෙගොසෝරස්ගේ පොසිල අස්ථි ද හමුවී ඇත්තේ පටහිර ඇමෙරිකාවේ මොරිසන් කැණීම් භූමියෙනි. මෙම භූමිය ඇත්තේ කොලරාඩෝ ජනපදයේය. එනිග්මාකර්සර් ඇටසැකිල්ලට තනිරකින ස්ටෙගොසෝරස් ඩයිනසෝරයා හැඳින්වෙන්නේ සෝපී යන නමිනි.

කොලරාඩෝ ජනපදයේ, මොරිසන් කැණීම් භූමියෙන්, එනිග්මාකර්සර් පොසිල අස්ථි කොටස් සොයා ගැනීම සිදුවූයේ 2021 සහ 2022 අතර කාලයේය. කැණීම්වලදී විදයාඥයන්ට හමුවී ඇත්තේ පොසිලකරණය වූ හිස් කබල අස්ථි කොටස් සහ කශේරුකාවේ කොටස් කීපයක් පමණි. එහෙයින් ඩයිනසෝරයාගේ ප්‍රමාණය හරිහැටි ගණනය කිරීම පවා ගැටලුවක් විය. ඒත් දැන් වෙහෙස මහන්සියෙන් කළ අධ්‍යයනවලින් පසු විද්‍යාඥයන් පවසන්නේ, එනිග්මාකර්සර් සෙන්ටි මීටර් 64 ක් උස බවත්, සෙන්ටි මීටර් 180 ක් දිග බවත්ය. එනිග්මාකර්සර්, ලැබ්රඩෝර් වර්ගයේ බලු සුරතලකු තරම් යැයි පැවැසෙන්නේ ඒ අනුවය.
“එනිග්මාකර්සර්ගේ වල්ගය උගේ සිරුරෙන් අඩක් තරම්. ඒ වගේමයි, එනිග්මාකර්සර්ගේ පාද හරිම ශක්තිමත්. ඒවා දුවන්න සැකසුණු පාද” යැයි පොසිල විද්‍යාඥ මහාචාර්ය සූසනා මෙයිඩ්මන්ට් පෙන්වා දෙයි. “මේ ඩයිනසෝරයාගේ හිස එතරම් විශාල නොවෙයි. ඒ නිසා බුද්ධිමත් ඩයිනසෝරයකු යැයි කියන්න අමාරුයි. අපට හමුවුණු මේ එනිග්මාකර්සර් මියයනවිට යොවුන් වියේ සිටින්න ඇතැයි අප අප අනුමාන කරනවා.” යැයි මහාචාර්යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
බීබීසී ඇසුරිනි

