පිටසක්වළින් එන අමුත්තා



මේ වනවිට ලොව බොහෝ දෙනාගේ දෑස් යොමු වී ඇත්තේ විශ්වය දෙසටය. තාරකා විද්‍යාඥයන් අතරේ මේ සම්බන්ධයෙන් ලොකු කසුකුසුවක් පවතී. වෙබ් අඩවි හරහාත්, සමාජ මාධ්‍ය හරහාත් බොහෝ දෙනාගේ අවධානය මේ සම්න්ධයෙන් යොමු වී ඇත. තාරකා විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් වාද විවාද පවත්වති. තාරකා විද්‍යාව ගැන උනන්දුවක් ඇති අයත්, උනන්දුවක් නැති අයත් මේ ගැන කතා කරති. මෙය සැබැවින්ම, පුදුමයට හේතුවක් වී ඇති ප්‍රශ්නකාරී මාතෘකාවකි.

පිටසක්වළ අමුත්තෙක් මේ වන විට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී සිටී. මේ අමුත්තා කවුරුන්දැයි නිවැරදිව පැහැදිලි කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් වී නැත. ඇමෙරිකාවේ නාසා ආයතනය මේ ගැන අවධානයෙන් පසුවෙයි. මේ අමුත්තා අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී, ග්‍රහලෝක එකිනෙක පසුකරමින් හිරු දෙසට ගමන් කරයි. මෙම වසර අවසානයේ මෙම අමුත්තා පෘථිවිය අසලින් ද යෑමට නියමිතය. විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කළ මේ අමුත්තා කවුරුන්ද? පිටසක්වළ යානයක්ද? මෙය පිටසක්වළ යානයක් නම්, පිටසක්වළ ජීවීන් සැබෑවක්ද? විශ්වයේ ඈත අපට වඩා දියුණු පිටසක්වළ ජීවීන් සිටිනවාද? මේ පිටසක්වළ යානය පෘථිවිය දෙසට එන්නේ අපට අනතුරක් කරන්නද? මේ කිසිදු පැනයකට තවමත් අපට හරිහැටි පිළිතුරක් නැත.

“පරක් තෙරක් නොපෙනෙන විශ්වයේ එක්කෝ අප තනිවෙලා. නැතිනම් එහෙම නැහැ. මේ සිතුවිලි දෙකම එක වගේ බිහිසුණු නොවේද?” මේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගේ සුප්‍රසිද්ධ කියමනකි. මුළු ලොවම කැලඹීමට සමත් වූ මෙම අද්භූත වස්තුව, විද්‍යාඥයන් නම් කර ඇත්තේ, 3 අයි.ඇට්ලස් යන කේත නාමයෙනි. ඊට හේතුව, විද්‍යාඥයන්ට මෙම වස්තුව සොයා ගැනීමට හැකිවූයේ ඇට්ලස් නමැති ග්‍රහක නිරීක්ෂණ වැඩසටහන යටතේ වීම නිසාය.

හිරු නැතිනම් සුර්යයාත්‍, අපගේ නිවහන වන පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලයත් පොදුවේ අප හඳුන්වන්නේ සෞරග්‍රහ මණ්ඩලය යන නමිනි. සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය හිරුය. බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් යනු සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයන් අට දෙනාය. ඊට අමතරව, චන්ද්‍රයන්, ප්ලූටෝ වැනි කුරු ග්‍රහයන්, ග්‍රහක ආදිය සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන්ය. අපගේ හිරු, විශාල සහ උණුසුම් තාරකාවකි. සෞරග්‍රහ මණ්ඩලය අවසන් වන සීමාව ගැන තාරකා විද්‍යාඥයන් තුළ අවබෝධයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති කලාපය අන්තරීක්ෂ අවකාශය ලෙස විද්‍යාඥයන් නම් කර ඇත. සරලව කීවොත්, අන්තරීක්ෂ අවකාශය යනු සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙන් ඇති කලාපයයි. අන්තරීක්ෂ අවකාශයේ තිබෙන්නේ මොනවාදැයි තාරකා විද්‍යාඥයෝ නිවැරදිව දන්නේ ද නැත. සෞරග්‍රහ මණ්ඩලය පසු කර, විශ්වයේ ඈතට ගිය එකම පෘථිවි රොබෝ ගවේෂණ යානා වන්නේ නාසා ආයතනයේ වොයේජර් යානා දෙකය.

විද්‍යාඥයන් මවිතයට පත් කළ 3 අයි.ඇට්ලස් පැමිණියේ මෙම අන්තරීක්ෂ අවකාශයේ සිටය. මෙම වස්තුව, පළමු වරට විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ පසුගිය ජූලි 1 වැනිදාය. මෙයට ඇත්තේ අසාමාන්‍ය වේගයකි. ග්‍රහ වස්තුවකට නොමැති විදියේ අසාමාන්‍ය වේගයකි. සෞරග්‍රහ මණ්ඩලය හරහා ඇදී යන වේගවත්ම වස්තුව ලෙස සැලකෙන්නේ ද මෙයයි. මෙහි වේගය පැයට කිලෝ මීටර් දෙලක්ෂ 45,000 කි. ඇමෙරිකාවේ නාසා ආයතනය අද මේ ගැන උනන්දුවක් දැක්වූවත්, මෙම වස්තුව මුලින්ම සොයා ගැනීමට දායක වූයේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියයි. ඒ, නාසා අනුග්‍රහය ලබන, හවායි දූපත් ආශ්‍රිතව පිහිටුවා ඇති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙනි. විද්‍යාඥයන් දන්නා දත්ත අනුව, අන්තරීක්ෂ අවකාශයේ සිට අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී, සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරමින්, ආපසු ආ තැනටම ගිය තවත් වස්තූන් දෙකක් ඇත. එයින් එකක් වන්නේ මීටර් 200 ක විශ්කම්භයක් ඇති ඕමුවාමුවා යනු දැවැන්ත සුරුට්ටුවක හැඩය ගත් ග්‍රහකයකි. 2017 වසරේ දී මෙය මුලින්ම නිරීක්ෂණය කරන ලදී. මෙය හඳුනාගත් පළමු අන්තරීක්ෂ වස්තුව වන අතර, මෙහි හැඩය පමණක් නොව, අසාමාන්‍ය දීප්තිය ද විද්‍යාඥයන්ගේ මවිතයට හේතුවක් විය. අසාමාන්‍ය හැඩය නිසා විද්‍යාඥයන් අදටත් විශ්වාස කරන්නේ මෙය පිටසක්වළ ජීවීන්ගේ යානයක් විය හැකි බවය. ඕමුවාමුවා යන වදනෙහි අරුත, ඈත සිට ආ පණිවුඩකරුවා යන්නය. අන්තර් තාරකා අවකාශයේ සිට ආ දෙවැනි වස්තුව ගැන නම් විද්‍යාඥයන් තුළ කිසිදු සැකයක් නැත. එය ධූමකේතුවක් නැතිනම් වල්ගාතරුවක් බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. මෙම වල්ගා තරුව බොරිසොව් යනුවෙන් නම් කෙරුණි. ඒ එය පළමුවෙන් දුටුවේ බොරිසොව් නමැති ආධුනික තාරකා විද්‍යාඥයා වීම නිසාය.

3 අයි.ඇට්ලස් අද්භූත වස්තුවේ පළල කිලෝ මීටර් 10 ත් 30 ත් අතර අගයක් ගන්නා බව පැවැසෙයි. මෙය අතිශයින් දීප්තිමත්ය. පොදෙුවේ විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ විශ්වාසය මෙය ද සක්‍රීය ධූමකේතුවක් එසේත් නැතිනම් වල්ගා තරුවක් විය හැකි බවය. 3 අයි.ඇට්ලස් වස්තුවේ අසාමාන්‍ය දීප්තිය ඊට හේතුවය. 3 අයි.ඇට්ලස් ට අපහැදිලි වුවත්, කෙටි වල්ගයක් ඇති බවට ද නිරීක්ෂණය වී ඇත. ධූමකේතුවක් එසේත් නැතිනම් වල්ගාතරුවක් සූර්යයාට ළං වන විට, එහි ඝන අයිස් සහිත හරය රත් වීමට පටන් ගනී. වල්ගය ලෙස හිරුගෙන් ඉවතට විහිදෙන්නේ මෙයයි. ඊට අමතරව, හිරුගේ තාපය නිසා අයිස් සෘජුවම වායු බවට පත් වෙයි. මෙම වායු සහ දූවිලි අංශු ධූමකේතුවේ හරය වටා වලාකුළක් ලෙස පැතිරෙයි. මෙය කෝමා ලෙස හැඳින්වෙයි. කෙසේ නමුත්, 3 අයි.ඇට්ලස් වස්තුවේ දීප්තිය වැඩියෙන්ම ඇත්තේ එහි පසුපස කොටසේ නොව, ඉදිරිපස කොටසේය. වල්ගා තරුවක් නම් එය එසේ විය යුතු නැත. ඒ අනුව, ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස මෙය වල්ගාතරුවක් නොව, න්‍යෂ්ටික බලයෙන් පණ ගැන්වූ පිටසක්වළ යානයක් බවය.

මීට පෙර අන්තරීක්ෂ අවකාශයේ සිට පැමිණි, ඕමුවාමුවා ග්‍රහකය ගැනත්, බොරිසොව් වල්ගා තරුව ගැනත් අධ්‍යයනය රැසක් කළ විද්‍යාඥයකු ලෙස සැලකෙන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ මහාචාර්ය ආවි ලෝබ්ය. ඔහු  ඕමුවාමුවා ග්‍රහකය ගැන සැක පළ කරන අයෙකි. ඔහුගේ අදහස නම් ඕමුවාමුවා පිටසක්වළ යානයක් බවය. 3 අයි.ඇට්ලස් ද පිටසක්වළ යානයක් යැයි ආවි ලෝබ් අනුමාන කරයි. “3 අයි.ඇට්ලස් ධූම කේතුවක් යැයි අපට නිවැරදිව කියන්න බැහැ. මෙය ඉතා විශාලයි. ඒ වගේමයි ඉතා වේගවත්. මෙය විශාල පිටසක්වළ යානයක් වීමටත් බැරි නැහැ” යැයි මහාචාර්යවරයා පවසයි.

3 අයි.ඇට්ලස් පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 670 ක් පමණ දුරකිනි. නාසා ආයතනය පුරෝකථනය කරන්නේ, එය මෙම වසරේ ඔක්තෝබර් 30 වන දින සූර්යයාට ආසන්නතම ලක්ෂ්‍යයට ළඟා වන බවත්, එය කිලෝමීටර් මිලියන 210ක් දුරින් - අඟහරුගේ කක්ෂයට මදක් ඔබ්බෙන් ගමන් කරනු ඇති බවත්ය. 3 අයි.ඇට්ලස් පෘථිවිය අසලින් යනු ඇත්තේ දෙසැම්බර් 19 වැනිදාය. ඒ, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 269.3 ක් දුරිනි. මෙය පිටසක්වළ යානයක් ද නැද්ද යන්න එදාට නිශ්චිතව දැන ගැනීමට හැකි වනු ඇත. මහාචාර්ය ආවි ලෝබ් අනුමාන කරන විදියට 3 අයි.ඇට්ලස් පිටසක්වළ යානයක් නම්, කුමකින් කුමක් සිදුවනු ඇත්ද?

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට

RECOMMEND POSTS