නැවට එල්ල වුණු ප්‍රහාරය



ලෝකය අර්බුද රැසකට මුහුණ දී සිටී. ඇමෙරිකාව, ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට පහර දෙයි. ඉරානය ​ඉවක් බවක් නැතිව පෙරළා හතරවටේ ඇති ඇමෙරිකන් ඉලක්කවලටත්, ඊශ්‍රායලයටත් පහර දෙයි. දශක ගණනක් ගජ මිතුරන් වූ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය මේ වනවිට කෙහිවලු වටලවාගෙන ඇත. ඇෆ්ගන් පාකිස්තාන යුද ගැටුම් අවුළුවන්නේ ඉන්දියාව යැයි චෝදනා එල්ල වෙයි. සතියකින් යුක්රේනය ආක්‍රමණය කරනවා යැයි කියමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, යුක්රේනයට එරෙහිව අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය පසුගිය පෙබරවාරියේ පස්වැනි වසර සම්පූර්ණ කළේය. මේ සියලු අර්බුද එකිනෙක හා සම්බන්ධ වෙයි. එක් සුළු අතපසුවීමකින්, එක් වැරදි තීරණයකින් දැනටමත් බල කඳවුරු දෙකක් ලෙස බෙදුණු ලෝකය, තෙවැනි ලෝක යුද්ධය කරා යනු ඇතැයි දේශපාලන විශ්ලේකෂයෝ බිය පළ කරති. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, එක් වී ඉරානයට පහර දීම ආරම්භ කළේ පසුගිය 28 වැනිදාය. ඒ, ඉරානයේ ඉස්ලාමීය පාලනය අවසන් කිරීමට සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අඩපණ කිරීම ටය. එසේ හටගත් යුද ගැටුම් අපට විදෙස් පුවත් පමණක් ම විය. තැනින් තැන ‘ප්‍රෙටල් නෑ’, ‘ඩීසල් නෑ’ කියමින් තෙල් පෝලිම් දකින්න ලැබෙද්දී මැදපෙරදිග යුද්ධයේ උණුසුම තරමක් අපට දැනෙන්න පටන් ගත්තේය. ඒත් ඊයේ 4 වැනිදා අලුයම් කාලයේ ඒ උණුසුම තදින්ම අපට දැනෙන්න වූයේ මුහුදෙන් ආ උදවු ඉල්ලීමක් ද සමගය. මැදපෙරදිග යුද ගැටුම අපගේ එළිපත්තටම පැමිණියේය.

ඊයේ (4) අලුයම 5.15 ට පමණ, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට උදවු ඉල්ලා පණිඩුයක් ලැබුණේ, නවික සැතපුම් 40 ක් දුරින්, මුහුදේ දී විපතට පත්වුණු  ඉරාන නාවික හමුදාවේ අයිරිස් ඩේනා යුද නෞකාවේ සිටි නාවික භටයන්ගෙනි. ඒ වනවිටත්, අයිරිස් ඩේනා යුද නෞකාවට ප්‍රහාරයක් එල්ල වී විනාශ වී තිබුණි. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සැණින් ක්‍රියාත්මක විය. ඔවුන් අදාළ ස්ථානයට යද්දී,  අයිරිස් ඩේනා යුද නැවේ කිසිදු සලකුණක් ඉතිරිව තිබුණේ නැත. ඉතිරිව තිබුණේ පාවෙන තෙල් පැල්ලම් කීපයක් සහ කුඩා ජීවිතාරක්ෂක යාත්‍රා කීපයක් පමණි. තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් වූ ඉරාන නාවික භටයෝ තිස් දෙදෙනකු එම යාත්‍රාවල ගුලි වී සිටියහ. ඔවුන්ගේ සිරුරුවල කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල විය. එම තිස් දෙදෙනා කඩිනමින් ගාල්ල නාවික හමුදා කඳවුරට රැගෙන ආ අතර පසුව එම පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණි. නාවික හමුදාවට හමුවුණු මළසිරුරු ගණන 80 කට වැඩිය. ප්‍රහාරයට ලක් වෙද්දී අයිරිස් ඩේනා නෞකාවේ 180 දෙනකු සිටි බව පැවැසෙයි. ඉතිරි පිරිස නැව සමග මුහුදේ සැඟව යන්නට ඇතැයි අනුමාන කෙරේ. එසේ වුවත්, දිවි ගලවා ගත් නාවික භටයන් සිටීදැයි සොයමින් පැය ගණනක් සෝදිසි මෙහෙයුම් සිදුවිය. මළසිරුරු ද කරාපිටිය රෝහලට ගෙන ඒම සිදුවිය.

ඇමෙරිකන් සබ්මැරීන ප්‍රහාරයෙන් විනාශ වී මුහුදුබත් වුණු අයිරිස් ඩේනා යුද නෞකාව ඉරාන නාවික හමුදාවේ 86 වන බලඇණියට අයත් එකකි. මෙය සම්පූර්ණයෙන් ම ඉරානයේ නිෂ්පාදිත නෞකාවකි. නෞකාව ඉදි කෙරුණේ ඉරානයේ බන්ඩාර් අබ්බාස්, ෂාහිඩ් ඩර්විෂි නැව් අංගනයේදීය. 2022–2023 දී ඉරාන නාවික හමුදාවේ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා අයිරිස් ඩේනා නෞකාව ලොව පුරා කිලෝ මීටර් 65,000 ක නාවික මෙහෙයුමක නිරත වූ අතර, එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබුණි. නෞකාව, ටොන් 1,500ක බරකින් යුක්ත මීටර් 95ක් පමණ දිගකින් යුක්ත විය. නෞකාව ප්‍රහාරක මිසයිලවලින් මෙන්ම, ප්‍රති මිසයිල නාශකවලින් ද සන්නද්ධ වී තිබුණි. එසේ වුවත්, ඇමෙරිකානු නාවික හමුචාවේ සබ්මැරීනවල යුද ශක්තිය හමුවේ අයිරිස් ඩේනා අසරණ විය. එය පහර දී විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ ඇමෙරිකන් හමුදාව මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර අවසන්ය. ඉරාන නාවික හමුදාව, අයිරිස් ඩේනා නෞකාව භාවිතයට ගෙන ඇත්තේ, ගෝලීය වෙළෙඳ කටයුතු ආරක්ෂා කිරීම, මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව සටන් වැදීමට සහ දිගු කාලීන සාගර මෙහෙයුම් සඳහාය. ඇමෙරිකන් සබ්මැරීනයේ ඉලක්කයට හසුවෙද්දී, අයිරිස් ඩේනා ඇමෙරිකාවට එරෙහිව මෙහෙයුමක නිරතවී සිටියා 0ද නැද්ද යන්න තහවුරු වී නැත.

රොයිටර් සහ අල් ජසීරා පුවත් සේවා වාර්තා කළේ අයිරිස් ඩේනා යුද නෞකාව, ඉතුක් පෙබරවාරියේ නැගෙනහිර ඉන්දියාවේ විශාඛාපට්නම් වෙරළබඩ නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනයට සහභාගී වී ආපසු ඉරානය බලා යාත්‍රා කරද්දී ඇමෙරිකන් සබ්මැරීනයක ඉලක්කයක් වූ බවය. ශ්‍රී ලංකාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ දී, ඇමෙරිකන් සබ්මැරීනයක්, ඉරාන නෞකාවට පහර දුන් බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් (ඇමති) පීටර් හෙග්සෙත් පැවැසුවේ මාධ්‍ය හමුවේ ඇමෙරිකානු යුද ශක්තිය ගැන ආඩම්බර වෙමිනි. ඒ, අයිරිස් ඩේනා ය. ඇමෙරිකන් සබ්මැරීනයක් ටෝපීඩෝ මිසයිල භාවිතයට ගනිමින්, සතුරු යුද නෞකාවක් පහර දී මුහුදුබත් කිරීමට කටයුතු කළේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමු වරට යැයි ද ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය. ඒත් එම ප්‍රකාශය නිවැරදි නොවෙයි.

1982 වසරේ පැවැති ෆෝක්ලන්ඩ් යුද්ධයේ දී, ආර්ජන්ටිනාවේ එක ම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් වර්ගයේ ටෝපිඩෝ මිසයිල දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේය. 1971දී තවත් එවැනිම ටෝපීඩෝ ප්‍රහාරයකින් නෞකාවක් ගිලී යෑම සිදුවිය. ඉන්දියානු යුද්ධ නෞකාවක් වන අයි.එන්.එස්. කුක්රි පාකිස්තාන සබ්මැරීනයක් විසින් එල්ල කරනු ලැබූ ටෝපිඩෝවකින් විනාශ වී මුහුදුබත් විය. එ​සේ වුවත්, ඇමෙරිකා සබ්මැරීනයක් පහර දී ඉරාන යුද නෞකාවක් ගිලාවා දැමීම කළේ 1945 න් පසුව (දෙවැනි ලෝක යුද්ධයෙන් පසු) බව නම් නිවැරදිය.

ටෝපීඩෝ යනු ජලය මතුපිට හෝ ජලය යට ඇති ඉලක්ක වෙත ස්වයංක්‍රීයව ගමන් කර, එය හා ගැටීමෙන් හෝ ඉලක්කය අසලදී පුපුරා යෑමෙන් විනාශය ළඟා කරන දිය යට මිසයිලයකි. සරලව කිවහොත් මෙය ස්වයං-ප්‍රචාලක බලයක් සහිත දිය යටින් යන මිසයිලයකි. දෙවන ලෝක යුධ සමයේ සිට වර්තමානය දක්වා නාවික බලය තහවුරු කිරීමෙහිලා මෙම මිසයිල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සබ්මැරීන්, නෞකා, හෙලිකොප්ටර් සහ ස්ථාවර තටු සහිත ගුවන් යානා මගින් මේවා ප්‍රහාර සඳහා මුදා හැරිය හැකිය. තාක්ෂණික දියුණුවත් සමඟ ටෝපීඩෝ විවිධ නිර්ණායක පදනම් කරගෙන වර්ගීකරණය කරයි. බර සහ ප්‍රමාණය අනුව ප්‍රධාන වශයෙන් ටෝපීඩෝ වර්ග දෙකකි. සැහැල්ලු ටෝපීඩෝ සාමාන්‍යයෙන් ගුවන් යානා සහ නෞකා මගින් සතුරු සබ්මැරීන් විනාශ කිරීමට යොදා ගන්නා අතර, ඒවා ඉලක්කය පසුපස හඹා යෑමට සැලසුම් කර ඇත. බර ටෝපීඩෝ ප්‍රධාන වශයෙන් සබ්මැරීන් මගින් නිකුත් කරනු ලබන අතර, විශාල යුද නැව් පවා එක් ප්‍රහාරයකින් ගිල්වා දැමීමට තරම් ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය මේවායේ අඩංගු වෙයි.

මඟ පෙන්වීමේ පද්ධති (Guidance Systems) අනුව, නවීන ටෝපීඩෝ ඒවායේ ඉලක්කය හඳුනා ගන්නේ ඉතා දියුණු තාක්ෂණයන් භාවිතයට ගනිමිනි. සෝනාර් (Acoustic) තාක්ෂණය මගින් සතුරු යාත්‍රාවල එන්ජින් හඬ ඔස්සේ හෝ තමාම නිකුත් කරන ශබ්ද තරංග පරාවර්තනය කිරීමට සලස්නා එමගින් ඉලක්කය සොයා ගැනීමට මේවාට හැකියාව ඇත.  තවත් සමහර ටෝපීඩෝ වර්ග වයර් (Wire-guided) මගින් මෙහෙයවන යාත්‍රාව හා සම්බන්ධ කර ඇති අතර, එමගින් පාලක මැදිරියේ සිට ටෝපීඩෝවේ ගමන් මග වෙනස් කළ හැකි වෙයි. පැරණි වර්ගයේ ටෝපීඩෝ කිසිදු මඟ පෙන්වීමකින් තොරව (Straight-running) සෘජු රේඛාවක ගමන් කළ නමුත්, වර්තමානයේ නව තක්ෂණය නිසා එය එසේ වෙනස් වී ඇත.

ප්‍රචාලන බලය (Propulsion) අනුව ටෝපීඩෝවක් ජලය යටින් ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ ආකාර කිහිපයකිනි. විදුලි ටෝපීඩෝ බැටරි බලයෙන් ක්‍රියා කරන බැවින් ශබ්දය ඉතා අඩුය. මේ නිසා සතුරන්ට ඒවා හඳුනා ගැනීම අසීරු වෙයි. තාප එන්ජින් (Thermal) සහිත ටෝපීඩෝ ඉන්ධන දහනය මගින් ක්‍රියා කරන අතර ඒවායේ වේගය සහ පරාසය ඉතා ඉහළ මට්ටමක පවතී. අද සුපර්කැවිටේටිං (Supercavitating) වැනි අති නවීන ටෝපීඩෝ තාක්ෂණයන් භාවිතයට ගැනෙයි. මේවායේදී ටෝපීඩෝව වටා වායු බුබුලක් නිර්මාණය කර ජලය සමඟ ඇති ඝර්ෂණය අවම කරන අතර, එමගින් සාමාන්‍ය ටෝපීඩෝවකට වඩා කිහිප ගුණයක වේගයෙන් ඉලක්කය වෙත ළඟා වීමේ හැකියාව ලැබේ.

ඉරානය සතුව ප්‍රධාන නාවික බලකා දෙකකි. එයින් එකක් සාම්ප්‍රදායික ඉරාන සමූහාණ්ඩුවාදී නාවික හමුදාව (IRIN) වන අතර, අනෙක විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික අංශය (IRGCN) වෙයි. ඉරානය සතුව සමස්තයක් ලෙස නාවික යාත්‍රා 400කට අධික සංඛ්‍යාවක් පවතී. කෙසේ වෙතත්, මේවා බොහොමයක් විශාල ප්‍රමාණයේ යුද නෞකා නොවන අතර කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා වෙයි. ඉරාන නාවික හමුදාවට අයත් ෆ්‍රිගේට් (Frigates) 7 කි. ඇමෙරිකන් ප්‍රහාරයෙන් විනාශ වුණු අයිරිස් ඩේනා නෞකාව,  ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවකි. ඊට අමතරව ඉරානය සතුව, කොර්වෙට් (Corvettes)​ නෞකා 3ක්, සබ්මැරීන් 19 - 30 අතර ගණනක් ඇත. ඒවා අතරේ රුසියාවේ නිෂ්පාදිත සබ්මැරීන සහ ඉරානය ඔවුන් විසින්ම නිෂ්පාදිත සබ්මැරීන ඇත. ඊට අමතරව ඉරාන නාවික හමුදාවට කුඩා ප්‍රමාණයේ මුර සංචාරක යාත්‍රා 200කට අධික ප්‍රමාණයක් ද අයත් වෙයි. ඇමෙරිකාවට අනුව මේවායින් බොහොමයක් මේ වනවිට ඇමෙරිකන් හමුදා ප්‍රහාරවලින් විනාශ වී අවසන්ය.

අන්තර්ජාතික මානුෂවාදී නීතිය හෙවත් අන්තර්ජාතික යුධ නීතියට අනුව, අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී එම සන්නද්ධ ගැටුමට පාර්ශවකාරී නොවන රාජ්‍යයන් වෙත පවා රාජ්‍ය වගකීම් පැවැරෙන අවස්ථා ඇත. අප ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ද එවැනි තත්ත්වයකටය. 1949 වසරේ ඇතිකරගත් ජිනීවා සම්මුතින්ගේ දෙවන සම්මුතිය අනුව,  යුද ගැටුමකදී ප්‍රතිවිරුද්ධ නාවික යාත්‍රාවක් මුහුදුබත් වුවහොත්, එම යාත්‍රාවේ සිටින්නේ සතුරන් වුවත්, ඔවුන්ට පිහිටවීම එසේත් නැතිනම් මානුෂවාදී ලෙස සැලකීම සියලු පාර්ශ්වයන් වෙත පවතින නෛතික වගකීමකි. ශ්‍රී ලංකාව ද ජිනීවා සම්මුතින් වෙත රාජ්‍ය පාර්ශවකාරීත්වය දරන බැවින් එම වගකීම අත්හළ නොහැකි වෙයි. 1949 තෙවැනි ජිනීවා සම්මුතියට අනුව, සටන්කාමී පාර්ශවයක පිරිස් සටනට පාර්ශවකාරී නොවන පර්ශවයක් වෙත උදවු ඉල්ලා පැමිණියහොත්, අන්තර්ජාතික නීතිය අනුව ඔවුන්ට අවශ්‍ය උදවු දීම සහ රැකවරණය දීම යුද්ධයට සම්බන්ධ නොවන රාජ්‍යය සතු වගකීමක් බව පෙන්වා දී ඇත.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS