දුර්ලභ පෘථිවි ඛනිජ

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආසියානු සංචාරයේ අවසන් අදියරේ දී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය. ඒ, දකුණු කොරියාවේ බූසොන් නගරයේදීය. මෙය ඉතා වැදගත් හමුවක් වූයේ ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය අවසන් කිරීම සඳහා ලෝක බලවතුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වීමය. එම සාකච්ඡා අවසන් වූයේ දුර්ලභ ඛනිජ සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ චීනය අතරේ එකඟත්වයක් ඇති කර ගනිමිනි. මොනවද මේ දුර්ලභ ඛනිජ?
දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (Rare Earth Elements - REE) යනු ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය 17 ක සමූහයයි. මෙයට ලැන්තනයිඩ් ශ්‍රේණියේ මූලද්‍රව්‍ය 15 ක් (ලැන්තනම් (Lanthanum) සිට ලුටීශියම් (Lutetium) දක්වා), සහ ස්කැන්ඩියම් (Scandium) සහ යට්රියම් (Yttrium) ඇතුළත් වේ. මෙම ලෝහ රිදී පැහැති, මෘදු, සහ බරින් අධික වන අතර, ඒවාට අද්විතීය ප්‍රතිදීප්ත (fluorescent), විදුලි සන්නායක (conductive), සහ චුම්භක (magnetic) ගුණාංග ඇත. රසායනික සහ භෞතික ගුණාංග අනුව මේවා සැහැල්ලු දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (ලැන්තනම් සිට සමේරියම්) සහ බර දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (යුරෝපියම් සිට ලුටීශියම්) ලෙස වර්ග කෙරෙයි.
දුර්ලභ යැයි කීවත්, මෙම මූලද්‍රව්‍ය පෘථිවි කබොලේ ඉතා බහුල වේ - සීරියම් (cerium) අධිකතම දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍යය වන අතර, එය පෘථිවි කෙබොලේ 25 වැනි වඩාත්ම බහුල මූලද්‍රව්‍යය වන අතර තඹ වලට වඩා සුලභ වේ. දුර්ලභ යනුවෙන් මේවා හැඳින්වෙන්නේ මෙම මූලද්‍රව්‍ය පිරිසිදු ලෝහ ලෙස නොව, සංයෝග ලෙස පමණක් සොයා ගත හැකි වීම සහ ඒවා වෙන් කිරීම සහ පිරිසුදු කිරීම අතිශයින් අපහසු වීම නිසාය. ඒවා පෘථිවියේ පැතිරී ඇති අතර, ඒවා අධික සාන්ද්‍රණයකින් තැන්පත් වී ඇති ස්ථාන ඉතා අඩුය.
විදුලි වාහන සහ සුළං ටර්බයින සඳහා අත්‍යවශ්‍ය ශක්තිමත් චුම්බක නිෂ්පාදනය සඳහා නියෝඩිමියම් සහ ඩිස්ප්‍රෝසියම් අත්‍යවශ්‍ය වෙයි. ස්මාර්ට්ෆෝන් සහ පරිගණක තාක්ෂණය කටයුතුවලදී දුරකතන තිර, ඉලෙක්ට්‍රොනික උපකරණ, සහ සන්නායක නිෂ්පාදනය සඳහා මෙම මූලද්‍රව්‍ය භාවිතා වෙයි. ලේසර් සහ දෘශ්‍ය තාක්ෂණයේ දී දෘශ්‍ය, චුම්භක, සහ උත්ප්‍රේරක යෙදුම් සඳහා දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය ආදේශ කළ නොහැකිය. ආරක්ෂක සහ යුධ තාක්ෂණයේදී උසස් යුධ හමුදා යෙදුම් සඳහා මෙම මූලද්‍රව්‍ය ඉතා වැදගත්ය. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික සංරචක, කාච, චුම්භක ද්‍රව්‍ය, සහ කාර්මික ක්‍රියාවලීන් සඳහා මෙම සංයෝග භාවිතයට ගැනෙයි.
BBC ඇසුරිනි

