තෙල් මිල ඉහළට

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි. ඉරානය ද පෙරළා කලාපීය ඇමෙරිකන් ඉලක්කවලටත් ඊශ්‍රායලයටත් පහර දෙයි. ගැටුමේ අවසානයක් තවමත් පෙනෙන තෙක් මානයක නැත. මැදපෙරදිග කලාපයේ යුද උණුසුම සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් ඩොලර් 110 ඉක්මවා ගියේ පසුගිය 9 වැනිදාය. ඒ ඉරානයේ බාධා කිරීම් හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් නැව්ගත කිරීම්වලට දිගුකාලීන බාධා එල්ල වේවි යැයි හටගත් බිය නිසාය.
9 වැනිදා උදෑසන වෙද්දී, ආසියාවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 24 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 114.74 ක් වූ අතර, නයිමෙක්ස් ලයිට් ස්වීට් මිල සියයට 26 කට වඩා ඉහළ ගොස් ඩොලර් 114.78 ක් ලෙස සටහන් විය. ඒ අනුව, මේ සතිය අවසන් වෙද්දී, තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ළඟා වනු ඇතැයි අනාවැකි පළ තිබේ. කෙසේ වුවත්, ඉරානය සමග යුද්ධය, ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු, බොර තෙල් මිල යළි පහත වැටුණි.
බොර තෙල් යනු පොළොව යට වසර මිලියන ගණනක් තිස්සේ තැන්පත් වී තිබූ සත්ව සහ ශාක කොටස් අධික පීඩනයට ලක්වීමෙන් නිර්මාණය වූ ඝන කළු පැහැති දියරයකි. මෙය ස්වභාවික සම්පතක් වන අතර, කෙළින්ම භාවිතයට ගත නොහැකි බැවින් පිරිපහදු මධ්‍යස්ථාන හරහා පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලෙස වෙන් කර ගනු ලබයි. ජාත්‍යන්තර වෙළඳපොළේ මෙහි ප්‍රමාණය මනිනු ලබන්නේ බැරල් යන ඒකකයෙනි. එක් බැරලයක ලීටර් 159 ක් අඩංගු වන අතර, ලෝකයේ බොරතෙල් මිල තීරණය කිරීමේ ප්‍රධාන දර්ශකයක් ලෙස උතුරු මුහුදෙන් ලබාගන්නා උසස් තත්ත්වයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් භාවිත කෙරේ.
බොරතෙල් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ලෝකයේ තෙල් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අතර පවතින අසමතුලිතතාවයි. ලෝක ආර්ථිකය වේගයෙන් වර්ධනය වන විට තෙල් සඳහා ඇති ඉල්ලුම වැඩි වන අතර, නිෂ්පාදනය කරන රටවල් සැපයුම සීමා කළහොත් මිල ඉහළ යයි. මීට අමතරව, සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධනවලට අමතරව වර්තමානයේ ස්වභාවික වායුව, ජෛව ඉන්ධන සහ සූර්ය බලය වැනි විකල්ප බලශක්ති ප්‍රභව කෙරෙහි ද ලෝකයේ අවධානය යොමු වී ඇත.
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් තෙල් මිල කෙරෙහි සෘජුවම බලපාන්නේ එම කලාපය ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදන කලාපය වන බැවිනි. විශේෂයෙන්ම ඉරානය අසල හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනය කරන ඉතාම වැදගත් මුහුදු මාර්ගයකි. යුදමය තත්ත්වයක් ඇති වුවහොත් මෙම මාර්ගය අවහිර වීමට හෝ තෙල් නිධිවලට හානි වීමට ඉඩ ඇති බවට ඇති වන බිය නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ක්ෂණිකව ඉහළ යයි. මෙය ලෝකයේ සෑම රටකම ප්‍රවාහන සහ නිෂ්පාදන වියදම් ඉහළ යාමට හේතු වන ප්‍රධාන දේශපාලනික සාධකයකි.
අප දිනපතා භාවිත කරන පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යනු පෘථිවි අභ්‍යන්තරයෙන් ලබාගන්නා බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලැබෙන අතුරු නිෂ්පාදන සමූහයකි. රසායන විද්‍යාවේදී මේවා පොදුවේ ඇල්කේන ලෙස හඳුන්වන අතර, වාණිජ ලෝකයේදී බොහොමයක් බර ඉන්ධන සහ ඉටි වර්ග පැරෆින් පවුලට අයත් වේ. සරලවම කිවහොත්, පැරෆින් යනු හයිඩ්රජන් සහ කාබන් පරමාණුවලින් සැදුම්ලත් ශක්තිමත් දාමයන්ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව එහි ස්වභාවය වෙනස් වීමය. කාබන් පරමාණු ස්වල්පයක් ඇති විට එය දියර ඉන්ධනයක් (භූමිතෙල්) වන අතර, කාබන් පරමාණු විශාල සංඛ්‍යාවක් එකතු වූ විට එය අප ඉටිපන්දම් සෑදීමට ගන්නා පැරෆින් ඉටි බවට පත් වේ.
ඉන්ධන වර්ග වෙන් කෙරෙන ආකාරය බොරතෙල් යනු විවිධ ද්‍රව්‍ය රැසක මිශ්‍රණයකි. මෙය භාවිතයට සුදුසු තත්ත්වයට පත් කරන්නේ භාගික ස්වේදනය නම් ක්‍රියාවලියෙනි. විශාල කුලුනක් තුළ බොරතෙල් රත් කරන විට, එහි ඇති සංරචක ඒවායේ බර සහ තාපාංකය අනුව විවිධ මට්ටම්වලදී වෙන් වේ. පෙට්‍රල් ඉතා සැහැල්ලු බැවින් කුලුනේ ඉහළින්ම වෙන් වේ. මෙය ඉතා ඉක්මනින් වාෂ්ප වී ගිනි ගන්නා සුලුය. භූමිතෙල් පෙට්රල්වලට වඩා තරමක් බරින් වැඩිය. මෙය ගුවන් යානා ඉන්ධන ලෙසත්, ගෘහස්ථ ලිප් සහ ලාම්පු සඳහාත් යොදා ගනී. ඩීසල් භූමිතෙල් වලට වඩා බරින් වැඩි අතර, වැඩි පීඩනයක් යටතේ දහනය කර විශාල ශක්තියක් ලබා දීමට සමත් වේ.
මෙම ඉන්ධන වර්ග එකිනෙක වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම ඒවායේ ඇති අණුක ව්‍යුහය අනුවයි. උදාහරණයක් ලෙස, පෙට්‍රල් අණුවක කාබන් පරමාණු සියයට 5 සිට සියයට 12 දක්වා ඇති අතර, ඩීසල් අණුවක එය සියයට 12 සිට සියයට 20 දක්වා වැඩි වේ. මෙම වෙනස නිසා පෙට්‍රල් ඉක්මනින් ඇවිළෙන අතර, ඩීසල් සහ පැරෆින් දැල්වීමට වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වේ. නිෂ්පාදන ක්‍රියාවලිය මුලින්ම පොළොව යටින් ලබාගන්නා බොරතෙල් රසායනාගාර පරීක්ෂාවලින් පසු පිරිපහදුව වෙත යොමු කෙරේ. එහිදී සෙල්සියස් අංශක 400 ට පමණ රත් කර වාෂ්ප කෙරෙන බොරතෙල්, ස්වේදන කුලුන දිගේ ඉහළට ගමන් කරයි. එහිදී උෂ්ණත්වය අඩු වන විට, එක් එක් මට්ටම්වලදී පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් දියර බවට පත්වී වෙනම නළ පද්ධති හරහා එකතු කරගනු ලැබේ. අවසානයේ ඉතිරි වන ඝන කොටස්වලින් තාර සහ ඉටි වර්ග නිපදවනු ලබයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක යා කරන ඉතා පටු, නමුත් උපායමාර්ගිකව අතිශය වැදගත් මුහුදු මාර්ගයකි. එක් පසෙකින් ඉරානයත්, අනෙක් පසින් ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් පිහිටා ඇත. මෙහි පටුම ස්ථානය සැතපුම් 21 ක් පමණක් වන අතර, නෞකා ගමනාගමනය සඳහා භාවිත කළ හැකි මුහුදු මාවත ඉතා සීමිතය. භූගෝලීය වශයෙන් කුඩා වුවද, ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනය කරන රටවල් වන සෞදි අරාබිය, ඉරාකය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයට විවෘත වන්නේ මෙම ද්වාරය හරහාය. එබැවින් මෙය ලෝක ආර්ථිකයේ ශ්වාසනාලය ලෙස හැඳින්වේ.
ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම යනු පර්සියානු බොක්කේ සිට පිටතට යන තෙල් නැව්වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අවහිර කිරීමය. පවතින යුදමය තත්ත්වය හමුවේ, ඉරානය සිය භූගෝලීය වාසිය උපයෝගී කරගනිමින් මෙවැනි තර්ජන එල්ල කරයි. සමුද්‍ර සන්ධියේ උතුරු වෙරළ තීරය ඉරානයට අයත් බැවින්, මිසයිල පද්ධති, පුපුරන ද්‍රව්‍ය සහිත කුඩා යාත්‍රා භාවිත කරමින් මෙම පටු මාර්ගය අවහිර කිරීමට ඔවුන්ට හැකියාව ඇත. ඉරානය මේ වන විට සිදු කරන්නේ මෙයයි. මෙය ලෝක වෙළඳපොළට එල්ල කරන දැඩි බලපෑමක් වන අතර, මෙය බොහෝ විට බටහිර රටවලට එරෙහිව ඉරානය භාවිතා කරන දේශපාලන අවියක් ලෙස සැලකෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ලෝකයේ මුළු තෙල් පරිභෝජනයෙන් සියයට 20 ක් පමණ ප්‍රවාහනය කෙරේ. ඉරානය මෙම මාර්ගය අවහිර කර දැමීමෙන්, ලෝක වෙළඳපොළට තෙල් සැපයීම ක්ෂණිකව අඩාල වේ. සැපයුම සීමා වූ විට ඉල්ලුම ඉහළ යන අතර, එහි සෘජු ප්‍රතිඵලය බොරතෙල් බැරලයක මිල අහස උසට නැගීමය.
ඊට අමතරව, යුදමය අවදානම හේතුවෙන් නෞකා රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ සැපයුම් දාම බිඳ වැටීම නිසා ප්‍රවාහන පිරිවැයද ඉහළ යයි. සෑම රටකම ඉන්ධන මිල, විදුලි ගාස්තු සහ භාණ්ඩ මිල ඉහළ යාමට බලපාන ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් වෙයි.
ඉරාන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ යන තෙල් මිල ගණන්වල බලපෑම සමනය කිරීම සඳහා ආසියාවේ ඇතැම් රටවල් පියවර රැසක් ප්‍රකාශයට පත් ර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දකුණු කොරියා සහ තායිලන්ත බලධාරීන් නිවේදනය කර ඇත්තේ, ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සඳහා සීමාවන් පනවන බවය. දකුණු කොරියා රජය, තෙල් සමාගම්වලට අනතුරු අඟවා ඇත්තේ අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන ඕනෑම සමාගමකට එරෙහිව කටයුතු කරන බවය. සෙසු රටවල් බොහොමයක් ද බලශක්තිය ඉතිරි කර ගැනීමට නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කර තිබේ. බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණය කළ බව වාර්තා වේ. පිලිපීන රජය ද සීමා පැනවීම් කර තිබේ. වායු සමීකරණ යන්ත්‍ර සඳහා සෙල්සියස් අංශක 24 ප්‍රමිතියක් ද නියම කළ බව පැවැසෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම අඩාල වීම සහ මිල ගණන් ඉහළ යෑම හමුවේ, ඉන්ධන පිරිමසා ගැනීම සඳහා හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කරන ලෙස වියට්නාම රජය ද එරට ව්‍යාපාරික ආයතනවලින් සහ සේවකයන්ගෙන් ඉල්ලා ඇත.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වීමෙන් දැඩි බලපෑමකට ලක් වූ රටවල් අතරට වියට්නාමය ද ඇතුළත් වෙයි. මීට හේතුව වන්නේ වියට්නාමය සිය බලශක්ති අවශ්‍යතා සඳහා මැදපෙරදිග කලාපයෙන් සිදුකරන ආනයන මත දැඩි ලෙස යැපීමය. වියට්නාමයේ ප්‍රධාන ඉන්ධන වෙළඳ සමාගමක් වන පෙට්‍රොලිමෙක්ස් දත්තවලට අනුව, පසුගිය මස අග සිට මේ දක්වා ඉන්ධන මිල ගණන් පහත පරිදි ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි. පෙට්‍රල් සියයට 32 කින් ඩීසල් සියයට 56 කින් ද භූමිතෙල් සියයට 80 කින් ද මිල ඉහළ යෑම සහ සැපයුම් සීමා වීම හේතුවෙන්, හැනෝයි අගනුවර ඉන්ධන පිරවුම්හල් අසල මෝටර් රථ සහ යතුරුපැදිවල දිගු පෝලිම් දකින්න ලැබුණි.
ලෝක ඉතිහාසය දෙස බලන විට බොර තෙල් මිල ඉහළ යෑම හුදෙක් ආර්ථික කරුණක් පමණක් නොව, එය දේශපාලන බල අරගල සහ යුද ගැටුම් සමඟ තදින් බැඳී පවතී. බොර තෙල් මිල තීරණය වීමට සැපයුම සහ ඉල්ලුම මෙන්ම භූ-දේශපාලනික ස්ථාවරභාවය ද ප්‍රබල ලෙස බලපායි. 1973 බලශක්ති අර්බුදය මෙය හැඳින්වෙන්නේ පළමු තෙල් කම්පනය යනුවෙනි. ඉතිහාසයේ තෙල් මිල ප්‍රථම වරට දැවැන්ත ලෙස ඉහළ ගියේ 1973 වසරේදීය. අරාබි-ඊශ්‍රායල යුද්ධය පැවති සමයේ, ඊශ්‍රායලයට සහාය දුන් රටවලට තෙල් අපනයනය කිරීම අරාබි රටවල් විසින් (ඔපෙක් සංවිධානය හරහා) නවතා දමන ලදී. මෙහිදී බොර තෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 3 සිට ඇමෙරිකන් ඩොලර් 12 දක්වා සිවු ගුණයකින් ඉහළ ගියේය. මෙය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ පළමු අවස්ථාවයි.
1979 ඉරාන විප්ලවය හැඳින්වෙන්නේ දෙවන තෙල් කම්පනය යනුවෙනි. 1979 වසරේ ඉරාන ඉස්ලාමීය විප්ලවය හේතුවෙන් එරට තෙල් නිෂ්පාදනය අඩාල විය. පසුව 1980 දී ඉරාන-ඉරාක යුද්ධය ආරම්භ වීමත් සමඟ මැදපෙරදිග තෙල් සැපයුම තවදුරටත් අවහිර විය. එම අවස්ථාවේදී, බොර තෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 15 සිට ඇමෙරිකන් ඩොලර් 39 දක්වා ඉහළ ගියේය. 2000 දශකය මැද භාගයේදී චීනය සහ ඉන්දියාව වැනි රටවල ශීඝ්‍ර කාර්මික සංවර්ධනය නිසා තෙල් සඳහා වූ ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පැවතුණි. 2008 ජූලි මාසය වන විට තෙල් මිල ඉතිහාසයේ වාර්තාගත ඉහළම අගය සනිටුහන් කළේය.බොර තෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 147 දක්වා ඉහළ ගියේය. කොවිඩ් වසංගතය අතරතුර ලෝකයම වසා දැමීම නිසා තෙල් මිල ඉතා පහළ මට්ටමකට (සමහර අවස්ථාවල සෘණ අගයකට) පත් විය. 2021 දී ලෝකය නැවත විවෘත වීමත් සමඟ, තෙල් ඉල්ලුම වේගයෙන් ඉහළ ගිය අතර, සැපයුම ඒ හා සමානව ඉහළ නැංවීමට නිෂ්පාදකයන් අපොහොසත් විය. මෑත කාලීනව තෙල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූයේ 2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමයි. ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයකු වන රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක නිසා ලෝක වෙළඳපොළේ තෙල් හිඟයක් ඇති විය. බොර තෙල් බැරලයක මිල නැවතත් ඇමෙරිකන් ඩොලර් 120 සීමාව ඉක්මවා ගියේය.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් හමුවේ තම මිත්‍ර රටවල ආරක්ෂාව තහවුරු කිරීම සහ ජාත්‍යන්තර වෙළඳ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීමට ප්‍රංශය ඉදිරිපත් වී සිටී. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ සයිප්‍රස සංචාරය සමඟය. සයිප්‍රසය යනු මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර දෙසින් පිහිටි ඉතාමත් වැදගත් සහ සුන්දර දූපත් රාජ්‍යයකි. භූගෝලීය වශයෙන් මෙය තුර්කියට දකුණින් සහ ග්‍රීසියට ගිනිකොන දෙසින් පිහිටා ඇත. සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරක් පිහිටයි. යුද්ධය ආරම්භ වී, ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී, මෙම බ්‍රිතාන්‍ය නාවික කඳවුරට ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. තමන් සයිප්‍රස් බ්‍රිතාන්‍ය කඳවුරට පහර නොදුන් බව ඉරානය පැවැසුවත් පහර දීමක් සිදුවිය. ඒ අනුව, සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය නාවික කඳවුරේ ආරක්ෂාවට බ්‍රිතාන්‍යයට සහාය වීමට ප්‍රංශය මැදිහත් විය. ඒ අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සයිප්‍රසය බලා ගියේය. සයිප්‍රසයට ප්‍රහාරයක් එල්ල වීම යුරෝපයට ප්‍රහාරයක් එල්ල වීම වැනි යැයි මැක්රොන් සයිප්‍රස ජනාධිපති නිකොස් ක්රිස්ටෝඩූලයිඩීස් හමුවෙමින් පැවැසීය. ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් ද මෙම අවස්ථාවට එක් වී සිටියේය. ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යැවීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කළේය. එම නාවික බලඇණියට ප්‍රංශයේ ප්රබලතම යුද නෞකාව වන චාල්ස් ඩි ගෝල් ද අයත් වෙයි. ඊට අමතරව තවත් යුද නැව් 12 ක් ද මේ බළඇණියට අයත් බව ද පැවැසෙයි.
බීබීසී ඇසුරිනි

