තුන් යම් රාත්‍රිය මුළුල්ලේ බුදුගුණ දෙසන පුජ්‍ය බලංගොඩ රාධ ස්වාමින්වහන්සේ



චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ්වෙ අගමිත් දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො.”


“බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකාවෙහි හැසිරෙව. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්ණ පිරිසිදු මඟ බඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්වයෝ ඇත. ධර්මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්මය අවබෝධ කරන්නෝ වන්නාහ.” - දුතියපාස සූත්‍රය

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අනුව යමින් , සිංහ විලාසයෙන්  ඒකාසනව තුන් යම් රාත්‍රියක් මුළුල්ලේ  බුදුගුණ දේශනාවන් සිදුකරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් පුජ්‍ය බලංගොඩ රාධ ස්වාමින්වහන්සේ හැඳින්විය හැක. ස්වාමීන් වහන්සේගේ දේශනා වල විශිෂ්ඨත්වය නම් , එක් වරෙක නිර්වාණය චතුරාර්ය සත්‍යය ලෙසත් , තවත් වරෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසත් , තවත් වරෙක පට්ඨානය හෙවත් හේතු ප්‍රත්‍ය ලෙසත් සූත්‍ර සහ අභිධර්මය යන දෙකම ගෙනහැර දක්වමින් ද;  ඒ ඒ ප්‍රඥාවෙන් යුත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසට ඒ ඒ ආකාරයෙන් අවබෝධ වීම පිණිස එකම ධර්ම වාක්‍යයක් හෝ නැවත නැවතත් නොපවසා මනා වූ සිහියෙන් යුතුව , හුදී ජනයාගේ මනස තුළ ශ්‍රද්ධා සීල සමාධි ප්‍රඥා පිළිවෙලින් අවධි කරවමින් දේශනාවේ මුල මැද අග පැහැදිලි අර්ථ සහිතව, සුත්‍ර සහ අටුවාවවන් ගෙන හැර දක්වමින් ද සද්ධර්ම දේශනාව පැවැත්වීමයි.

ථෙරවාදී බුදු දහමේ හරය ශ්‍රාවක චිත්ත සන්තානයන්හි නිධන්ගත කරමින් ද , දේශනාරම්භයේ සිටම ශ්‍රාවකයා තුළ ඡන්දය, චිත්තය, වීරිය හා විමංසාව යන සතර ඉර්ධිපාදයන්  නොනැසී පැවතීමට ද කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනා ශෛලීය මනා කොට පවතින්නේය.

එලෙස අපරිමිත මිනිස් සමූහයාගේ චිත්ත සන්තාන සැනසූ පුජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ   කැලණි සරසවිය තුළ සිදුකළ  ආචාර්ය උපාධියේ අධ්‍යයනය වනුයේද අරියවංශ සූත්‍රයයි,  නිර්වානගාමී පටිපදාව අනුගමනය කරමින් සාසනයේ පැවැත්මට ඇති කාර්‍යන් හෙවත් ආර්‍යවංශයේ පටිපදාව මෙම සූත්‍රයෙන් පැහැදිලි කරයි.  

අරියවංශ ප්රතිපදාව..

ඉතරීතර චීවර සන්තුට්ඨි ආර්ය වංශය

 ලැබූ චීවරයකින් සතුටු වීම,  සෑම ඇඳුමකටම චීවරයක් යැයි නොකියමු, එය විශේෂ පණිවිඩයක්ද බාහිරට ප්‍රකට කරනා සලකුණක් ද වෙයි.  කෙලෙස් සහමුලින් උපුටා දමා නිර්වාණ ක්ෂේම භූමිය කරා වීර්ය වඩන්නෙකු පිළිබඳ සංකේතාත්මක ව්‍යවහාරයක්ද ඒ තුළ අන්තර්ගත ය.

ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨි ආර්ය වංශය

ලැබූ පිණ්ඩපාත ආහාරයෙන් සතුටු වීමයි. පංච කාම ගුණයන්ටම ක්ෂේත්‍රයක් වන ආහාර පිඬක් එක මොහොතක ඇස කන නාසය දිව ශරීරය මනස යන ෂඩ් ඉන්ද්‍රියන්ම ග්‍රහණයට, දාසත්වයට  නතු කරගන්නා  ආකාරය විසින්ම ජනකය. නමුත් බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ පිහිටා ගත් යෝගාවචරයා විසින් විනිවිද යන සුළු තම තියුණු   ප්‍රඥාව නිසා එයම සංසාර විමුක්තියට උපකාර කර ගනී. එනිසා පිණ්ඩපාත මහා ආර්යවංශය එබඳු නිර්වාණගාමී ද්වාරයකි.

ඉතරීතර සේනාසන සන්තුට්ඨී ආර්ය වංශය

 ලැබූ සේනාසනයෙන් සතුටු වීම; ආර්යවංශ විග්‍රහයන්ට අනුව සේනාසන ක්ෂේත්‍ර, පිතක්කාදී සන්තෝෂ පසළොස්ව ද ඒ අතර ඇත. ගෙවීමට ලැබෙන කෙටි ආයුෂ කාලය තුළ බාහිර භෞතිකයට යටවී හිස ඔසවා ගනු බැරිව එහිම ගිලී සිටීම මහා අඥානකමකි. ඒ සදහා මග පෙන්වීම සේනාසන මහා ආර්ය වංශයෙන් ලැබේ.

භාවනාරාමතා ආර්යවංශය

 දුක්ඛ නිරෝධය පිණිස ප්‍රතිපදා පූර්ණයයි;  ජීවිතාවබෝධයෙන් දුකින් මිදෙනු කැමති ගීහි පැවිදි කා හටත් මෙම සිව්වන ආර්යවංශය එක ලෙසම හේතුවේ. සප්ත විසුද්ධිය කෙළවර කොට නිර්වාණාධිගමනය පිණිස සත්තිස් බෝධි පාක්ෂික ධර්මයෙන්ම  මුදුන් පැමිණෙන්නේ මෙහිදීය. ඒ සඳහා යම් සමථ කමටහනක් මුල් කරගනිමින් චිත්ත ඒකාග්‍රතාව උපදවා ගනිමින් ඒ තුළ නීවරණයෙන් මුදවා ගත් තියුණු සිත ක්‍රමයෙන් නාම රූප ධර්ම විෂය විනිවිද යන අයුරින් ගැඹුරු අවබෝධයක් කරා මෙහෙය විය යුතු භික්ෂුවගේ සැබෑ ක්ෂේම ස්ථානය ද මෙතැනය. භාවනාරාමතා මහා ආර්යවංශ ප්‍රතිපදාවයි.

අප පින්වත් පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් ස්වකීය සසර පාරමිතා බලය පසක් කරමින්  ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සසර සුවපත් භාවය පිණිස මෙවර උදුවප් මස තිස් වන දින තුන්යම් රාත්‍රියක් පුරාවට , භාග්‍යවතුන් වහන්සේලා සතර නමක් නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑ රාජයාණන් වහන්සේ අභියසදී දුර්ලභ වූ ශ්‍රී සද්ධර්ම දේශනාවක් ලෙසින් මහා අරියවංශ දේශනාව සිදුකරනු ඇත.

කාලානුරූපීව ධර්මය තුළ බැසගත් අධාර්මික පවිටු මිථ්‍යාවන් බිඳ හෙලමින් සැබෑ බෞද්ධ දේශනාව දෙව්බඹුන්ගේ ද මනුෂයන්ගේද දෙසවන් පුරා පවසා වදාරන්නට ඒ මහා යතිවරයාණන් වහන්සේට මෙලෙසින් පාදාභිවන්දනීය ඇරයුම් සිදු  කරන්නෙමු. 


 


RECOMMEND POSTS