ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තීරු බදු

දේශපාලන මතවාද, ආර්ථික අවශ්‍යතා, විදෙස් ප්‍රතිපත්ති සහ හමුදා ශක්තිය පදනම් කර ගනිමින් ලෝකය ප්‍රධාන බල කඳවුරු දෙකකට වෙන් වී සිටී. බටහිර බලකඳවුරට අයත් වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය වැනි යුරෝපා රටවල් සහ කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජපානයයි. නැගෙනහිර බල කඳවුරට අයත් වන්නේ චීනය, රුසියාව සහ මධ්‍යම ආසියානු රටවල්ය. අප අසල්වැසි ඉන්දියාව, මෙම කඳවුරු දෙකට අයත් නොවුණත්, කඳවුරු දෙකටම සහාය දක්වයි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්රේනයේ සහායට යද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ ඉන්දීය රජයේ ස්ථාවරය තරමක් සංකීර්ණ එකකි. ඉන්දියාව, යුදමය වශයෙන් යුක්රේනයට හෝ රුසියාවට හෝ සහාය දෙන්නේ නැත. එසේ වුවත්, ඉන්දියාව රුසියාවට පක්ෂවත්, යුක්රේනයට පක්ෂවත් සිටී. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසකි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය වසරේ, රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් හමුවී ඔහු වැලඳගෙන, ඉන්පසු යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අතට අත දුන්නේය. ඒ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මැදිහත් වන බව ද පවසමිනි. රුසියන් යුක්රේන යුද්ධයේ දී නිල වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දිගින් දිගටම ඉන්දියාවේ ස්ථාවරය යැයි පවසමින් මෝදි පෙන්වා දුන්නේ, යුද්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොමැකි බවත් සාකච්ඡා කරමින් සාමයට යා යුතු බවත්ය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, යුක්රේනයට ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට උත්සාහ ගත් බැවිනි.‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. එබැවින්, තම අසල්වැසියා වන යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියන් ජනපති පුටින්ගේ අදහසය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩිමොක්රටික් පාක්ෂික, ජෝ බයිඩන්ය. යුක්රේන ආක්‍රමණය මුල්කොට ගනිමින් බයිඩන් පරිපාලනය රුසියාවට දැඩි ලෙස සම්බාධක පැනවීය. රුසියාවට ඔවුන්ගේ තෙල් සහ වායු විකුණා ගැනීමට බාධා වන ආකාරයට, රුසියන් ආර්ථිකය කඩා වැටීමට සලස්වන ආකාරයට සම්බාධක පැනැවීය.
රුසියාවට කලාපීය වශයෙන් සිටින හොඳ මිතුරන් දෙදෙනකි. ඒ, චීනය සහ ඉන්දියාවය. ඒ අනුව, ඇමෙරිකාව සහ බටහිර රටවල සම්බාධක හමුවේ,රුසියාව, එරට තෙල් විකුණා ගැනීමට ඉන්දියාවේත් චීනයේත් සහාය ලබා ගත්තේය. සම්බාධක පැනවීමෙන් ඇමෙරිකාව බලාපාරොත්තු වූ ආකාරයට රුසියාව ‘වැටුණේ’ නැත. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූ පසු ඇමෙරිකාව පමණක් නොව, සෙසු බටහිර රටවල් පමණක් නොව, බටහිර බල කඳවුරට අයත් ජපානය පවා රුසියාවට සම්බාධක පනවද්දී, ඉන්දියාව දිගින් දිගටම රුසියාවෙන් අඩු මිලට තෙල් සහ ගෑස් මිලදී ගැනීම කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව රුසියාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙක් බවට පත් විය.
මේ අයුරින් ගනුදෙනු කරමින්, රුසියාවට අරමුදල් සපයන බවට බටහිර රටවල් චෝදනා කරන්න වුවත්, ඉන්දියාව දිගින් දිගටම කියා සිටියේ තමන්ගේ ජාතික අවශ්‍යතා සහ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා රුසියාව සමග ගනුදෙනු අවශ්‍ය බවය. ඉන්දිය හමුදාව සතු බොහෝ අවි ආයුධ රුසියාවෙන් මිලදී ගත් ඒවාය. එබැවින්, යුද්ධය නිසා රුසියාව සමඟ ඇති සම්බන්ධතා බිඳ වැටුණොත් ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට එය විශාල බලපෑමක් ඇති කරයි. රුසියාව සමඟ තිබෙන ආරක්ෂක සබඳතා ආරක්ෂා කර ගැනීම ඉන්දියාවට ඉතා වැදගත් බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී, බලයේ සිටි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ‘කමක් නැහැ’ කියමින්, ඉන්දියාවට නිදහසේ ඔවුන්ගේ ගනුදෙනු කරගෙන යෑමට ඉඩ දුන්නේය. ඒ, චීනයෙන් එල්ල වන අභියෝග හමුවේ ඉන්දියාවේ සහාය ඇමෙරිකාවට අවශ්‍ය බැවිනි.
කලාපීය වශයෙන්, චීනයෙන් අභියෝග එල්ල වෙද්දී, ඒ ගැන බලන්නැයි ඇමෙරිකාව පවසන්නේ ඉන්දියාවටය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකාව අතරේත්, මෝදි සහ යුරෝපා බටහිර රටවල් අතරේත් ශක්තිමත් සබඳතාවලට එක් හේතුවක් වන්නේ මෙයයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බොහොමකට චීනය රුස්සන්නේ නැත. චීනයේ නැගී සිටීම ඔවුන්ට තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ ද නැත.
ඉන්දියාවත් චීනයත් අතරේ දේශසීමා අර්බුදයක් පවතී. දෙරට දේශසීමා හමුදා අතරේ ගැටුම් පවතී. ඉන්දියාවත් චීනයත් අතරේ මිතුදම් පළුදු වී පැවැතීම, ඇමෙරිකාවට වාසියකි. ඒ, චීනයේ අභියෝගවලට මුහුණ දීමට ඉන්දියාව සිටින බැවිනි. බයිඩන් පරිපාලනය, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිහඬව සිටියේ එබැවැනි.
දැන් ඇමෙරිකාවේ බලයේ සිටිනේ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ට්‍රම්ප් අතරේ පවතින්නේ ඉතාමත් සමීප මිත්‍රත්වයකි. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ දී ඒ බව තහවුරු විය. දෙවැනිවර ට්‍රම්ප් බලයට පත් වූ අවස්ථාවේ, මුලින්ම ඔහුට සුබ පැතූ ලෝක නායකයකු වන්නේ අග්‍රාමාත්‍ය මෝදිය. දැන් තත්වය වෙනස් වී ඇත. ඒ මිතුරුකම්, ඒ හොඳහිත දෙදරා යෑමට පටන්ගෙන ඇත. මිතුරා සතුරා වී ඇත.
ට්‍රම්ප්, පසුගිය ජනවාරියේ දිවුරුම් දෙමින්, දෙවැනි වර බලයට ආවේ පැය 24 කින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරනවා යැයි පවසමිනි. මාස 6 කට වැඩි කාලයක් ගතවී ඇති නමුත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට හැකි වී නැත. එසේ වුවත්, රටවල් බොහොමයක් තරහා කරගැනීමට ට්‍රම්ප් සමත් වී සිටී. ඒ, අනෝන්‍ය තීරුබදු මුල්කොට ගනිමිනි. තීරුබදුවලින් ලෝකය බිය කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ ගනී. ට්‍රම්ප්ගේ තමන්ට හිතෙන හිතෙන ආකාරයට තීරු බදු පනවන බවක් පෙනෙයි.
පසුගිය දා, දේශසීමා අර්බුදය උත්සන්න වී, තායිලන්තය සහ කාම්බෝජය කෙහෙවලු පටලවා ගත් විට, වහා ගැටුම් නවත්වන්නේ නැතිනම් වෙළෙඳ ගිවිසුමකට යෑමටත්, තීරුබදු සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමටත් නොහැකි වනු ඇතැයි ට්‍රම්ප් තර්ජනය කළේය. ඒ අනුව, තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ විය.
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නවා යැයි කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නී කළ ප්‍රකාශය අසන්න ලැබුණු සැණින්, ට්‍රම්ප්, කැනඩාවට පනවා තිබූ තීරුබදු තවත් ඉහළ දැමීය. ට්‍රම්ප් බ්‍රසීලයට ද සියයට 50 ක තීරු බදු පැනවීය. ඒ, වත්මන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාගේ රජය, එරට හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට එරෙහිව නඩු පවරා ඇති බැවිනි. බොල්සරානෝ යනු දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි. යුක්රේන යුද්ධය වහා අවසන් නොකරන්නේ නම් දැනට පනවා ඇති සම්බාධකවලට අමතරව, රුසියාවට සියයට 100 ක තීරු බදු පනවන බවට ද ට්‍රම්ප් තර්ජනය කර ඇත.
කොතරම් සමීප මිතුරකු වුවත්, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින්, ට්‍රම්ප් ඉන්දියාවට අමතර සියයට 25 ක තීරු බදු පැනවීමේ විධායක නියෝගයට අත්සන් කළේ ය. ඒ අනුව ට්‍රම්ප්, ඉන්දියාවට මේ වනවිට සියයට 50 ක තීරුබදු පැනවීමක් සිදු කර අවසන්ය. රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පැනවූ මෙම අමතර බද්ද අසාධාරණය යැයි ඉන්දියාව පෙන්වා දී ඇත්තේ නිල වශයෙන් ඒ ගැන විරෝධය පළ කරමිනි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවට අමතර තීරුබදු පනවද්දී, ඉන්දියාව සහ රුසියාව සමග, නවීකරණ සහ කාර්මික සහයෝගීතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය. මෙය ට්‍රම්ප්ට එල්ල වූ අතුල් පහරක් විය. මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (7) තවත් අතුල් පහරක් එල්ල කළේය. ඒ, මේ මස අවසානයේ චීනයේ නිල සංචාරයකට එක්වෙනවා යැයි පවසමිනි. අග්‍රාමාත්‍ය මෝදි, චීනය බලා යනු ඇත්තේ, ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. මෝදි, චීනයට යනු ඇත්තේ වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි.
ඉදිරියෙදී කුමක් වේවිදැයි අවිනිශ්චිතය. රුසියන් යුක්රේන යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට මැදිහත් වීමට ට්‍රම්ප්ට හැකිවුවවොත් එය අප කාටත් සැනසිල්ලකි. එසේ නොවී, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ බරපතල ලෙස විරසකයක් නිර්මාණය වුවහොත්, එය අප ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ල කරනු නිසැකය.
බීබීසී ඇසුරිනි

