චීන රොබෝලා නටලා ගිනස් වාර්තාවක් තියලා
රොබෝලා මෙසේ එක් රොක් වී නැටුවේ චීනයේ ෂැංඩොන් පළාතේ සින්ඩෝ නුවර සැණකෙළියක් අතරතුරේය. නැටුමට එක් වූවෝ සෙ.මී. 43.8 ක් උසැති සුදු සහ රතු වර්ණ ගැන්වූ මානවරූපී (හැඩරුව මිනිසකු වගේ) රොබෝවරුය. මොවුන් සියල්ල දුරස්ථ පාලනයෙන් එක වර ක්‍රියාත්මක කෙරුණි. ඒ, එක් ජංගම දුරකතනයකින් ලබා දුන් සංඥා ඔස්සේය.
ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට නම්, බෙරාබෝවරුන් මිනිත්තුවකට වැඩි කාලයක් නර්තනයේ යෙදීමට සිදුවිය. නර්තනයට රොබෝලා 1,040 ක් එක් ව සිටි නමුත් මිනිත්තුව අවසන් වෙද්දී ගිනස් වාර්තාවට සුදුසුකම් ලැබුවේ 1,007 ක් පමණි. ඉතිරි රොබෝලා නර්තනය කරමින් සිටිද්දී, අතර මඟදී ඇද වැටුණු හෝ සංඥා අඩුපාඩු නිසා නර්තනයේ නොයෙදුණු අය යැයි රොබෝලා අධීක්ෂණයට පැමිණ සිටි ගිනස් කමිටුවේ නිලධාරිනිය පැවැසීය. රෝබෝවරුන් 1,007 දෙනා හරි අපූරුවට ලැබුණු සංඥාවලට අනුව, නර්තනයේ යෙදීම නරඹන්නන් මවිත කිරීමට පවා සමත් විය.
මීට පෙර, එකම වෙලාවක, එකම විදියකට වැඩිම රොබෝවරුන් පිරිසක් නර්තනයකට එක් වී ඇත්තේ ද මෙම වසරේ පෙබරවාරියේය. එම නර්තනය ඉදිරිපත් කරනු ලැබුවේ උබ්ටෙක් රොබෝ තාක්ෂණ සගාමය විසිනි. එම වාර්තාවට රොබෝවරුන් 540 දෙනකු යොදා ගෙන තිබුණි. මෙම නව ගිනස් වාර්තාව පිහිටුවූයේ ‘එවර් වින්’ නමැති රොබෝ තාක්ෂණ සමාගමය.
රොබෝවරුන් නර්තනයට යොදා ගැනීම පහසු කාර්යයක් නොවූ බවත්, ඔවුන්ට උපදෙස් ලබා දීම සිදු වූයේ ගුවන් විදුලි තරංග මගින් බවත්, එය සිදුවූයේ ජංගම දුරකතන සහ බ්ලූටූත් ආධාරයෙන් බවත් ‘එවර් වින්’ තාක්ෂණ සමාගමේ ප්‍රධානී කුවාන් ජින් යූ පවසා ඇත.
ගිනස් ලෝක වාර්තා අතරට රොබෝවරුන් එක් වුණු පළමු අවස්ථාව මෙය නොවේ. මානවරූපී කුඩාම රොබෝ ලෙස වාර්තා අතරට එක් වී ඇත්තේ මිලි මීටර් 153 ක් උසැති ‘බී රා්බෝට්’ නමැති රොබෝ පොඞ්ඩයි. මේ රොබෝට ඇවිදින්න, පයින් පහරවල් එල්ල කරන්න සහ බිම දිගා වී ‘පුෂ් අප්ස්’ ව්‍යායාම කිරීමටත් හැකිය.
හොංකොංහි ‘රොබොට් කිචන්’ නමැති අවන්ලේ රොබෝ සේවකයන් දෙදෙනකු සිටින අතර, කෑම ඇණවුම් බාර ගැනීම, කෑම මේසයට ගෙනත් දීම ආදිය මෙම රොබෝ සේවකයන්ට කළ හැකිය. රොබෝ සේවකයන් සිටින ලොව පළමු අවන්හල ලෙස මෙම අවන්හල ගිනස් වාර්තා අතරට එක් වී ඇත.
ඉතා අසීරු රූබික් කියුබය නියමිත වර්ණවලින් නිවැරදි ලෙස සකස් කිරීමට ද රොබෝවෙක් සමත් වී සිටී. ඒ පසුගිය ජනවාරියේ දී තත්පර 0.887 ක කාලයකදීය. මෙය ද ගිනස් ලෝක වාර්තාවක් විය. මෙම වාර්තාව පිහිටුවූ රොබෝ ‘සබ් 1’ නමින් නම් කර ඇත.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි