ගොඩබිම් සටනට සැරැසෙයි



ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය දෙවැනි මාසයට අවතීර්ණ වෙද්දී, එය අලුත් මුහුණුවරක් ගනිමින් ඇත. ගොඩබිම් සටන් සඳහා ඇමෙරිකන් භටයන් ඉරානයට යැවීමට තමන් සූදානම් බවත්, ඉරානය තුළ සති කිහිපයක සීමිත ගොඩබිම් මෙහෙයුම් මාලාවක් සඳහා තමන් සූදානම් බව පෙන්ටගනය පවසා ඇත. පෙන්ටගනය යනු ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවය. ගොඩබිම් ප්‍රහාර ආරම්භ වුවහොත්, යුද්ධය අද අවසන් වෙයි; හෙට අවසන් වෙයි යැයි බලාපෙරොත්තු සැණින් සුන්වනු නිසැකය. යුද්ධය අනිවාර්යයෙන්ම අවුරුදු ගණනාවක් ඇදෙනු ඇත. මහා විනාශයක් සිදුවනු ඇත. අපගේ ජීවිත උඩයටිකුරු වී, අපට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ඇමෙරිකාව සමග මුහුණට මුහුණ සටන් කිරීමට ඉරානය සූදානම් විය. දැන් ඒ සඳහා අවස්ථාව උදා වෙමින් පවතී. ඇමෙරිකන් ගොඩබිම් හමුදා පැමිණෙනතුරු තමන් බලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇමෙරිකන් රූපවාහිනී නාළිකාවක් සමගය. ලෝකයේ හමුදා දෙකක් ඇති එකම රට ඉරානයයි. ඉරාන විප්ලවීය හමුදාව යනු සාමන්‍ය හමුදාවට වඩා වැඩි බලයක් ඇති, ඉරාන ඉස්ලාමීය පාලනය පවත්වාගෙන යෑමටත් එය දිනි හිමියෙන් ආරක්ෂා කිරීමටත් සූදානම් බලඇණියකි. ඉරානය පවසන්නේ, මේවනවිට මිලියනයක් (ස්වේච්ඡාවෙන් එක්වුණු තරුණයන් ද සමඟ) ඇමෙරිකා සෙබළුන් සමඟ යුද වැදීමට සූදානමින් සිටින බවය.

ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, පෙන්ටගනය ඉරානය තුළට ඇමෙරිකන් සෙබළුන් නොයවනු ඇත. පිහිටීම අනුව, ඉරානය ස්වාභාවික බලකොටුවක් වැනිය. කඳුවලින්, කාන්තාරවලින් එය වටවී ඇත. ඒ නිසා ඇමෙරිකාවට හමුදා ගොඩබැස්සවීම කළ හැක්කේ ගුවනින්ය. එය අනතුරුදායකය.  එසේ වුවත්, ඇමෙරිකාවට ඔවුන්ගේ හමුදා ශක්තියේ තරම ඉරානයටත් ලොවටත් පෙන්වීම කළ යුතුය.

නැතිනම් එය මදිකමකි. එහෙයින්, පෙන්ටගනය, ඉදිරි දින කීපයේ දී හෝ සති කීපයේ දී කාර්ග් දූපතට ඇමෙරිකන් හමුදා යවා එය ආක්‍රමණය කිරීමට උත්සාහ ගනු ඇතැයි යුද විශ්ලේෂකයන්ගේ අනුමානයයි.  පර්සියානු ගල්ෆ් කලාපයේ, ඉරාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි කාර්ග් දූපත, ගෝලීය බලශක්ති වෙළඳපොළේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන භූමියකි. භූගෝලීය වශයෙන් කුඩා දූපතක් වුවද, ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය පිහිටා තිබෙන්නේ මෙහි ය. එබැවින්, ඉරානයේ ආර්ථික ස්ථාවරත්වය සහ ලෝක බලශක්ති සැපයුම් දාමය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම දූපතේ පවතින උපායමාර්ගික වැදගත්කම සුළුපටු නොවේ.

කාර්ග් දූපතට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධිය අවට ඉරානයේ වෙරළබඩ කලාප ඉලක්ක කර ගනිමින් අැමෙරිකන් හමුදාව ප්‍රහාර එල්ල කරනු ඇත. එය පූර්ණ ආක්‍රමණයක් නොවන අතර, විශේෂ බලකා සහ පාබල හමුදා යොදවා සිදු කරන වැටලීම් මාලාවක් වනු ඇතැයි අනුමාන කෙරේ. කාර්ග් දූපත අල්ලා ගැනීමට ඉරානය ඇමෙරිකන් හමුදාවට කිසිම විටෙක ඉඩ සලසා දෙන්නේ නැත. ඇමෙරිකන් සෙබළුන්ට ඉරාන මිසයිලවලට, ඩ්‍රෝන ප්‍රහාරවලට සහ බිම් බෝම්බවලට මුහුණ දීමට සිදුවෙයි. මේ සියල්ල සිදුවන්නේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අනුමැතිය දුන්නොත් පමණි. ජනපති ට්‍රම්ප්ට අනුව, මේ සියල්ල විහිළුවකි. එහු විටෙක කියන දේ පැය කීපයකින් වෙනස් වෙයි. කියන්නේ හෝ කරන්නේ කුමක්දැයි ට්‍රම්ප් පවා දන්නේ නැත.

ඇමෙරිකාවේ ගොඩබිම් ප්‍රහාර සූදානම සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ප්‍රකාශ කළේ, සේනාධිනායකයාට (ට්‍රම්ප්ට) සියලු යුද විකල්ප පෙන්වා දීම පෙන්ටගනයේ වගකීමක් බවත්, එම විකල්ප අනුව කටයුතු කිරීම සේනාධිනායකයාගේ (ට්‍රම්ප්ගේ) තීරණයක් වනු ඇති බවත්ය.

මේවනවිට අමෙරිකානු මැරීන් බලඇණි මධ්‍යධරණී කලාපයට යවා ඇති අතර, සෙබළුන් දහස් ගණනකගෙන් සමන්විත 82 වැනි ගුවන් සේනාංකය ද සිටින්නේ මැදපෙරදිග කලාපයේ රහස් ස්ථානයකය. ඇමෙරිකා මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) සඳහන් කළේ, සෙබළුන් 3,500ක් රැගත්  යූඑස්එස් ට්‍රිපොලි USS Tripoli යුද නෞකාව මාර්තු 27 වනදා මැදපෙරදිග කලාපයට ළඟා වූ බවය.

යුද වාතාවරණය හමුවේ ඉරානය සමඟ කිලෝමීටර් 900ක දේශ සීමාවක් බෙදා ගන්නා පාකිස්තානය දෙපාර්ශවය අතර සාමය ඇති කිරීම සඳහා මැදිහත් වෙමින් සිටී. සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. අර්බුදයට පාකිස්තානය මැදිහත් විය යුතු යැයි යෝජනා කර ඇත්තේ ද ට්‍රම්ප්ය. ඉස්ලාමාබාද් අගනුවර සාකච්ඡා පැවැත්වෙද්දීථ පාකිස්තාන ධජය සහිත නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා අවසර ලබාදීමට, ඉරානය එකඟ වූ බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා පැවැසීය. මෙම එකඟතාවය යටතේ පාකිස්තාන නැව් දෙක බැගින් දිනපතා මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කරනු ඇති බව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පැවැසුවේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි. මෙම පියවර උණුසුම් තත්ත්වයන් සමනය කිරීම සඳහා තැබූ අර්ථවත් පියවරක් බවත්, සාමය සඳහා වන උත්සාහයන් ශක්තිමත් කිරීමට එය හේතු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට (GCC) අයත් රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කලාපය පුරා දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේටය සහ බහරේනය යන රටවල් ඇමෙරිකන් හිතවාදී වීම සස එම රටව ඇමෙරිකන් කඳවුරු පිහිටීම, ඉරානයේ ඉලක්ක වී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් ආරක්ෂක පද්ධති වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින අතර, එරටට එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා සාර්ථකව ගුවනේදී විනාශ කරයි. පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ කුවේටය සහ බහරේනය පුරා ද හදිසි අනතුරු ඇගවීමේ සයිනර් නලා නාද වෙයි. ආරක්ෂක පියවරක් ලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් එම රටවල ජනතාව අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇත. කලාපීය වශයෙන් පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයේ සියලුම රටවල් මේ වන විට සිය උපරිම ආරක්ෂක සූදානමක පසුවන බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

මේ අතර, ඇමෙරිකා, ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා ලබන පළමු වැනිදා සිට පෙට්‍රල් අපනයන තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත. පිරිපහදු ඉන්ධනවල ස්ථිර සැපයුමක් සහතික කිරීම සඳහා රුසියාව මෙම තීරණය ගෙන ඇති බවත් බොරතෙල් සැකසුම් පරිමාව පසුගිය වසරේ මට්ටමේ පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉහළ යන ඉන්ධන මිල පාලනය කර ගැනීමට සහ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට රුසියාව නැවත නැවතත් පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සඳහා සීමා පනවා ඇත. රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළේ සහ තෙල් නිෂ්පාදන වෙළෙඳපොළේ ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් බොරතෙල්, පිරිපහදු ඉන්ධනවල මිල නිරන්තරයෙන් ඉහළ, පහළ යාමට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් පෙට්‍රල් අපනයනය තහනම් කිරීම සඳහා යෝජනාවක් සකස් කිරීමට බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දුන් බවද ඔහු පැවැසුවේය. ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බලශක්ති නිෂ්පාදන සඳහා ගෝලීයව ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඇමෙරිකානු හමුදාව අංශ කොටස් කීපයකි. ඒ, යුද හමුදාව (U.S. Army), නාවික හමුදාව (U.S. Navy), ගුවන් හමුදාව (U.S. Air Force), මැරීන් බලකාය (U.S. Marine Corps), වෙරළාරක්ෂක බලකාය (U.S. Coast Guard) සහ අභ්‍යවකාශ බලකාය (U.S. Space Force) ආදී වශයෙනි. අභ්‍යවකාශ බලකාය (U.S. Space Force) 2019 වසරේ දී පිහිටුවන ලද්දක් වන අතර, ඇමෙරිකා ඉරාන ගැටුමට එහි කිසිදු සම්බන්ධවීමක් නැත. මැරීන් බලකාය (U.S. Marine Corps) යනු යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන අංශ තුනේම එකතුවකි. මැරීන් බලකාය ඕනෑම දේකට ඔට්ටුය. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින මැරීන්, 2024 දෙසැම්බර් මස වන විට ආසන්න වශයෙන් 169,000ක ක්‍රියාකාරී සෙබළුන්ගෙන් සහ 33,000ක අතිරේක සෙබළුන්ගෙන් සමන්විත බව පැවැසිණි. නිරන්තරයෙන්ම සූදානම්ව සිටින, නම්‍යශීලී සහ ගෝලීය වශයෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සමත් බලකායක් ලෙස ඔවුන් ඇමෙරිනේ හමුදා ඉතිහාසයේ අදටත් නොමැකෙන සලකුණක් තබා අවසන්ය. ඉරානය සමග සටන මැරීන් සෙබළුන්ගේ දක්ෂතාව, උපායශීලීත්වය උරගා බැලීමක් වනු නිසැකය.

ඇමෙරිකාවේ සහ ඉරානයේ හමුදා ශක්තිය සන්සන්දය කළහොත් එය අහසට පොළොව වැනිය. ලොව වැඩිම ආරක්ෂක වියදම් දරන රට ඇමෙරිකාවය. වාර්ෂිකව ඩොලර් බිලියන 800කට අධික මුදලක් ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කෙරේ. ආර්ථික සම්බාධක මධ්‍යයේ ඉරානයේ ආරක්ෂක වියදම ඩොලර් බිලියන 10-20ත් අතර අගයක් ගනී. ඔවුන් වැඩිපුරම ආයෝජනය කරන්නේ දේශීය තාක්ෂණයෙන් නිපදවන මිසයිල සහ ඩ්‍රෝන යානා සඳහාය. ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීම කර ඇත්තේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. අද යුදමය තත්ත්වයක් දක්වා ඇමෙරිකා ඉරාන ගැටුම ඔඩුදුවීමට එක් හේතුවක් වන්නේ ද මෙම න්‍යෂ්ටික වැඩසටහනය. ලොව දියුණුම ගුවන් හමුදාව ඇත්තේ ඇමෙරිකාවටය. F-35 සහ F-22 වැනි පස්වන පරම්පරාවේ රහසිගත (Stealth) ප්‍රහාරක යානා දහස් ගණනක් ඇමෙරිකන් හමුදාව සතුයි. ඉරාන ගුවන් හමුදාව සතු යානා බොහොමයක් 1970 දශකයට අයත් පැරණි ඒවාය. (උදා: F-14 Tomcat, F-4). කෙසේ වෙතත්, ඔවුන් එම අඩුව මකා ගැනීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රහාරක ඩ්‍රෝන (Drones) බලකායක් නිර්මාණය කර තිබේ. මීට දින කීපයකට පෙර, අඩු ගුවනේ අපරාජිතයා ලෙස සැලකෙන ඇමෙරිකන් F-35 ප්‍රහාරක යානයක් බිම දැමීමට ඉරාන විප්ලවීය හමුදාව සමත් විය. පෙන්යගනය මේ බව තහවුරු කර නැත. එසේ වුවත් මෙය ඉරානය ලැබූ ජයග්‍රහණයකි. ඇමෙරිකන් නාවික හමුදාව සතුව ප්‍රහාරක ගුවන් යානා හෙලිකොප්ටර් යානා රැගෙන යා හැකි විදියේ දැවැන්ත යුද නැව් 11 ක් ඇත. ඕනෑම සාගරයක බලය පැතිරවීමේ හැකියාව ඇමෙරිකාව සතුය.

විශාල නෞකාවලට වඩා කුඩා ප්‍රහාරක යාත්‍රා සහ සබ්මැරීන් කෙරෙහි ඉරානය අවධානය යොමු කර ඇත. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත්තේ ද මෙම කුඩා යාත්‍රා ආධාරයෙනි. ට්‍රම්ප්ට අනුව, ඉරානයේ නාවික බලඇණියෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඇමෙරිකන් ප්‍රහාරවලින් විනාශ වී ගොස් ඇත. අයිරිස් ඩේනා යුද නෞකාවට එල්ල වුණු සබ්මැරීන ප්‍රහාරයට අප ශ්‍රී ලංකාව ද සම්බන්ධ විය. ලොව ඕනෑම තැනකට ඉතා නිවැරදිව එල්ල කළ හැකි ටොමහෝක් (Tomahawk) වැනි කෲස් මිසයිල සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) ඇමෙරිකන් හමුදාව සතුය. ඉරානය සමග යුද්ධය ජය ගැනීමට අපහසුයි නම්, ඇමෙරිකාවට, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ඉරානයට එල්ල කළ හැකිය. ඒ සියල්ල සුන්නද්ධූලි කිරීමටය. මැදපෙරදිග කලාපයේ විශාලතම බැලස්ටික් මිසයිල එකතුව ඇත්තේ ඉරානය සතුවය. ෆාටේ (Fateh) සහ ෂහාබ් (Shahab) වැනි මිසයිල හරහා කලාපීය ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රබල හැකියාවක් ඔවුන්ට ඇත.  කිලෝ මීටර් 4,000 ක දුරකට විදිය හැකි බැලැස්ටික මිසයිල තමන් සතු බව ඉරානය ඇමෙරිකාවට පෙන්නුවේ, ඉන්දියන් සාගරයේ අප ශ්‍රී ලංකාවට පහළින් පිහිටි දියේගෝ ගාසියා දුපතේ ඇමෙරිකන් කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල දෙකක් එවීමෙනි. ඒවා උඩු ගුවනේ දී විනාශ කිරීමට ඇමෙරිකන් නාවික හමුදාව සමත් විය.

ඇමෙරිකාව සතුව මිලියන 1.3 කට අධික සක්‍රීය සෙබළුන් පිරිසක් සිටින විට ඉරානය සතුව (විප්ලවීය හමුදාව ද ඇතුළුව) සිටින්නේ ලක්ෂ 6 කට ආසන්න පිරිසකි. එසේ වුවත්, ඉරානය පවසා ඇත්තේ මේවනවිට මිලියනයක් නැතිනම් ලක්ෂ 10 ක් සටනට සූදානම් බවය. ගුවන් බලය අතින් ඇමෙරිකාව ප්‍රහාරක යානා 13,000කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත වන අතර ඉරානය සතුව ප්‍රහාරක ඇත්තේ යානා 500කට අධික සංඛ්‍යාවක් වන අතර ඒවායින් බොහොමයක් යල් පැන ගිය ඒවාය. යුද ටැංකි බලය සැලකීමේදී ඇමෙරිකාව සතුව ඉතා දියුණු ටැංකි 5,500 කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින අතර ඉරානය සතුව ටැංකි 4,000කට වැඩි සංඛ්‍යාවක් පවතී. එමෙන්ම ඇමෙරිකාව ලොව දෙවන විශාලතම න්‍යෂ්ටික අවි තොගයට හිමිකම් කියන නමුත්, ඉරානය නිල වශයෙන් න්‍යෂ්ටික අවි සතු රාජ්‍යයක් නොවෙයි. එහෙයින් අප දන්නා පරිදි ඔවුන් සතුව න්‍යෂ්ටික අවි නැත. මීට අමතරව ඉරානයට පහර දෙන ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ඇති නමුත් ඒවා මොනවාදැයි ලෝකයා දන්නේ ද නැත.

ඇමෙරිකන් හමුදා ව්‍යුහය තුළ ඩෙල්ටා ෆෝස් (1st Special Forces Operational Detachment-Delta) යනු අතිශය රහසිගත සහ ප්‍රභූ ගණයේ මෙහෙයුම් බලකායකි. ඔවුන් හුදෙක් සාමාන්‍ය හමුදා බලඇණියක් නොව, කෙලින්ම ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයට (JSOC) වාර්තා කරන Tier 1 ගණයේ විශේෂ බලකායකි. මැරීන් සෙබළුන් හෝ හමුදා බලඇණි මෙන් නොව, ඩෙල්ටා ෆෝස් සෙබළුන් තෝරා ගනු ලබන්නේ ඇමෙරිකානු සන්නද්ධ හමුදාවේ සියලුම අංශවලින් ඒකරාශී වූ ඉහළම ශාරීරික හා මානසික පරිණතභාවයකින් හෙබි අති දක්ෂතම සෙබළුන් අතිනි. ඩෙල්ටා ෆෝස් බලකාය සිටින්නේ මැරීන් සෙබළුන්ට ඉහළිනි. පසුගිය ජනවාරියේ ට්‍රම්ප්ගේ අණින්, මහ රෑ වෙනිසියුලාවට ගොස් පහර දී වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ කුදලාගෙන ආවේ ද මෙම ඩෙල්ටා ෆෝස් බලකායේ සෙබළුන්ය.

ඩෙල්ටා ෆෝස් බලකායේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ සාමාන්‍ය හමුදාමය ක්‍රියාන්විතවලින් ඔබ්බට ගිය, අතිශය සංකීර්ණ සහ අවදානම් සහගත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමය. ලෝකයේ ඕනෑම තැනක සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් සහ සතුරු කලාපවලට රහසේ ඇතුළු වී තීරණාත්මක තොරතුරු ලබා ගැනීමේ විශේෂ ඔත්තු බැලීම් ඔවුන්ගේ දෛනික මෙහෙයුම්වල කොටසකි. ඩෙල්ටා ෆෝස් යනු සෙසු හමුදා අංශවලට වඩා ‘ඉහළින්’ සිටිනවාට වඩා, ඔවුන්ට හිමිවන්නේ සුවිශේෂී වූ රහසිගත භූමිකාවකි. ඔවුන්ගේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සහ පුහුණුව කෙතරම් දැඩිද යත්, එය සාමාන්‍ය මනුෂ්‍ය හැකියාවන්ගේ සීමාවන් පරීක්ෂා කරන්නකි. මෙතරම් ප්‍රබල බලකායක් වුවද, ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳව බොහෝ තොරතුරු ඇමෙරිකානු රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරයි. සැබෑ ලෝකයේදී ඩෙල්ටා ෆෝස් යනු රහසිගතව සතුරාගේ කොඳු නාරටිය බිඳ දැමිය හැකි, කිසිවකුටත් නොදැනී ක්‍රියාත්මක වන ඇමෙරිකාවේ ‘නිහඬ ප්‍රහාරක බලඇණිය’ වෙයි.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS