ගුවන් අනතුරු

ඉන්දීය ගුවන් යානා අනතුර මුළු ලොවම කම්පා කළේය. කඩා වැටුණේ ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට එංගලන්තයේ ගැට්වික් නුවර බලා පියාසර කරන්න ගුවන්ගත වූ ගුවන් යානයකි. යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය හතළිස් දෙදෙනකු සිටි අතර, හාස්කමකින් මෙන් දිවි බේරාගත්තේ එක් මගියකු පමණි. ගුවන් ගමන් යනු ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයකි.
‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත්, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය කඩා වැටීම, ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් බව අමුතුවෙන් කිවයුතු නැත. ගුවන් යානය, ගුජරාටයේ, අහමදාබාද් නුවර, සර්දාර් වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවනට නැගුණේ, එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමටය. යානය ගුවන්ගත වූයේ පසුගිය 12 වැනිදා දහවල් ඉන්දියාවේ වේලාවෙන් 1.39 ටය. යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් එදිනම සවස 6.25 ට ගැට්වික් ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණි. මගීන්ට අමතරව, ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 12 කි. ගුවන් යානය, ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තුවක් යෑමටත් පෙර, අකරතැබ්බට මුහුණ දුන්නේය. ඒ, එය අඩි 625 ක් ඉහළින් පියාසර කරද්දීය. ඉන්දීය ගුවන් ගමන් සේවා නියාමන අධිකාරියට අනුව, යානයේ දෝෂයක් ඇතැයි නියමුවන් දැනුම් දී ඇත. එසේ දැනුම් දුන් සැණින් යානය කඩා වැටුණි.
යානය කඩා වැටුණේ අහමදාබාද් නුවර, මේඝානි නගර්, ප්‍රදේශයේ බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ සිසු නේවාසිකාගාර ගොඩනැගිල්ල මතටය. මේඝානි නගර් යනු ජනාකීර්ණ ප්රදේශයකි. ගුවන් යානය සිසු නේවාසිකාගාර ගොඩනැගිල්ල මතට කඩා වැටීමෙන් වෛද්‍යවරයකු සහ සිසුන් ද ඇතුළු බොහෝ දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. යානයේ සිටි දෙසිය හතළිස් දෙදෙනාගෙන් 169 දෙනකු ඉන්දීය ජාතිකයන් වූ අතර, 53 දෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඊට අමතරව, එක් කැනේඩියානුවකු සහ පෘතුගීසි ජාතිකයන් 7 දෙනකු සිටි බව මේවනවිට අනාවරණය විය. අනතුරින් යානයේ සිටි 242 දෙනාගෙන් 241 දෙනෙක් මියගියහ. දිවි ගලවා ගත්තේ 40 හැවිරිදි, ඉන්දීය සම්භවයක් ඇති, බ්‍රිතාන්‍ය තරුණයෙකි. ඔහු සුළු තුවාල ලැබීය. බෝයිං යනු ඇමෙරිකන් ගුවන් යානා නිෂ්පාදන සමාගමය. ‘එයාර් ඉන්දියා’ අයිති ‘ටාටා’ සමාගමටය. මියගිය අය වෙනුවෙන් ‘බෝයිං‘ සමාගමත්, ‘ටාටා’ සමාගමත් වෙන වෙනම වන්දි ලබා දීම සිදුවනු ඇත. ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන්, ඉන්දියාව සිදු කරන විමර්ශනවලට ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත් සම්බන්ධ වී සිටින බව ද පැවැසෙයි.
ගුවන් ගමන් යනු ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයකි. එසේ වුවත්, ගුවන් අනතුරු සිදුවෙයි. ගුවන් යානා කඩා වැටෙයි. එවැනි ගුවන් අනතුරු බොහොමයක් ඉතිඑාසය පුරාවට සිදුවී ඇත. මේ, ඒ අතරින් බිහිසුණු ගුවන් අනතුරු කීපයකි.
ටෙනරිෆ් ගුවන් තොටුපළ ගුවන් අනතුර - 1977 මාර්තු 27 වැනිදා
ගුවන් සේවා ඉතිහාසයේ සිදු වූ දරුණුතම අනතුර ලෙස මෙය සැලකෙයි. KLM ගුවන් සේවයට අයත් බෝයිං 747 යානයක් සහ Pan Am ගුවන් සේවයට අයත් තවත් බෝයිං 747 යානයක් ස්පාඤ්ඤයේ ටෙනරිෆ් දූපතේ ලොස් රොඩෙඕස් ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේදී එකිනෙක ගැටුණි. ඝන මීදුම පමණක් නොව, ගුවන් යානයේ නියමුවන්ට සහ පාලන මැදිරිය අතරේ වැරදි සන්නිවේදනය අනතුරට හේතුව විය. අනතුරින් 583 දෙනෙකුගේ ජීවිත අහිමි විය. මෙම අනතුරෙන් පසු, ජාත්‍යන්තර ගුවන් සේවා රෙගුලාසිවල විශාල වෙනස්කම් රැසක් සිදුවීම ද විශේෂත්වයකි.
ජපාන ගුවන් සේවයේ අංක 123 - 1985 අගෝස්තු 12 වැනිදා
බෝයිං 747 යානයක් ජපානයේ ඔසුටකා කන්දට කඩා වැටුණි. යානයේ පසුපස කොටසේ හටගත් දෝෂයක් හේතුවෙන් අනතුර සිදු විය. පුද්ගලයන් 520 දෙනකුට දිවි අහිමි වුවත් සිවු දෙනෙක් දිවි ගලවා ගැනීමට සමත් වූහ.
ඉන්දියාවේ චාර්කි දාද්රි ගුවන් ගැටුම - 1996 නොවැම්බර් 12 වැනිදා
ඉන්දියාවේ නවදිල්ලියට ඉහළින් අහසේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් මගී යානයක් සහ කසක්ස්තාන් ගුවන් සේවයට අයත් මගී යානයක් අහසේදී එකිනෙක ගැටුණි. ගැටුස සිදුවූයේ නියමුවන්ට ලැබුණු වැරදි පණිවුඩ නිසාය. ගුවයන් යානා දෙකේ සිටි 349 දෙනාම අනතුරුන් මියගියහ. ගුවනේ සිදුවුණු දරුණුතම ගුවන් යානා ගැටුම මෙය ලෙස ඉතිහාසයට එක් වී ඇත.
තුර්කි ගුවන් සේවයේ ගුවන් යානා අංක 981 - 1974 මාර්තු 3 වැනිදා
McDonnell Douglas DC-10 වර්ගයේ මගී ගුවන් යානයක් ප්‍රංශයේ පැරිස් නගරය අසල වනාන්තරයකට කඩා වැටුණි. යානයේ භාණ්ඩ මැදිරියේ දොරක් ගුවන් ගමන අතරතුර විවෘත වීම අනතුරට හේතුව විය. . යානයේ සිටි 346 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.
එයාර් ඉන්දියා ගුවන් යානා අංක 182 - 1985 ජූනි 23 වැනිදා
කැනඩාවේ සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ බෝයිං 747 යානයක්, අයර්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණි. යානයේ භාණ්ඩ මැදිරියේ බෝම්බයක් පුපුරා යෑමෙන් මෙම අනතුර සිදු විය. යානයේ සිටි සියලුම 329 මියගිය අතර, අනතුර සිදුවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් නිසාය.
ගුවන් යානා අනතුරුවලට හේතු
නියමුවන්ගේ දෝෂ ගුවන් යානා අනතුරුවලට ප්‍රධානතම හේතුවකි. වැරදි තීරණ, අවධානය අඩුවීම හෝ අත්දැකීම් අඩුකම අනතුරුවලට හේතුව වී ඇත. ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂ, එන්ජින් අක්‍රමිකතා, නඩත්තුවේ ගැටළු ද අනතුරුවලට හේතුව වී ඇත. අධික මීදුම, තද සුළං, ගිගුරුම් සහිත වැසි වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් ද ගුවන් හේතුව වී ඇත. ගුවන් ගමනාගමන පාලකවරුන් සහ නියමුවන් අතර වැරදි සන්නිවේදනය හෝ පාලන පද්ධති වල දෝෂ අනතුරුවලට හේතුව වී ඇත. කුරුල්ලන් ගැටීමෙන් ද ගුවන් යානා අනතුරු සිදුවී ඇත.
කළු පෙට්ටිය කියන්නේ මොකක්ද?
ගුවන් යානයක් කඩා වැටුණු සැණින් කතාබහට ලක්වන්නේ කළු පෙට්ටියයි. ගුවන් යානයක කළු පෙට්ටිය (Black Box) යනු පියසැරි දත්ත, එසේත් නැතිනම් ගුවන් යානයක සිදුවන සියලු දේවල් සහ නියමුවන්ගේ සංවාද පටිගත කරන උපකරණ දෙකකටයි. කළු පෙට්ටිය යැයි කීවත් මෙම උපකරණ දෙක කළු පාට නැත. අනතුරකින් පසු, පිපිරීමකින් හෝ ගිනිගැනීමකින් හෝ පසු පහසුවෙන් සොයාගැනීම සඳහා, මේවා දීප්තිමත් තැඹිලි පාටින් හෝ රතු පාටින් නිර්මාණය කර ඇත. ගුවන් යානයක් කඩා වැටුණු පසු හෝ සිදුවුණේ කුමක්දැයි දැන ගන්නේ මෙම කළු පෙට්ටියේ ආධාරයෙනි. කළු පෙට්ටියක් කොටස් දෙකකි. පියාසැරි දත්ත රෙකෝඩරය (Flight Data Recorder - FDR) සහ කොක්පිට් හෙවත් නියමු කුටියේ හඬ රෙකෝඩරය (Cockpit Voice Recorder – CVR) යනු එම කොටස් දෙකය.
පියාසැරි දත්ත රෙකෝඩරය
මෙය ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත පටිගත කරයි. ගුවන් යානයේ වේගය, උන්නතාංශය (Altitude), දිශාව, එන්ජින් ක්‍රියාකාරීත්වය, ගුවන් යානයේ පිහිටීම, පියාපත්වල ක්‍රියාකාරීත්වය ආදිය සම්බන්ධයෙන් දත්ත මෙහි අඛණ්ඩව සටහන් වෙයි. මෙම දත්ත, පැය 25 ක් දක්වා ගබඩා කර තබා ගත හැකිය.
නියමු කුටියේ හඬ රෙකෝඩරය
මෙය නියමු කුටියේ සිදුවන සියලුම ශබ්ද සහ කතාබහ පටිගත කෙරේ. නියමුවන් අතර, නියමුවන් සහ ගුවන් ගමනාගමන පාලන මැදිරිය අතර සිදුවන කතාබහ මෙන්ම, එන්ජින් ශබ්ද, අනතුරු ඇඟවීමේ ශබ්ද ආදී සියල්ල මෙයට ඇතුළත් වෙයි.
කළු පෙට්ටියේ වැදගත්කම
ගුවන් යානා අනතුරුවලට හේතු සොයා ගැනීමට කළු පෙට්ටිවල දත්ත අත්‍යාවශ්‍ය වෙයි. මෙම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරට පෙර සිදු වූ සිදුවීම් අනුපිළිවෙල සහ නියමුවන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. අනතුරුවලට හේතු හඳුනා ගැනීමෙන් පසු, අනාගතයේ එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර සහ රෙගුලාසි වැඩිදියුණු කිරීමට මෙම දත්ත භාවිතා කෙරේ. ඇතැම් අවස්ථාවලදී කළු පෙට්ටි දත්ත නියමු පුහුණු වැඩසටහන් වැඩිදියුණු කිරීමට ද උපකාරී වෙයි.
කළු පෙට්ටියේ විශේෂාංග
මේවා ඉතාමත් ශක්තිමත් ද්‍රව්‍ය වලින් සාදා තිබෙනවා. ගුවන් යානයක් කඩා වැටීමේදී ඇතිවන අධික බලපෑම්, අධික උෂ්ණත්වයන් (ගිනි ගැනීම්) සහ ජල පීඩනයන්ට ඔරොත්තු දෙන ලෙස මේවා නිර්මාණය කර ඇත. කළු පෙට්ටි ජලයට වැටුණොත්, දින 30 ක් පමණ කාලයක් ජලය යට සිට සංඥා (ping) නිකුත් කිරීමට හැකියාව ඇත. මෙය සාගරයට කඩා වැටෙන ගුවන් යානාවල කළු පෙට්ටි සොයා ගැනීමට උපකාරී වෙයි. සරලව කිවහොත්, කළු පෙට්ටියක් යනු ගුවන් යානයක සාක්ෂිකරුවා වන අතර, එය ගුවන් යානා ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා අතිශයින්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ඒ.එෆ්.පී. ඇසුරිනි

