ගගනගාමිනිය දුටු අබිරහස් ආලෝකය



පෘථිවි කක්ෂයේ රඳවා ඇති, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින නාසා ගගනගාමිනියක වන නිකොල් අයර්ස්, අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට පහළ පෘථිවිය දෙස බලද්දී, පුදුමාකාර හරි අපූරු දෙයක් දුටුවාය. ඇයට පමණක් නොව, අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටි සෙසු ගගනගාමීන්ට ද එය පුදුමයක් විය; ප්‍රහේලිකාවක් විය.

නිකොල් අයර්ස්, දුටුවේ පෘථිවියේ පහළ සිට වලාකුළුවලින් ඉහළට විහිදෙන්න වූ දීප්තිමත් රතු පැහැති ආලෝකයකි. එය අකුණක් ගසනවා වැනිය. ඒත් සාමාන්‍යයෙන් අකුණු ගසන්නේ වලාකුළුවලින් පහළට මිස, ඉහළට නොවෙයි. එබැවින්, නිකොල් ඒ ගැන විමතියට පත්වූවාය. එම දීප්තිමත් ආලෝක විහිදීම, ඡායාරූපයට නැගූ නිකොල් එය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර, බොහෝ දෙනාගේ අවධානය ඊට යොමු විය. ගගනගමිනී නිකොල් අයර්ස්, ස්පේස් එක්ස් 10 වැනි කණ්ඩායම සමඟ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය නියමුවරියකි. ඇය මේ විස්මිත ආලෝකය දුටුවේ පසුගිය ජූලි 3 වැනිදා මෙක්සිකෝවට සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ජනපදවලට ඉහළින් අහසේය. ඒ වනවිට ඒම කලාපයට ඉහළින් ප්‍රචණ්ඩ අකුණු ද සහිත වැහි කුණාටුවක් කැරකෙමින් තිබුණි. “අභ්‍යවකාශ නැවතුම්පොළ මෙක්සිකෝවට සහ ඇමෙරිකාවට ඉහළින් ගමන් කරද්දී, පහළින් රතු ආලෝකයක් විහිදෙනවා දකින්න ලැබුණා. ඒක ලස්සනයි. මෙවැනි දෙයක් මා මීට පෙර දැක නැහැ.” යැයි ගගනගාමිනිය සිය එක්ස් ගිණුම හරහා පැහැදිලි කළාය.

නාසා ගගනගමිනී නිකොල් අයර්ස් දුටුවේ ඉතාමත් දුර්ලභ ස්වභාවික සංසිද්ධියකි. ඇය දුටුවේ විදුලි කෙටීමකි. නැතිනම් අකුණකි. ඒත් මෙය සාමාන්‍ය විදුලි කෙටීමක් නොවෙයි. අප හැමෝම විදුලි කොටනවා දැක ඇති නමුත්, ඇතැම් අවස්ථාවලදී, සාමාන්‍ය විදුලි කෙටීම්වලට වඩා බොහෝ ඉහළින්, (වලාකුළුවලටත් ඉහළින්), දීප්තිමත් ආලෝක දකින්න ලැබේ. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ තාවකාලික දීප්තිමත් සිදුවීම් යනුවෙනි. සරලව පැහැදිලි කළොත් මේවා ‘ඉහළ වායුගෝලීය විදුලි කෙටීම්’ ය. මෙම ආලෝක ධාරා සැණින් ඇතිවී, සැණින් නැතිවී යයි.

අතීතයේ ගුවන් නියමුවන්ට මෙම ‘ඉහළ වායුගෝලීය විදුලි කෙටීම්’ නැතිනම් ‘ඉහළ වායුගෝලීය අකුණු’ දකින්න ලැබී තිබුණත්, ඒවා මොනවාදැයි හරිහැටි කියන්න ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැත. පළමු වරට මෙවැනි සන්සිද්ධියක් ඡායාරූපයට නැගීම සිදුවූයේ 1989 වසරේදීය. විද්‍යාඥයන් මේවා ගැන උනන්දු වෙමින්, මේවා මොනවාදැයි පැහැදිලි කිරීම් සිදුවූයේ ඉන් අනතුරුවය.

නාසා ගගනගාමිනියට දකින්න ලැබුණු ජෙලි ෆිෂ් සත්වයකු සිහි ගන්වන ආකාරයේ ආලෝක ධාරාව හැඳින්වෙන්නේ ස්ප්‍රයිට්ස් යනුවෙනි. විවිධාකාරයේ තාවකාලික දීප්තිමත් සිදුවීම් ස්වභාවිකව නිර්මාණය වෙයි. ඒ අතරින්, දීප්තිමත් රතු පාට හඳුන්වන්නේ ස්ප්‍රයිට්ස් යනුවෙනි. සාමාන්‍යයෙන් විදුලි කෙටීම් ඇතිවෙන්නේ වලාකුළු සහ පොළොවයි අතරේය. ඒත් ස්ප්‍රයිට්ස් ධාරා නිර්මාණය වන්නේ, විශාල ගිගුරුම් සහිත වලාකුළු වලටත් ඉහළිනි. පොළොවේ සිට කිලෝමීටර් 50ත් 90ත් අතර උසකිනි. සාමාන්‍යයෙන් විදුලි කෙටීම් ඇතිවෙන්නේ ධන සහ සෘණ ආරෝපණ එකට ගැටෙන නිසාය. ස්ප්‍රයිට්ස් ධාරා ඇතිවන්නේ, ගිගුරුම් සහිත වලාකුළක උඩම කොටස සහ පොළොව අතර ඇතිවන විශේෂ විදුලි කෙටීම් නිසාය.

ස්ප්‍රයිට්ස් රතු පාටින් පමණක් නොවෙයි, රෝස සහ තැඹිලි පාටින් ද දකින්න ලැබෙයි. අතැම්විට මෙම ආලෝක ධාරාවල පහළින් එල්ලෙන නූල් වැනි කොටස් දකින්නට ලැබෙයි. නූල් වැනි එම කොටස් ද සියුම් ආලෝක ධාරා විහිදීම්ය. විද්‍යාඥයන් මේ නූල් වැනි ධාරා හඳුන්වන්නේ කැරට් ස්ප්‍රයිට්ස් යනුවෙනි. එය කැරට් අලයක් මුල් ඇද තිබෙනවා වැනිය. සාමාන්‍යයෙන් විදුලි කෙටීමක් යනු තාපය නිකුත් වන උණුසුම් සංසිද්ධියකි. ඒත් ස්ප්‍රයිට්ස් ආලෝක ධාරා උණුසුම් නැත. මේවා සීතල ප්ලාස්මාවලින් නිර්මාණය වී තිබීම ඊට හේතුවය. ෆ්ලොරසන්ට් බල්බ (අප නිවෙස්වල ඇති ටියුබ් ලයිට්) ඇතුළේ තියෙන වායුව ද එවැන්නකි. ස්ප්‍රයිට්ස් ආලෝක ධාරා වර්ග තුනකි. විද්‍යාඥයන් මේවා වර්ග කර ඇත්තේ හැඩය අනුවය. ජෙලිෆිෂ් ස්ප්‍රයිට්ස් යනු මුහුදේ සිටින ජෙලිෆිෂ් සතුන් සිහිගන්වන විදියේ වටකුරු හැඩැති ඒවාය. කොලම් ස්ප්‍රයිට්ස් මේවා කුලුනු වැනි සෘජුව ඉහළට විහිදෙන ආලෝක ධාරාය. කලින් සඳහන් කළ කැරට් ස්ප්‍රයිට්ස් යනු තෙවැනි වර්ගයයි. නාසා ගගනගමිනී නිකොල් අයර්ස් දුටුවේ ජෙලිෆිෂ් ස්ප්‍රයිට්ස් ආලෝක ධාරාවකි.

නිල් ජෙට්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ද ඉහළ අහසේ ඇති වන තවත් ලස්සන ආලෝක ධාරාය. මේවා රතු පාට නොවන අතර නිල් පාටින් යුක්තය. නිල් ජෙට්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය. නිල් ජෙට් ඇතිවෙන්නේ ගිගුරුම් සහිත වලාකුළක ඉහළින්ම ඇති කොටසින් කෙළින්ම ඉහළට යන්නාක් මෙනි. එය හරියට කරාමයක වතුර පහළට නැතිව ඉහළට යන්නාක් මෙනි. නිල් ජෙට් ආලෝක ධාරා කිලෝමීටර් 50ක් විතර උසට විහිසෙදයි. මේවා ද දකින්න ලැබෙන්නේ ඉතාමත් කෙටි කාලයකට පමණි.

ඇතැම් වෙලාවට නිල් ජෙට් වගේම තවත් පොඩි නිල් පාට එළි දකින්න ලැබේ. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ නිල් ස්ටාටර්ස් යන නමිනි. මේවා නිල් ජෙට් මෙන් වුවත්, මේවා කිලෝමීටර් 20 ක් පමණ අඩු උසකට පමණක් විහිදෙයි. මේවා අසාර්ථක වූ එසේත් නැතිනම් නිසි ලෙස වර්ධනය නොවුණු නිල් ජෙට් ධාරා යැයි විද්‍යාඥයන්ගේ අදහසය. ගිගුරුම් සහිත වැස්සක් පවතිද්දී, අහසේ ඉහළින්ම නිල් පාටට ඉහළට විහිදෙන ආලෝක ධාරා නිල් ස්ටාටර්ස් විය හැකිය. මේවා නිල් පාටින් පෙනෙන්නේ වාතයේ ඇති නයිට්‍රජන් වායුව දීප්තිමත් වීම නිසාය. මේවා කිලෝමීටර් 50ක් විතර උසට විහිදී යයි.

දැවැන්ත ජෙට් ධාරා යනු නිල් ජෙට් වලටත් වඩා විශාල, උසට විහිදෙන ආලෝක ධාරාය. නිල් ජෙට් වලාකුළක උඩින්ම හටගත්තත්, දැවැන්ත ජෙට් ඇතිවෙන්නේ ගිගුරුම් සහිත වලාකුළක උඩ ඇති ධන ආරෝපණ තට්ටුව සහ පහළ ඇති සෘණ ආරෝපණ තට්ටුවයි අතරින් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ ආලෝක ධාරා කිලෝමීටර් 70 ක් වැනි උසකට විහිදී යයි. මේවායේ පහළ කොටස නිල් පාටට පෙනෙන අතර, ඉහළට යද්දී රතු පැහැයට හැරෙයි.

එල්ව්ස් යනු ඉතා ඉක්මනින් ඇතිවෙලා නැතිවෙන, රවුම් හැඩැති දීප්තිමත් ආලෝක ධාරාය. මේවා විෂ්කම්භයෙන් කිලෝමීටර් 400ක් තරම් විශාල විය හැකිය. මේවා ඇතිවෙන්නේ ගිගුරුම් සහිත වැසි වලටත් ගොඩක් උඩින්, පොළොවේ ඉඳලා කිලෝමීටර් 100 ක් විතර උසින් තියෙන අයනගෝලයේදීය.

මේවා ඇතිවෙන්නේ විදුලි කෙටීමක් නිසා ඇතිවන විද්‍යුත් චුම්භක තරංගයක් නිසා වාතයේ නයිට්‍රජන් අණු උත්තේජනය වීමෙනි. මේවා ඇතිවී නැතිවීමට ගතවෙන්නේ තත්පරයෙන් දහසෙන් පංගුවක් වැනි කෙටි කාලයකි. ඒ නිසා කිසිම ආකාරයකට මේවා අපට දකින්න ලැබෙන්නේ නැත.

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS