කෙස් කළඹ දන්දුන් කේශදාන පිංකම
ශ්‍රී ලංකාව අන් සියලු රටවලට වඩා මානව දයාව පිරි වැසියන්ගෙන් පොහොසත් රටකි. ලේ දන්දීමට, වකුගඩු දෙකෙන් එකක් මියගිය පසු දෑස් හා තවත් අවයව ආදී වශයෙන් දන් දී දාන පාරමිතාව පුරණ උතුම් මිනිසුන් මෙහි දුර්ලභ නැත.
පසුගිය දිනෙක බලංගොඩ නගරයේ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේදීද එවැනි දන්දීමේ වැඩසටහනක් පැවැත්විණි. ඒ වෙත පැමිණි මව්වරු හා දියණිවරුන් දන්දුන්නේ බොහෝ සත්කාර කර ආදරයෙන් රැකගත් තමන්ට ආභරණයක් වූ කෙස් කළඹයි. ඒ පිළිකා රෝගයෙන් කෙස් කළඹ අහිමි වූ තමන් වැනිම තවත් මවකගේ, දියණියකගේ මානසික සුවය උදෙසාය. විකිරණ ප්‍රතිකාර හේතුවෙන් හිස කෙස් අහිමි වූ පිළිකා රෝගී කතුන්ට වෙනුවෙන් ස්වභාවික හිසකෙසින් කෙස් කළඹක් තනන්නට ඔවුහු තම හිස කේ දන්දුන්හ.
මුළින්ම තම හිසකෙස් දන්දුන් දියණිය
ස්වාභාවික හිසකෙසින් කෙස්කළඹ සකසා පිළිකා රෝගී කතුන්ට පරිත්‍යාග කරනු වස් 'ඉන්දිරා පිළිකා භාරය' මගින් ක්‍රියාත්මක කරන පුන්‍ය ව්‍යාපෘතිය සඳහා ඔවුහු මෙසේ තම කෙස් කළඹ ලබාදුන්හ. ඇග්නස් බාලිකා විද්‍යාලීය බාලදක්ෂිකාවන් විසින් සිය පාසල් භූමිය තුල මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ඇග්නස් බාලිකාවේ ඉංග්‍රීසි ගුරුවරිය වන අනෝමා රත්නායක මහත්මිය මෙහිදී සිය දෙපතුල් දක්වා දිගැති නිරෝගී වරලස පරිත්‍යාග කරමින් පැවසූයේ “තමා වසය අවුරුදු 09 සිට බෙහෙවින් සත්කාරකර වැවූ කෙස්කළඹ මෙලෙස දන් දුන් බවයි”. සිය දියණියන් තිදෙනා සමඟ පැමිණි තවත් මවක සඳහන් කලේ පිළිකා රෝගයෙන් මියගිය සිය සොහොයුරිය සිහි කරමින් දියණියන් තිදෙනා සහ තමා කොන්ඩය දන් දුන් බවයි.
කාන්තාවක සතු පංචකල්‍යාණයෙන් එක් කොටසක් දන් දීම සඳහා පැමිණ සිටි බොහෝ පිරිසක් අතර තම කෙස් කළඹ දන්දීම සඳහා අවස්ථාව එළඹෙනතුරු හෝරා කිහිපයක් පවා බලා සිටීමට පවා මෙහිදී ඇතැමුන්ට සිදුවිය. දන් දීමට සුදුසු කෙස් කළඹ අවම වශයෙන් අඟල් 17 ඉක්මවා තිබිය යුතු වූ හෙයින්, සිය කෙස්වැටියේ දිග ප්‍රමාණවත් නොවන බව දැනගත් ඇතැම් සිසුවියන් ඉවත්ව ගියේ කඳුළුපිරි දෙනෙතිනි.
ඉන්දිරා පිළිකා භාරය මෙම ව්‍යාපෘතිය ආරම්භ කලේ මින් වසර 02 කට පෙර වන අතර දහස් ගණනක් කාන්තාවන් මේ වනවිට එම ව්‍යාපෘතිය වෙනුවෙන් සිය කෙස් කළඹ පරිත්‍යාග කර ඇත.
දිගු හිසකෙස් ලබා දුන් තරුණිය තම පෙම්වතා සමග
රජයේ ලියාපදිංචි පුන්‍ය ආයතනයක් වන ඉන්දිරා පිළිකා භාරයේ මූලස්ථානය මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට අංක 63 යන ස්ථානයේ පිහිටා ඇති අතර, 2016 වර්ෂයේදී එය ආරම්භ කරන ලද්දේ කථානායක කරු ජයසුරිය මහතාගේ කණිටු දියණිය වූ පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මිය සිහිවීම පිණිසය.
(ඩයනා උදයංගනී)