කිම් ජොන් උන්ගෙන් පසු නායකත්වය කාටද ?



හදවත් සැත්කමකට ලක්වීමෙන් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මොළය අක්‍රිය වී මියගොස් ඇතිනම් උතුරු කොරියාවේ මීළඟ උරුමකරු වන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.

හදවත් සැත්කමින් පසු, මොළය අක්‍රිය වී, 36 හැවිරිදි නායක කිම් ජොන් උන් මියගොස් ඇතැයි පළවන පුවත් සත්‍යයක් බව උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ තහවුරු කර නොමැත. දකුණු කොරියාව පවසා ඇත්තේ කිම් ජොන් උන්ගේ තත්ත්වය යහපත් බවය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා පවසා ඇත්තේ පළ වන එම පුවත් අසත්‍යයක් විය හැකි බවය.

පසුගිය අප්‍රේල් 12 වැනිදා නායක කිම් ජොන් උන් හදවත් සැත්කමට භාජන වූ බවත් නායක කිම් ජොන් උන් මේ වනවිට සුවය ලබමින් පසුවන බවත් උතුරු කොරියා රජය නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වෙයි. උතුරු කොරියානු රජය මෙම නිවේදනය නිකුත් කළේ මීට සතියකට පෙරය. ඉන්පසු කිසිදු නිවේදනයක් උතුරු කොරියානු රජය විසින් නිකුත් කරනු ලැබ නැත.

යම් හෙයකින්, කිම් ජොන් උන් මියගොස් ඇතිනම්, උතුරු කොරියාවේ මීළඟ උරුමකරු වන්නේ කවුරුන්දැයි උතුරු කොරියානු පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ මධ්‍යම පාලන අධිකාරිය පවසා නැත. නායක කිම් ජොන් උන් විවාහ වී සිටින්නේ ගායිකාව වන රී සොල් ජූ සමඟය. දෙදෙනාට සිටින්නේ හත් හැවිරිදි දියණියකි. රාජ්‍ය පාලනයට යොමු වීමට ඇය කුඩා වැඩිය.

පසුගිය වසරේත්, මෙම වසරේ ජනවාරියේත් නායක කිම් ජොන් උන්, ඔහුගේ බලතලවලින් කොටසක් බාල නැගණිය කිම් යෝ ජොන්ට පැවැරුවේය. නායක කිම් ජොන් උන්ගේ උපදේශිකාව වන්නේ ද කිම් යෝ ජොන් ය. එහෙයින්, කිම් ජොන් උන් මියගියහොත්, උතුරු කොරියාවේ මීළඟ නායකයා වනු ඇත්තේ නායිකාවක බවත් ඇය 31 හැවිරිදි කිම් යෝ ජොන් වනු ඇති බවත් ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කිම් ජොන් උන්ගේ මෙන්ම කිම් යෝ ජොන්ගේ පියා කිම් ජොන් ඉල් ය. කිම් ජොන් ඉල් උතුරු කොරියාවේ ආරම්භක උත්තරීතර නායකයා ලෙස 1994 සිට 2011 දක්වා කටයුතු කළේය. කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා බවට පත් වූයේ කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුවය. කිම් ජොන් උන් අධ්‍යාපනය ලබා ඇත්තේ ස්විට්සර්ලන්තයේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS