ඉරාන යුද්ධයට දින 10 යි



ඇමරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය දින 10 පසු කර ඇත. ඇමරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දැඩි හානි සිදුවුවත්, ඉරානය පසුබසින බවක් හෝ යටත් වන බවක් පෙනෙන්න නැත. ඇමරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රබල ප්‍රහාර හමුවේ ඉරානයේ දරා ගැනීමේ ශක්තිය ගැන අද මුළු ලොවම කතා කරයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන ඊයේ (9) වෙද්දී 1,400 ඉක්මවීය. එය දිනෙන් දින ඉහළ යමින් පවතී. ඉරානය සමග යුද්ධය අවසන් කරන වේලාව තීරණය කරන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒ ගැන සාකච්ඡා පැවැත්වීමෙන් පසුව යැයි ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත. ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඒ අතරේ ඇමරිකාවෙන් සහ ඉරානයෙන් එල්ල වන තර්ජන ගර්ජන මැද සහ ප්‍රහාර මැද ඉරානය නව උත්තරීතර නායකයකු තෝරා පත් කර ගත්තේය.

ඉරාන උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනි. කමේනීගේ අභාවයෙන් පසු, දැන් එම ධුරයට ඔහුගේ ​දෙවැනි පුත්‍රයා මජ්තාබා කමේනී පත් වී අවසන්ය. ඉරාන උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදු කරන්නේ, ඉරාන විශේෂඥ සභාව මගිනි. මෙය ඉරානයේ ප්‍රධාන පූජකයන් 88 දෙනකුගෙන් සමන්විත මණ්ඩලයකි. එම මණ්ඩලයේ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන්, මජ්තාබා උත්තරීතර නායකයා ලෙස තෝරා ගැනීම සිදුවිණි.

56 හැවිරිදි මජ්තාබා, මීට පෙර කිසිදු ඉරාන රජයේ නිල තනතුරක් දරා නොමැති වුවද, ඔහු දිගු කලක සිට එම තනතුර සඳහා ප්‍රබල තරඟකරුවකු වී සිටි බව රහසක් නොවෙයි. ඉරාන ඉස්ලාමීය රජයේ නව උත්තරීතර නායකයා ලෙස, මජ්තාබා ඉරාන සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වන අතර, අධිකරණ ප්‍රධානීන් සහ යුධ අංශවල නායකයන් පත් කිරීමේ පූර්ණ බලය ඔහු සතු වෙයි. ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව ඇත්තේ මජ්තාබා යටතේය. ඉරානයේ යුද උපාය මාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ද උත්තරීතර නායක මජ්තාබා කමේනීය.

මජ්තාබා සිය පියා මෙන් දැඩි මතධාරී ප්‍රතිපත්ති අනුගමනය කරන අයෙකි. ඇමරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එල්ල වන තර්ජන හමුවේ පවා ඔහු ඔහුගේ දැඩි ප්‍රතිපත්ති වෙනස් නොකරනු ඇතැයි පැවැසෙයි. ඇමරිකාව මෙන්ම ඊශ්‍රායලය ද ඉරානයට පහර දීමට එක් හේතුවක් වන්නේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යටතේ ඔවුන් පරමාණුක අවි නිපදවන බවට ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද චෝදනා නගයි. ඉරානය තරයේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

බොහෝ දෙනකු නොදන්නා කරුණ නම්, ඉරානයට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කිරීමට සහාය දැක්වූයේ ඇමරිකාවය. එසේ වූයේ 1950 දශකයේ, ඉරානයේ ෂා පාලනය පැවැති අවදියේය. ෂා පාලනය ඇමරිකා හිතවාදී විය. එය වෙනස් වූයේ 1979 වසරේ ඉරාන විප්ලවයෙනි. ඉරානයේ ඉස්ලාමීය පාලනයක් ආරම්භ වූයේ මෙම විප්ලවයෙන් පසුවය. උත්තරීතර නායකයකු ඉරානයේ ප්‍රධානියා වූයේ ද එම ඉස්ලාමීය විප්ලවයෙන් පසුවය.

තම න්‍යෂ්ටික වැඩසටහන හරහා තමන් පරමාණු අවි සාදන්නේ නැතැයි ඉරානය දිගින් දිගටම ඇමරිකාවට පවසා ඇත. තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ පරමාණුක අවි නිපදවීම වැළැක්වීමට, ඉරන උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි කමේනී ද ආගමිකමය වශයෙන් තහංචි පනවා ඇත. මෙය ද බොහෝ දෙනකු නොදන්නා කතාවකි. කෙසේ නමුත් බටහිර දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ එම තහාංචි, නව උත්තරීතර නායකයා ලෙස මජ්තාබා වෙනස් කරනු ඇති බවය.මජ්තාබා මෙතෙක් කල් ගත කළේ අප්‍රකට දිවියකි. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉතා අඩුවෙනි. මජ්තාබා ප්‍රසිද්ධියේ ​ආගමික දේශන පවත්වා නැත. ඉරාන වැසියන්ට මජ්තාබාගේ හඬ පවා නුහුරුය. ඒත් ඒ සියල්ල දැන් වෙනස් වනු ඇත.

අලි කමේනීගේ අභාවයෙන් පසු, ර​ටේ බලය තාවකාලික ත්‍රිපුද්ගල පාලක මණ්ඩලයකට හිමිවිය. ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්, නීතිපති සහ ඉරාන ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු මෙම පාලක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. ත්‍රිපුද්ගල පාලක මණ්ඩලයේ මත ගැටුම් පැවැති අතර, විශේෂඥ මණ්ඩලය කඩිනමින් රැස් වී නව උත්තරීතර නායකයා තෝරා ගැනීම ​සිදු කළේ යැයි ඇ​මරිකන් මාධ්‍ය පවසා තිබේ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ උත්තරීතර නායකයා ලෙස මජ්තාබාගේ පත්වීම තමන්ට පිළිගත නොහැකි බවය. ඉරානයට සාමය ගෙන දෙන නායකයකු අවශ්‍ය බවත්, ඇමරිකාවේ අනුමැතිය නොමැති නායකයකුට වැඩි කාලයක් රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත් ට්‍රම්ප් අනතුරු අගවා ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ද ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ඕනෑම නව නායකයකු ඊශ්‍රායලය විනාශ කිරීමට උත්සාහ කරන්නේ නම් ඔහු ඝාතනය කිරීමේ ඉලක්කයක් බවට පත්වන බවය.

මජ්තාබා ලොව සිටින ධනවත්ම පුද්ගලයන්ගෙන් අයකු ලෙස ද සැලකෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ වෙනත් රටවල බැංකු ගිණුම්වල ඔහුට විශාල ධනයක් ඇති අතර, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පවුම් මිලියන 50 ක් වටිනා සුඛෝපභෝගී නිවාස දෙකක්ද ඔහු සතු බව පැවැසෙයි. 1969 වසරේ උපත ලැබූ ඔහු ඉරාන ඉරාක යුද්ධයටද සහභාගී වී ඇති අතර, වසර ගණනාවක් තිස්සේ තම පියාගේ සමීපතම උපදේශකයා ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රයේ රහසිගත බලවතා ලෙස කටයුතු කර ඇත.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්නේ ඔවුන් සතු මිල අධික අති නවීන අවි ආයුධ සහ යුදෝපකරණ යොදා ගනිමිනි. ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකාවට දිනකට මිලියන ගණනක් වැය වෙයි. පසුගිය 28 වැනිදා ඇමෙරිකාවට සහාය දක්වමින් ඊශ්‍රායලය, ඉරානයට පහර දීමට භාවිත කළේ ඔවුන් සතු එෆ්.15, එෆ්.22, සහ එෆ්.35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි.  ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයන් 50,000 කට අධික පිරිසක් එක්ව සිටින බව ඇමරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා ඇත. ඉරානයට ගොඩබිම් හමුදා යැවීමේ අවශ්‍යතාවක් නොමැති බව ට්‍රම්ප් පවසා ඇති නමුත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඇමරිකන් ගොඩබිම් හමුදා පැමිණෙන තුරු ඉරානය බලා සිටින බවය. ඊයේ (9) දිනය වෙද්දී, ඉරානයේ ඉලක්ක 2,000 කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බව ද පැවැසෙයි.

ඇමරිකාව විසින් ලුකාස් නමින් හඳුන්වනු ලබන නව ඩ්‍රෝන යානා, යුද මෙහෙයුම් සඳහා භාවිතයට ගෙන ඇත. මෙය සුවිශේෂී සිද්ධියකි. ඊට හේතුව, ඇමරිකාව මෙම නව ඩ්‍රෝන යානා හමුදා මෙහෙයුමකට යොදා ගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙම ඩ්‍රෝන යානා ඉරානයේ ෂාහෙඩ් ඩ්‍රෝන යානාවලට සමාන අයුරින් නිර්මාණය කරන ලද මෙම අඩු වියදම් ඒවා යැයි ද පැවැසෙයි. ලූකස් ඩ්‍රෝන යානා ඇරිසෝනා ජනපදයේ ස්පෙක්ට්‍රෙවර්ක්ස් සමාගම විසින් වැඩිදියුණු කරනු ලැබ ඇත. රොක්වෙල් බී 1 ලාන්සර්  බෝම්බ හෙලන ගුවන් යානා භාවිතයට ගනිමින් ද ඇමරිකාව ඉරානයේ භූගතව පිහිටා ඇති බැලස්ටික් මිසයිල ගබඩා සහ මිසයිල ප්‍රහාරක මධ්‍යස්ථානවල පහර දෙයි. මෙම යානා ඇමරිකාවේ සිට ඉරානයට පියාසර කරමින් බෝම්බ දැමූ බව ද පැවැසෙයි. රොක්වෙල් බී 1 ලාන්සර්  යානා තුනක් ප්‍රහාර සඳහා පැමිණ ඇත. රොක්වෙල් බී -1 ලාන්සර් බෝම්බ හෙළන ගුවන් යානාවලට බෝම්බ කිලෝග්‍රෑම් 34,000ක් රැගෙන යෑමේ හැකියාව පවතී. ඉකුත් මාර්තු මස 1 වැනිදා ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකන් හමුදාව භාවිතයට ගත්තේ බී 2 ස්පිරිට් බෝම්බ හෙලන යානාය. ඇමරිකාවේ නෝත්‍රොප් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම යානාවලට කිලෝග්‍රෑම් 18,000 බරක් රැගෙන යා හැකි බව පැවැසෙයි.

ඇමරිකන් හමුදාව, බී 52 ස්ට්‍රැටෝෆෝට්‍රස් යානා ද ඉරානයට එරෙහි සටනට යොදා ගන්නා බව පෙන්ටගනය කියයි. ස්ට්‍රැටෝෆෝට්‍රස් යනු ඇමරිකානු ගුවන් හමුදාව සතු උපායමාර්ගික බෝම්බ හෙළන ගුවන් යාන වර්ගයකි. බෝයිං සමාගමේ නිෂ්පාදනයකි. මෙම යානා 1955 වසරේ සිට ඇමරිකාව ඔවුන්ගේ ප්‍රහාර සඳහා භාවිතයට ගනී. ඉරානයේ ප්‍රහාර සඳහා භාවිතයට ගන්නේ ඇමරිකන් හමුදාව සතු නවතම බී 52 ස්ට්‍රැටෝෆෝට්‍රස් යානා යැයි ද පැවැසෙයි.මෙම යානයකට කිලෝග්‍රෑම් 32,000ක් දක්වා ආයුධ රැගෙන යා හැකි අතර, ගුවන් ඉන්ධන පිරවීමකින් තොරව කිලෝමීටර් 14,200ක පමණ දුරක් පියාසර කිරීමේ හැකියාව ද ඇත. ඊට අමතරව, ඇමරිකාව ඉරානයට පහර දීමට ඔවුන් සතු එෆ්. 15, එෆ් 16, එෆ් 18 සහ එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා ද ඒ 10 ප්‍රහාරක යානා ද භාවිතයට ගනී.

ඇමරිකාව විසින් ඉරානයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ප්‍රබල යුද නැව් ආධාරයෙනි. ඉරානයට පහර දීමට සති පහකට පෙර, ඇමරිකාව ඔවුන් සතු ප්‍රබලතම යුද නෞකාවක් ලෙස සැලකෙන යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් මධ්‍යධරණී මුහුදට යැවීය. මෙය ප්‍රහාරක ජෙට් යානා රැගෙන යන නෞකාවකි. එෆ්. 15, එෆ් 16, එෆ් 18 සහ එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා ඉරානයට පහර දීමට ගුවන්ගත වන්නේ මෙම නෞකාවේ සිටිය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව කාර්ය මණ්ඩලය සාමාජිකයන් 5,600 දෙනකුගෙන් සහ ගුවන් යානා 90 කින් සමන්විතය. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම ගුවන් යානා ප්‍රවාහක නෞකාව වන යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් යුද නෞකාව ද කැරිබියන් මුහුදේ සිට මධ්‍යධරණී මුහුදට පැමිණ සිටී. ඇමරිකාවේ 38 වන ජනාධිපතිවරයා ගේ නමින් මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව නම් කර ඇත. මෙම නෞකාවට ප්‍රහාරක ජෙට් යානා 74ක් සහ කාර්ය මණ්ඩලය සාමාජිකයන් 4,600කට ආසන්න සංඛ්‍යාවක් අයත් වෙයි.

ඉකුත් 28 වැනි දා යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකානු-ඊශ්‍රායල-ඉරාන යුද්ධය හේතුවෙන්, බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවා ගිය බව බීබීසී පුවත් සේවය පෙන්වා දෙයි. ගෝලීය වෙළෙඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවා ගිය බව මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් යාත්‍රා කිරීමට ඉරානයෙන් එල්ල වන බාධා හමුවේය. ඊයේ (9) උදෑසන වනවිට ආසියාවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 24 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 114.74 ක් වූ අතර, නයිමෙක්ස් ලයිට් ස්වීට් මිල සියයට 26 කට වඩා ඉහළ ගොස් ඩොලර් 114.78 ක් ලෙස සටහන් වූ බව බීබීසී පුවත් සේවය පෙන්වා දුන්නේය. මෙම සතියේ තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ළඟා වනු ඇතැයි වෙළඳපොළවල බොහෝ දෙනකු අනාවැකි පළ කර ඇතැයි ද බීබීසී පුවත් සේවය පවසයි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS