ඈත විශ්වයෙන් මිදුණු ජලය හමුවෙලා
ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ. නාසා ආයතනය සතු, අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ සුපිරි දුරේක්ෂයක් ලෙස ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සැලකෙයි. කෙටියෙන් ‘වෙබ්’ දුරේක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි.
ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙන්, අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත විශ්වයේ ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජල අංශු සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වූ අතර, මෙය ඉතා වැදගත් සොයා ගැනීමකි. මාධ්‍ය හරහා පුළුල් ප්‍රසිද්ධියක් ද ලැබුණි. පෘථිවියට ඔබ්බෙන්, අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ වස්තූන්වලින් මිදුණු ජලය සහ අයිස් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇති නමුත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත විශ්වයෙන් මිදුණු ජලය හමුවීම සුවිශේෂී සිදුවීමකි. මීට පෙර විද්‍යාඥයන්ට අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් මිදුණු ජලය හමුවී තිබුණේ නැත.
පළිගුකරණයට ලක්වුණු ජල අංශු හමුවී ඇත්තේ තැටියක ආකාරයෙන් යුත් තාරකා පද්ධතියකිනි. මෙම තාරකා පද්ධතිය ‘තරුණ’ තාරකා පද්ධතියක් යැයි විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ එහි වයස අවුරුදු මිලියන 23 ක් පමණක් වීම නිසාය. අපට අවුරුදු මිලියන 23 ක් යනු මහා කාලයක් වුවත්, තාරකා පද්ධතියකට නම් එය ‘තරුණ’ අවදියයි. ජල අංශු ඇති මෙම නව තාරකා පද්ධතිය ඇත්තේ ආලෝක වර්ෂ 155 ක් දුරිනි. තාරකා පද්ධතියට අයත් තාරකාව, අපගේ හිරුට වඩා උණුසුමින් වැඩි බව පැවැසෙයි. විද්‍යාඥයන් මෙම තරුව නම් කර ඇත්තේ, HD 181327 යනුවෙනි.
සෞරග්‍රහ මණ්ලයට අයත් පෘථිවිය සුවිශේෂී ග්‍රහලෝකයක් වන්නේ, එය පාෂාණමය ග්‍රහලෝකයක් නිසා පමණක් නොවෙයි. පෘථිවිය සුවිශේෂී වන්නේ, පෘථිවිය මතුපිට ද්‍රව ජලයෙන් පිරුණු මහා සාගර ඇති නිසාය. පෘථිවියේ ජීවය බිහිවූයේ ද ද්‍රව ජලය නිසාය. පෘථිවියට ජලය ලැබුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ විද්‍යාඥයෝ විවිධ අදහස් පළ කළහ.
විද්‍යාඥයන්ගේ අනුමානය වූයේ පෘථිවි වායු ගෝලය පසාරු කරමින් පැමිණි, දැඩි තාපය නිසා උණුවුණු උල්කාශ්මවලින් පෘථිවියේ ජලය නිර්මාණය වෙන්න ඇතැයි කියාය. කෙසේ නමුත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශයෙන් ලබා ගත් දත්ත අනුව, විද්‍යාඥයන්ගේ අදහස නම්, පෘථිවියට ජලය ලැබුණේ වල්ගා තරුවකින් බවය. මෙම වල්ගා තරුව, එසේත් නැතිනම් ධුර කේතය, අඟහරු සහ බෘහස්පති කක්ෂයන් අතරේ ඇති ප්‍රධාන ග්‍රහක වළල්ලට අයත් එකකි. වෙබ් දුරේක්ෂය ආධාරයෙන් විද්‍යාඥයන් අධ්‍යයනය කළේ 238P/Read නමැති වල්ගා තරුවය. මෙම වල්ගා තරුව වටා වලාකුළක් මෙන් ජල වාෂ්ප දැක ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබුණි. වල්ගා තරුවක් වටා මේ අයුරින් ජල වාෂ්ප ඇති බව සොයා ගත් පළමු අවස්ථාව මෙය විය.
විද්‍යාඥයන් වල්ගා තරුවේ ඇති මෙම ජල වාෂ්ප වලාකුළ නම් කර ඇත්තේ ‘කෝමා’ යනුවෙනි. ජල වාෂ්ප මෙසේ වලාකුළක් ලෙස දකින්න ලැබෙන්නේ, වල්ගාතරුව එහි කක්ෂය හරහා හිරු ආසන්නයෙන් යද්දී එහි අඩංගු අයිස් දියවීම නිසාය. 238P/Read වල්ගා තරුව ගැන අලුත් තොරතුරු වෙබ් දුරේක්ෂය ලබා දුන්නත් 238P/Read වල්ගාතරුව විද්‍යාඥයන් මුලින්ම සොයා ගත්තේ 2005 ඔක්තෝබරයේය
පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන එකහමාරක් දුරින් රඳවා ඇති මෙම දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂයක ගමන් කරන්නේ, තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ‘ස්කෑන්’ (පරිලෝකනය)කරමිනි. නාසා ආයතනය, දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ, ඇමෙරිකානු ‘නෝර්ත්රොප් ග්‍රමන්’ සමාගමටය. ‘නෝර්ත්රොප් ග්‍රමන්’ යනු අභ්‍යවකාශ සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ තාක්ෂණ සමාගමකි. වසර 24 ක් තිස්සේ නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් බව පැවැසෙයි. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සිවලට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් දහස් ගණනක් දෙනා දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වී ඇත
ජේම්ස් වෙබ් දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂයට, රත්තරන් අලේපකොට නිර්මාණය කළ දර්පන (කැඩපත්) සවි කර තිබේ. කුඩා දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි. වෙබ් දුරේක්ෂය විශ්වයේ රැඳවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයකි. ඉදිරි දශකය පුරා, මෙතෙක් සොයා නොගත්, විශ්වයේ තව තවත් අපූරු රහස් රැසක් අනාවරණය කර ගැනීමට වෙබ් දුරේක්ෂයට හැකිවනු ඇති බව නාසා විද්‍යාඥයන්ගේ අදහසය.
එන්.ඩී.ටීවී ඇසුරිනි