ආටිමිස් ආපසු එයි
එය සැබෑම වික්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ඒ අපූරු ත්‍රාසජනක ගගන වික්‍රමය අවසන් කර පෘථිවියට පැමිණියහ. ගගනගාමීන් සඳට ගොස් සඳ වටා කැරකී ආපසු ආවේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙනි.

යානය පෘථිවි කක්ෂයට ඇතුළු වීමෙන් පසු, චන්ද්‍ර යානයේ ගගනගාමීන් සිටින මොඩියුලය, එනම් කැප්සියුලය පෘථිවි වායු ගෝලයට ඇතුළු විය. වායු ගෝලය හරහා ගිනිගෙන දැවෙමින්, එය පහළට ආවේ කිලෝ මීටර් 40,000 කට වඩා වැඩි වේගයකිනි. කැප්සියුලය, සෙල්සියස් අංශක 2,760 කට වඩා අධික උෂ්ණත්වයකට ලක් විය.

ගගනගාමීන් සහ කැප්සියුලය ආරක්ෂා කර වූයේ සවි කර තිබුණු තාප පළිහ නිසාය. ගගනගාමීන් ඔවුන්ගේ තැබිලි පැහැති ගගන ඇඳුම් කට්ටලවලින් සැරැසී සිටියහ. පැරෂූට් දිග හැරී කැප්සියුලයේ වේගය අඩාල කළ අතර එය සෙමින් සෙමින් ලොස් ඇන්ජලීස් නගරයට ඔබ්බෙන්, පැසිෆික් සාගරයට පතිත වූ අතර, නාසා බලධාරීන් සහ ඇමෙරිකන් නාවික හමුදාව ගගනගාමීන් සිවුදෙනා පිළිගත්තේ ඔල්වරසන් දෙමිණි. ඒ අපූරු අවස්ථාව සජීවීව අප කාටත් දැක ගැනීමට හැකිවිය.
පුහුණු මෙහෙයුමක්
‘ආටිමිස් 2’ මෙහෙයුමට අයත් ‘ඔරායන්’ යානය, සඳට ගොඩබෑවේ හෝ ගගනගාමීන් සඳට පය තැබුවේ හෝ නැත. ‘ඔරායන්’ යානය සඳ වටා කැරැකී ආපසු පෘථිවිය බලා පැමිණියේය. ‘ඔරායන්’ යානයේ පද්ධති පරීක්ෂා කරමින්, ‘ආටිමිස් 3’ මෙහෙයුමට පෙරමග සකස් කිරීම ‘ආටිමිස් 2’ මෙහෙයුමේ අරමුණ විය. මිනිසුන් පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුමේදීය. ඒ, 1969 වසරේදීය. ‘ඇපලෝ 11’ මෙහෙයුම සාර්ථක වූයේ, 1968 වසරේදී සිදුවුණු ‘ඇපලෝ 8’ මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසුවය. ‘ඇපලෝ 8’ පළමු වරට ගගනගාමීන් තිදෙනකු ද සමග සඳ වටා ගොස් ආපසු පැමිණි මෙහෙයුමය. ‘ආටිමිස් 2’ ද එවැන්නකි. ‘ඇපලෝ 8’ ගගනගාමීහු තිදෙනා ද සඳ වටා ගොස් ආපසු පැමිණියහ. ‘ආටිමිස් 2’ කණ්ඩායම පෘථිවියේ සිට සැතපුම් 252,756ක (කි.මී. 406,771) උපරිම දුරකට ගමන් කරමින්, 1970 වසරේ ඇපොලෝ 13 යානය පිහිටුවා තිබූ සැතපුම් 248,655ක (කි.මී. 400,171) පෙර වාර්තාව බිඳ දැමූහ.
රීඩ් වයිස්මන් - අවුරුදු 50 යි
‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දුන්නේ මොහුය. රීඩ් වයිස්මන් පරිගණක සහ පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. නාසා සමඟ එක් වීමට පෙර, අවුරුදු 27 ක් පුරා නාවික හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කළේය. දක්ෂ ගුවන් නියමුවකු මෙන්ම පරීක්ෂණ නියමුවකු ද වෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුමේපොළේ දින 165 ක් ගත කර ඇති අතර, ගගන සක්මන් 2 ක් සම්පූර්ණ කළ අයෙකි.

වික්ටර් ග්ලෝවර් ජූනියර් - අවුරුදු 49 යි
‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ ඔරායන් යානයේ නියමුවාය. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, පියසැරි පර්යේෂණ ඉංජිනේරු විද්‍යාව, පද්ධති ඉංජිනේරු විද්‍යාව සහ හමුදා මෙහෙයුම් යන අංශයන්ගෙන් ශාස්ත්‍රපති උපාධි 3 ක් ද හිමිකරගෙන ඇත. ඇමෙරිකා නාවික හමුදාවේ කපිතාන්වරයෙකි. ප්‍රහාරක ගුවන් නියමුවකු සහ පරීක්ෂණ නියමුවකු ලෙස ලැබූ අත්දැකීම් බහුල ය. 2020 වසරේ, පළමු ස්පේස් එක්ස් මෙහෙයුමේ නියමුවා ලෙස ද කටයුතු කළේය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දින 168ක් ගත කර ඇති අතර ගගන සක්මන් 4ක් සිදු කර ඇත. කලින් සඳහන් කළ පරිදි, කක්ෂයෙන් ඔබ්බට සහ සඳ දක්වා ගිය පළමු කළු ජාතිකයා ලෙස වික්ටර් ග්ලෝවර් ඉතිහාසගත විය.
ක්‍රිස්ටීනා කොක් - අවුරුදු 47 යි
‘ආටිමිස් 2’ මෙහෙයුම්, පළමු මෙහෙයුම් විශේෂඥවරිය මැයයි. විදුලි ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ උපාධි දෙකක් සහ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරියකි. කාන්තාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ චාරිකාවට (දින 328) හිමිකම් කියන්නේ ද ඇයයි. ඒ, ඇය අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී හිදිමිණි. ඉතිහාසයේ පළමු වරට කාන්තා සහභාගිත්වයෙන් පමණක් සිදු වූ ගගන සක්මනට සහභාගී වූ ගගනගාමීනියන් දෙදෙනාගෙන් කෙනෙකි. ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ වී පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය සහ සඳ බලා ගිය පළමු කාන්තාව ක්‍රිස්ටීනා කොක්ය.
ජෙරමි හැන්සන් - අවුරුදු 50 යි
මෙහෙයුමට සම්බන්ධ දෙවැනි මෙහෙයුම් විශේෂඥයා ජෙරමි හැන්සන්ය. මොහු කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි. අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ කර්නල්වරයෙකි. සීඒෆ් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස ලබා ඇති අද්දැකීම් බහුලය. මෙය ඔහුගේ පළමු අභ්‍යවකාශ චාරිකාව වුව ද, මොහු නාසා හි අභ්‍යවකාශ පුහුණු වැඩසටහන්වලට පුළුල් දායකත්වයක් ලබා දී ඇතැයි පැවැසෙයි. චන්ද්‍ර මෙහෙයුමකට සහභාගී වුණු පළමු ඇමරිකානු ජාතිකයකු නොවන පුද්ගලයා ද මොහුය. නාසා ආයතනයේ ආටිමිස් මෙහෙයුම් නාසා ආයතනය පමණක් තනිවම සිදු කරන්නේ නැත. ලෝකයේ අනෙක් අභ්‍යවකාශ ආයතන (චීනය හැර) විවිධ අංශවලින් දායකත්වය ලබා දෙයි.
ඔරායන්
ඔරායන් යානය කොටස් කීපයකින් සමන්විත විය. එහි මුදුනේ ගගනගාමීන්ගේ මොඩියුලය (කැප්සියුලය) විය. ආපසු පෘථිවියට පැමිණියේ මෙම කැප්සියුලය පමණි. ගගනගාමීන්ගේ මොඩියුලයට පහළින් ඊට සම්බන්ධ වූයේ සේවා මොඩියුලයයි. යානයට අවශ්‍ය ඉන්ධන මෙන්ම ගගනගාමීන්ට අවශ්‍ය ඔක්සිජන්, ජලය, ආහාර ආදිය මෙහි අඩංගු විය. සූර්ය පැනල මීට සම්බන්ධ විය. රොකට්ටුවෙන් මිදී අභ්‍යවකාශයට ගිය ඔරායන් යානය, සඳ බලා ගියේත් ආපසු ආවේත්, සූර්ය පැනලවලින් ලැබුණු බලයෙනි. ප්‍රධාන ඇන්ජිම සහ ඇන්ජිමට සම්බන්ධ තෙරපුම් පද්ධතිය ද මෙම සේවා මොඩියුලයට අයත් විය. ඒ සියලු පද්ධති එකිනෙකට සම්බන්ධව තබා ගැනීම සිදු කළේ කාර්ය මණ්ඩල මෙහෙයුම් මොඩියුලයයි. ගගනගාමීන්ගේ මොඩියුලය නැතිනම් ගගන කැප්සියුලයේ ගගනගාමීන් සිවුදෙනාට වෙන වෙනම ආසන තිබුණි. මෙය කියුබික් මීටර් 9 ක් තරම් විය. ඊට කුඩා පාලන මැදිරියක් තිබුණි. කුඩා කවුළු 6 ක් විය. ගගනගාමීන් පෘථිවිය, සඳ නිරීක්ෂණය කළේත්, ඡායාරූප ගැනීම කළේත් මේ කවුළු හරහාය. කුඩා වැසිකිළිය සම්බන්ධ වූයේ ගගනගාමීන් අසුන් ගෙන සිටි තැනට පහළිනි. පහළින් කවුළුවක් විවෘත කර වැසිකිළියට යෑම සිදුවිය. දින 26 ක ගගන මෙහෙයුමකට අවශ්‍ය සියලු පහසුකම් මෙහි තිබුණි. ආටිමිස් 2 මෙහෙයුම යටතේ ඔරායන් වික්‍රමයට ගත වූයේ දින 10 ක් පමණි. ආටිමිස් 2 මෙහෙයුමේ මෙම සාර්ථක නිමාව හුදෙක් එක් ගමනක අවසානයක් පමණක් නොවේ. එය මානවයාගේ අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරයි. මෙම ගගන වික්‍රමයෙන් ලබාගත් අත්දැකීම් සහ දත්ත, මීළඟට චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩබසින ආටිමිස් 3 මෙහෙයුමටත්, අනාගතයේදී අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සඳහාත් අත්‍යවශ්‍ය පදනම සකසනු ඇත. ඔරායන් ගගන කැප්සියුලය සුරක්ෂිතව යළි පැමිණීම, තාක්ෂණයේ විශිෂ්ටත්වය සහ මිනිස් ධෛර්යයේ අපූර්වත්වය ලොවට කියාපාන ජීවමාන සාක්ෂියකි.
වැසිකිළිය
‘ආටිමිස් 2’ මෙහෙයුම පළමු දිනයේ ම, ගගනගාමීන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. එ්, ඔරායන් යානයේ කුඩා වැසිකිළිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවිනි. වැසිකිළි යෑමට නොහැකි වී පැය ගණනාවක් තිස්සේ ගගනගාමීන් අසරණ වුණු බව ද අපට දැනගන්න ලැබුණි. ඔරායන් යානයේ ඇති වැසිකිළි පද්ධතිය හැඳින්වෙන්නේ UWMS (Universal Waste Management System) යන නමිනි. අශ්‍යවකාශයේ ගුරුත්ව බලයක් නොමැති බැවින්, මෙම වැසිකිළි පද්ධතිය ක්‍රියාත්මක වන්නේ, වායු ප්‍රවාහයක් මාර්ගයෙනි. ද්‍රව සහ ඝන අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවතට ඇදගන්න මධ්‍යගත පාලක පරිපථයක් සහිත ද්විත්ව පංකා වෙන්කරනයක් යොදා ගැනෙයි. මුත්‍ර වෙනම මාර්ගයකින් යානයෙන් පිටතට මුදා හැරීම සිදුවෙයි. මළපහ වෙනම බදුනකට ගබඩා කර පෘථිවියට ආපසු රැගෙන එයි. වැසිකිළියේ හටගත් දෝෂය නිවැරදි කළේ ක්‍රිස්ටිනා කොක්ය. සඳට ගොස් සඳ වටා යද්දී ද වැසිකිළිය ලෙඩ දුන්නේය. එවිට ද ක්‍රිස්ටිනා කොක් එය යථා තත්ත්වයට පත් කළාය.
සෙල්ලම් බඩුව
ගගනගාමීහු සඳට යද්දී, පුළුන් පිරවූ සෙල්ලම් බඩු කීපයක් ද රැගෙන ගියහ. ඒ, යානය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී සඳට යද්දී සහ එද්දී, ගුරුත්වාකර්ෂණය නොමැති බව පාවෙන මෙම බඩුවලින් ඒත්තු ගැන්වෙන බැවිනි. ගගන ගමනට සෙල්ලම් බඩු සදහා විවිධ අදහස් එවන්නැයි ගමනට පෙර නාසා ආයතනය ඉල්ලා සිටි අතර ලොකු කුඩා බොහෝ දෙනකු අපූරු අදහස් එවා තිබුණි. නිර්මාණ 2,600කට අධික සංඛ්‍යාවක් අතරින්, කැලිෆෝනියාවේ පදිංචි 8 හැවිරිදි ලූකස් යේ නමැති පුංචි පුතා එවූ සිතුවමක් ඇසුරින් ‘රයිස්’ Rise නමැති සෙල්ලම් බඩුව නිර්මාණය වු අතර එය ද ගමනට එක් විය. එම සෙල්ලම් බඩුවෙන් නිරූපණය වුයේ සඳේ සිට බලද්දී පෘථිවිය සෙමින් සෙමින් නැගී එන ආකාරයයි. මෙම සෙල්ලම් බඩුව ඇතුළට සිම් කාඩ් පතක් ඇතුළත් කෙරුණි. ‘ඔබේ නම ආටිමිස් සමග සඳට යවන්න’ යනුවෙන් නාසා ආයතනය ඉකුත් ජනවාරියේ අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. එම වැඩසටහනට අනුව, නාසා වෙබ් අඩවියට සම්බන්ධ වී, ඕනෑම අයකුට තම නම ලබාදීම කළ හැකි විය. ලොව පුරා මිලියන 5කට අධික පිරිසක් (මේ සටහන ලියන මා ද ඇතුළුව) ආටිමිස් 2 මෙහෙයුමෙන් සඳට යවන්න නම් ලබා දී තිබුණි. සෙල්ලම් බඩුව ඇතුළට දැමූ සිම් කාඩ්පතේ අඩංගු වූයේ එම නම් ය.
නිහඬ මිනිත්තු 40
චන්ද්‍රයාගේ ඈත පැත්ත ගවේෂණය කරන යානා සඳට මුවා වෙද්දී, පෘථිවිය සමඟ ඇති පණිවුඩ හුවමාරු නවතී. ‘ආටිමිස් 2’ මෙහෙයුමට පෙර 1968 සහ 1972 දක්වා කාලයේ, සඳ බලා ගිය ඇපලෝ ගගනගාමීන් සඳේ අඳුරු පැත්ත දැක තිබේ. සඳේ අඳුරු පැත්ත දැකගත් ඇපලෝ ගගනගාමීන් ගණන 24 කි. ඔවුන් අතරට ආටිමිස් 2 ගගනගාමීහු සිවු දෙනා ද එක්වූහ. 1968 දී ඇපලෝ 8 මෙහෙයුමෙන් ප්‍රථම වරට සඳේ අඳුරු දුටුවේ, නාසා ගගනගාමීන් වන ෆ්‍රෑන්ක් බෝමන්, ජේම්ස් ලවල් සහ විලියම් ඇන්ඩර්ස්ය. අඳුරු පැත්ත අනාදිමත් කාලයක සිට මානව වර්ගයාගේ කුතුහලයට සහ වන්දනාවට පාත්‍ර වූ සඳ නැතිනම් චන්ද්‍රයා යනු පෘථිවියේ ඇති එකම ස්වභාවික උපග්‍රහයාය. පෘථිවියේ සිට කිලෝමීටර 384,400ක් පමණ දුරින් පිහිටි සඳ, පෘථිවිය වටා සිය කක්ෂගත ගමන යෑමට දින 27.3ක පමණ කාලයක් ගනී. චන්ද්‍රයා මත වායුගෝලයක් නොමැති අතර, එහි පෘෂ්ඨය ප්‍රධාන වශයෙන් සැදී ඇත්තේ පාෂාණ සහ දූවිලි වලිනි. රාත්‍රී අහසේ දීප්තිමත්ව පෙනුනද, චන්ද්‍රයාට ස්වයංව ආලෝකය නිපදවීමේ හැකියාවක් නොමැති අතර අපට පෙනෙන්නේ එය මතට පතිත වන සූර්යාලෝකය පරාවර්තනය වීමෙන් ලැබෙන දීප්තියයි. සඳේ ‘අඳුරු පැත්ත’ (Dark Side of the Moon) යන්න බොහෝ දෙනකු වරදවා වටහා ගන්නා සංකල්පයකි. සැබවින්ම සඳට ස්ථිරවම අඳුරේ පවතින පැත්තක් නැත.

සඳ පෘථිවිය වටා භ්‍රමණය වන වේගය සහ එය තමා වටාම කැරකෙන වේගය සමාන වීම නිසා (Synchronous Rotation), අපට පෘථිවියේ සිට නිරන්තරයෙන්ම දැකගත හැක්කේ සඳේ එකම පැත්තක් පමණි. මේ නිසා පෘථිවියට කිසිදා දර්ශනය නොවන පැත්ත ‘සඳේ ඈත පැත්ත’ (Far Side) ලෙස හැඳින්වීම වඩා සුදුසු යැයි විද්‍යාඥයන්ගේ අදහසය. මෙම ‘ඈත’ පැත්තට ද අප සාමාන්‍යයෙන් දකින පැත්තට සේම ඒ හා සමානවම සූර්යාලෝකය හොඳින් පතිත වෙයි. එසේ වුවත්, එම පැත්ත පෘථිවියට නොපෙනෙන බැවින් එය පෘථිවි අපට රහසක් විය. ගවේෂණය චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙම ‘ඈත පැත්ත’ ගවේෂණය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වූයේ පෘථිවිය සමඟ සෘජු ගුවන් විදුලි සන්නිවේදනය පවත්වා ගැනීමට සඳෙහි ස්කන්ධය බාධාවක් වන බැවිනි. සඳේ ඈත පැත්ත පිළිබඳ ප්‍රථම ඡායාරූප ලබා ගැනීමට 1959 දී සෝවියට් සංගමයේ ‘ලූනා 3’ යානය සමත් විය. ඈත පැත්තට කලාපය මත යානයක් මෘදුව ගොඩබැස්වීමට ප්‍රථම වරට සමත් වූයේ සෝවියට් සංගමය හෝ ඇමෙරිකාව හෝ නොව, චීනයයි. 2019 දී චීනයේ ‘චැංග් ඊ 4’ රොබෝ යානය සඳේ ඈත පැත්තේ පිහිටි ‘වොන් කාර්මන්’ නමැති ආවාටය මත සාර්ථකව ගොඩබස්වන ලද අතර, එමඟින් පෘථිවියට සන්නිවේදනය ලබා ගැනීම සඳහා ‘ක්වේකියෝ’ නම් රිලේ චන්ද්‍රිකාව භාවිතයට ගන්නා ලදී.
ආටිමිස් 3
අනාගතයේ සඳ මත මිනිස් ජනාවාස පිහිටුවීම සහ සඳෙහි ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව විද්‍යාඥයන් දැඩි උනන්දුවක් දක්වයි. විශේෂයෙන්ම සඳේ ඈත පැත්තේ ඇති පාෂාණ සංයුතිය පෘථිවියට මුහුණලා ඇති පැත්තට වඩා වෙනස් වීමත්, එතැන් සිට විශ්වයේ ඈත ගවේෂණය කිරීමට පෘථිවියේ ගුවන් විදුලි තරංග බාධාවක් නොවීමත් නිසා එම ප්‍රදේශය තාරකා විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් වෙයි. නාසා ආයතනය ඔවුන්ගේ ‘ආටිමිස්’ වැඩසටහන හරහා මිනිසකු පමණක් නොව, ගැහැනියක ද සඳ මතට යැවීමට සූදානම් වෙයි. ඒ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේ 2035 වසරෙන් පසුවය. එම ‘ආටිමිස් 3’ මෙහෙයුමේ ඉලක්ක සඳේ දකුණු ධ්‍රැවයයි. ‘ආටිමිස් 3’ මෙහෙයුමේ සාර්ථකත්වය යනු හුදෙක් සඳට යෑම පමණක් නොව, එතැන් සිට අඟහරු ලොව දක්වා යන ගමනක පෙරහුරුවකි. සඳ මත ගොඩනගන ‘ගේට්වේ’ (දොරටුව) නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ පර්යේෂණ කඳවුරු හරහා ලැබෙන අත්දැකීම්, ඉදිරි දශකවලදී මිනිසා අඟහරු වෙත යැවීමේ සිහිනය සැබෑ කර ගැනීමට මහෝපකාරී වනු ඇතැයි නාසා කියයි.

කැරොල්
ගගනගාමීහු සඳ වටා යමින් සඳ නිරීක්ෂණය කරද්දී, සඳේ ආවාට දෙකක් නිරීක්ෂණය කළහ. එක් ආවාටයක් නම් කළේ ඉන්ටෙග්‍රිටි (Integrity) යන නමිනි. ඒ, ඔරායන් අභ්‍යවකාශ යානයේ නිල නාමය වන 'ඉන්ටෙග්‍රිටි' (Integrity) යන්නට ගෞරවයක් වශයෙනි. අනෙක් ආවාටය නම් කළේ කැරොල් (Carroll) යනුවෙනි. කැරොල් යනු මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්ගේ මියගිය බිරිඳය. වෘත්තීයමය වශයෙන් හෙදියක වූ ඇය කැරොල් ටේලර් වයිස්මන්ය. කැරොල් 2020 දී පිළිකා රෝගයකින් මියගියාය. රීඩ් සහ කැරොල් විවාහ වූයේ 2003 දීය. ඒ වනවිට රීඩ් වයිස්මන් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක යානා නියමුවකු ලෙස සේවය කළේය. ඔහු නාසා ආයතනය සමග එක්වූයේ ඉන්පසුවය. යුවලට දියණියෝ දෙදෙනකි. මියයනවිට කැරොල්ගේ වයස අවුරුදු 46 කි. ආවාටය පිහිටා ඇති ස්ථානය ඉතාමත් සුවිශේෂීයි. කැරොල් සඳේ පෘථිවියට පෙනෙන සහ නොපෙනන මායිමේ ඇති බැවින් පෘථිවියේ සිට පවා එය නිරීක්ෂණය කළ හැකි බව නාසා පසුව පැවැසීය.

ට්‍රම්ප්ගේ ඇරයුම
සඳට යද්දීත්, ආපසු එද්දීත්, ගගනගාමීන් සජීවීව පෘථිවිය සමග සම්බන්ධ විය. ඇමෙරිකන් මාධ්‍ය සමග සම්බන්ධ විය. ඔවුහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ. එක් අවස්ථාවක, ඉරානයට දිගට හරහට ගහනවා යැයි කියමින් තර්ජනය කරමින් සිටි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ සිට නාසා පාලන මැදිරිය හරහා ගගනගාමීන් සමග සම්බන්ධ විය. ගගනගාමීන් වීරයන් බව පවසමින්, ඔවුන්ගේ වික්‍රමය අගය කිරීමට ට්‍රම්ප් අමතක කළේ නැත. ගගන වික්‍රමය අවසන් කර ආපසු පැමිණි පසු, ධවල මන්දිරයට එන්නැයි ට්‍රම්ප්, රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන්ට ඇරැයුම් කළේය.





