අවුලක් වුණු AI

ඒ, 2026 ජනවාරි 3 වැනිදාය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින්, ඩෙල්ටා ෆෝස් බලඇණිය, මහ රෑ වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට ගොස් පහර දී, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා කුදලාගෙන ආවේය. මදුරෝ අල්ලා ගැනීමේ එම මෙහෙයුමට ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඒ.අයි. කෘත්‍රිම බුද්ධියක සහාය ලබා ගත්තේය. පසුගිය 28 වැනිදා ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එක් වී, ඉරානයට පහර දීමට ඇමෙරිකන් හමුදා මෙහෙයවද්දී, පෙන්ටගනය එම කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා ගත්තේය.
කෘත්‍රිම බුද්ධිය ගැන සරලව පැහැදිලි කළොත්, කෘත්‍රිම බුද්ධිය යනු මිනිසකු මෙන් බුද්ධිමත්ව තීරණ ගැනීමට සහ කාර්යයන් ඉටු කිරීමට පරිගණක පද්ධති වලට ලබා දෙන හැකියාවය. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් ක්‍රියා කරන්නේ අප ලබා දෙන නියෝග මත පමණක් වුවත්, කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒ.අයි. (AI) තාක්ෂණය මගින් පරිගණකයකට අතිවිශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් තනිවම ඉගෙන ගැනීමට හැකියාව ලැබෙයි. උදාහරණයක් ලෙස, භාෂාවක් තේරුම් ගැනීම, පින්තූර හඳුනා ගැනීම හෝ ඉදිරියේදී සිදුවිය හැකි දෙයක් ගැන අනාවැකි කීම වැනි සංකීර්ණ කාර්යයන් කිරීමට මේ හරහා මෘදුකාංග පුහුණු කෙරෙයි. ඉන්පසු අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට ගතවන්නේ තත්පර කීපයක් පමණි.
වර්තමානයේ අප අතර වඩාත්ම ජනප්‍රිය මෙවලම වන්නේ චැට්ජීපීටී (ChatGPT) ය. ඊට අමතරව, ජෙමිණි (Gemini) ද ජනප්‍රිය සංවාදශීලී ඒ.අයි. කෘත්‍රිම බුද්ධි මෙවලමකි. මෙම කෘත්‍රිම බුද්ධි මෙවලම්, නැතිනම් වැඩසටහන් හරහා අවශ්‍ය තොරතුරක් පැහැදිලිව ලබා ගැනීම, ලිපි ලිවීම, කවි හෝ කතා නිර්මාණය, සංකීර්ණ කරුණු සරලව පැහැදිලි කර ගැනීම සහ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම කළ කළ හැක. ඔබ නිර්මාණ ක්ෂේත්රයට සම්බන්ධ අයකු නම්, ඔබේ වැඩ පහසු කරදෙන ඒ.අයි. (AI) මෙවලම් වන්නේ මිඩ්ජර්නි (Midjourney) හෝ ඩැල්ඊ (DALL-E) ය. මිඩ්ජර්නි (Midjourney) හෝ ඩැල්ඊ (DALL-E) වැනි මෙවලම් භාවිතා කරමින් තමන්ගේ සිතුවිලි සැබෑ රූප බවට පත් කර ගැනීමට හැකිවෙයි. මීට අමතරව, එදිනෙදා රැකියා කටයුතු වලදී, කාර්යාලීය සහායකයකු ලෙස මයික්‍රෝසොෆ්ට් කෝපයිලට් (Microsoft Copilot) වැනි මෙවලම් මගින් ඊමේල් ලිවීම සහ දත්ත විශ්ලේෂණය පහසු කර දෙයි.
ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන සෑම මොහොතකම, ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පසුබිමින් ක්‍රියාත්මක වෙයි. ස්මාර්ට් ජංගම දුරකථනය ඔබේ සිතැඟි වටහා ගනී. යූටියුබ් (YouTube) හෝ ටික්ටොක් (TikTok) හරහා ඔබ කැමතිම වීඩියෝ පෙළගැසීම, ගූගල් මැප්ස් (Google Maps) මගින් ඔබ ගමන් කළ යුතු කෙටිම මාර්ගය ඔබට පෙන්වීම සහ දුරකතනයේ කැමරාව මගින් ඔබේ මුහුණ හඳුනාගෙන, එහි අගුලු ඇරීම (අන්ලොක් කිරීම Unlock) කිරීම හොඳම උදාහරණ ලෙස දැක්විය හැක. කෙටියෙන් කිවහොත්, ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය යනු අපේ කාලය ඉතිරි කරන සහ අපගේ හැකියාවන් වර්ධනය කරන අතිශය බලවත් සහායකයෙක් ලෙස අද වන විට පත්ව අවසන්ය.
ඒ.අයි. තාක්ෂණය සහ යුධ කටයුතු අතර සම්බන්ධය ගැන කතා කරද්දී, මෙම 2026 වසර අතිශය වැදගත්ය. ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, ඇන්ත්‍රොපික් (Anthropic) නමැති ඒ.අයි. සමාගම සමග එක් වී සිටී. එය මේ වනවිට අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇත. පෙන්ටගනය භාවිතයට ගන්නේ ඇන්ත්‍රොපික් සමාගමේ ක්ලෝඩ් (Claude) නමැති කෘත්‍රිම බුද්ධි මෙවලමය. පෙන්ගටනය ඉරානයට පහර දුන්නේ ක්ලෝඩ් මෙවලම භාවිතයට ගනිමින්, කළ යුතු ප්‍රහාර පිළිබඳ විශ්ලේෂණය කරමින් සහ එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත්, මතුවල ඵලවිපාක පවා ක්ලෝඩ් හරහා පැහැදිලි කර ගනිමිනි. ඉරානයට පහරදීමට, පෙන්ටගනය ක්ලෝඩ්ගේ සහාය ලබා ගත්තේ, වෙනිසියුලා ජනාධිපති කුදලාගෙන ඒමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමෙන් පසුවය.
යුද කටයුතුවලදී ක්ලෝඩ් හොඳ සහායකයකු වුවත්, ක්ලෝඩ් මුල්කොට ගනිමින්, පෙන්ටගනය සහ ඇන්ත්‍රොපික් සමාගම අතරේ අර්බුදයක් නිර්මාණය වී මේ වනවිට හොඳ හිත පවා පළුදු වී අවසන් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පෙන්ටගනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් (ඇමති) ය. වර්තමානයේ, ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පීටර් හෙගසෙත්ය. වෙනිසියුලා සිද්ධියෙන් පසු, පීටර් හෙගසෙත්ට අවශ්‍ය වූයේ ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධිය සතු සියලුම හැකියාවන් පාවිච්චියට ගැනීමටය. ඕනෑම දියුණු ඒ.අයි. පද්ධතියක සඳහා යම් සීමා කිරීම් (Restrictions) සහ ආරක්ෂක විධිවිධාන (Guardrails) පනවා ඇත. ඊට හේතුව, එම ඒ.අයි. පද්ධතියෙන් මනුෂ්‍ය අපට හානියක් වනු ඇතැයි යන සැකයෙනි. ක්ලෝඩ්ට ද එසේමය. පීටර් හෙගසෙත්, ඇන්ත්‍රොපික් සමාගමෙන් ඉල්ලීමක් කළේය. ඒ, යුද මෙවලමක් ලෙස ක්ලෝඩ් දිගින් දිගටම භාවිතයටගැනීම සඳහා ක්ලෝඩ්වලට යොදා ඇති සීමා කිරීම් (Restrictions) සහ ආරක්ෂක විධිවිධාන (Guardrails) ඉවත් කර දෙන ලෙසටය. ඕනෑම නීත්‍යානුකූල හමුදා කටයුත්තක් සඳහා ක්ලෝඩ් භාවිතයට ගැනීම පෙන්ටගන් ප්‍රධානියාගේ අරමුණ වී ඇත.
ක්ලෝඩ් අයත් ඇන්ත්‍රොපික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඩැරියෝ අමෝඩේයි ය. ඇන්ත්‍රොපික් සමාගම නිර්මාණය වූයේ, ඕපන් ඒ.අයි. (OpenAI) වැනි සමාගම්වලින් ඉවත් වූ පිරිසක් හවුල් වෙමිනි. ඇන්ත්‍රොපික්, ඒ.අයි. ආරක්ෂාව මූලික කර ගනිමින් ස්ථාපිත කළ තාක්ෂණික සමාගමකි. පීටර් හෙගසෙත්ගේ මෙම ඉල්ලීමට ඩැරියෝ අමෝඩේයි හෝ ඇන්ත්‍රොපික් සමාගම හෝ එකඟත්වය පළ කළේ නැත. අර්බුදයක් නිර්මාණය වූයේ ඒ නිසාය. පීටර් හෙගසෙත්, ඇන්ත්‍රොපික් සමාගමට තර්ජනය කර ඇත්තේ, තම ඉල්ලීමට ඉඩ නොදෙන්නේ නම්, ඇන්ත්‍රොපික් සමාගම සමඟ ඇති කරගත් ඩොලර් මිලියන 200 ක ගිවිසුම අවලංගු කරන බවටය. එපමණක් නොවෙයි, ඇන්ත්‍රොපික් සමාගම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයේ තාක්ෂණික සමාගම් ලෙස නම් කරනවා කියා ද පෙන්ටගන් ප්‍රධානියා තර්ජනය කර ඇත.
කුමන ආකාරයේ තර්ජන ආවත් තම සමාගමේ ප්‍රතිපත්ති පාවා නොදීමට ඩැරියෝ අමෝඩේයි තීරණය කළේය. සීමා කිරීම් සහ ආරක්ෂක විධිවිධාන ඉවත් කළහොත්, පෙන්ටගනයට ක්ලෝඩ් යොදා ගනිමින්, ඇමෙරිකන් සිවිල් වැසියන් ගැන ඔත්තු බැලීම කළ හැකිවන බව ඔහු ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නේය. එවැනි දේ සිදුවීමට තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අමෝඩේයි තරයේ කියා සිටියේය. ඒ අනුව, දැන් ට්‍රම්ප් පරිපාලනය තීරණයක් ගෙන අවසන්ය. ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආයතනවලට නියෝග කළේ ඇන්ත්‍රොපික් සමාගමේ තාක්ෂණය භාවිතා කිරීම වහාම නවත්වන ලෙසය. ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධිය තහනම් කෙරුණි. ඇමෙරිකන් රජයට සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් වන ලෙසටත්, පෙන්ටගනයෙන් ඉවත් වන ලෙසටත් ට්‍රම්ප් පරිපාලනය, ඇන්ත්‍රොපික් සමාගමට අණ කළේය. ඉවත් වීම සඳහා මාස 6 ක කාලයක් ලබා දුන්නේය.
෴ ලුසිත ජයමාන්න

