අවසානය ට්‍රම්ප් දන්නේ නෑ



මුළු ලෝකයටම ප්‍රශ්නයක් වී ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහර දෙන්නේ ඇයිදැයි යන්නය. මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැත. ට්‍රම්ප් පිළිතුරක් දන්නේ ද නැත. ට්‍රම්ප් විටින් විට විවිධාකාරයේ පිළිතුරු දෙමින් පැහැදිලි කිරීම් කිරීම මීට හේතුවය.

තමන් ඉරානයට පහර දෙන්න අණ කළේ ඉරාන වැසියන් පීඩාවට පත් කරන ඉස්ලාමීය රෙජීමය අවසන් කිරීමට යැයි ට්‍රම්ප් කියයි. ඊශ්‍රායලයට අවශ්‍ය නිසා ඊශ්‍රායලය සමග එක් වෙමින් ඉරානයට පහර දෙන බව කියයි. ඉරානය පරමාණු බෝම්බ නිපදවීමට ඔන්න මෙන්න බවත්, ඒ නිසා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට පහර දෙන බව කියයි. ඉරාන බැලැස්ටික මිසයිල වැඩසටහන විනාශ කිරීමට පහර දෙන බව කියයි. කෙසේ හෝ වේවා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ආරම්භ කළ යුද්ධය මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් පවතී.

ට්‍රම්ප් කොතරම් අනතුරු ඇඟවීම් කළත්, තර්ජන කළත් ඉරානය ඒවා තැකීමකට ගන්නේ නැත. දිගින් දිගටම අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙයි. ඇමෙරිකාවට හිතවත් වී සිටීම නිසා කටාර් රාජ්‍යය, ඒමිරේට්ස් රාජ්‍යය, බහරේනය, සෞදිය ආදිය ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල ඉලක්කය වී ඇත.

ප්‍රහාරය එල්ල වෙද්දී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් යුද්ධය අවසන් කිරීම සඳහා කොන්දේසි තුනක් ඉදිරිපත් කළේය. ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම, සිදුවුණු යුද හානි වෙනුවෙන් ඉරානවයට වන්දි ගෙවීම, සහ අනාගතයේදී එල්ල විය හැකි ආක්‍රමණවලට එරෙහිව ස්ථිර ජාත්‍යන්තර ඇපකර ලබාදීම යනු එම කොන්දේසි තුනය. සිදුවුණු යුද හානි වෙනුවෙන් ඉරානවයට වන්දි ගෙවීමට එකඟවන්නේ නම් හෝමූස් නැව් ගමනාගමන කටයුතුවලට කිසිදු බාධාවක් නොකරන බව ද ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව පහර දීම් ආරම්භ කළේ ඉකුත් 28 වැනිදාය. ඉරානය හතර වටේ ඇති ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙමින්, ඔවුන්ගේ තුරුම්පුව භාවිත කළේය. ඒ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමන කටයුතු නවත්වමිනි. හෝමූස් යනු පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන ඉතා පටු, එහෙත් ලෝක දේශපාලනයට හා ආර්ථිකයට අතිශය තීරණාත්මක මුහුදු මාර්ගයයි.

හෝමූස් හරහා සිදුවන බොරතෙල් ප්‍රවාහනයට ඉරානයෙන් බාධා එල්ල වෙද්දී තෙල් මිල ඉහළ ගියේය. ඒත් යුද්ධය වැඩි දිනක් දිග්ගැස්සෙන්නේ නැතැයි ට්‍රම්ප් ලෝකයා හමුවේ පැවැසීමත් සමග තෙල් මිල යළි පහළ ගියේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා මෙහෙයුම් අතරමග නතර නොකර එය සම්පූර්ණයෙන්ම අවසන් කරන බවය. ට්‍රම්ප් මේ බව අවධාරණය කළේ ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීමට තවදුරටත් ඉලක්ක ඉතිරිව නොමැති බැවින් යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි කියා පැය කීපයක් යද්දීය.

ට්‍රම්ප්ගේ මෙම එකිනෙකට පරස්පර විරෝධී අදහස් ලෝකයට ලොකු අනතුරක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ඉරාන යුද්ධය අතරමඟ නවත්වන්නේ නැතැයි ට්‍රම්ප් කීවේ කෙන්ටකි ප්‍රාන්තයේ හෙබ්‍රොන් නුවර පැවැති ජන රැලියක් අමතමිනි. “අපට යුද්ධය අතරමඟ නවත්වන්න බැහැ. ආරම්භ කළ කාර්යය නිසි ලෙස එය අවසන් කළ යුතුයි.” මේ ට්‍රම්ප්ගේ වදන්ය. ඒ අනුව, ලෝක දේශපාලන විශ්ලේෂකයින් දිගින් දිගටම බිය පළ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම ස්ථාවරය කලාපීය යුද්ධය තවදුරටත් දිග්ගැස්සීමට හේතු විය හැකි බවය.

ඉරානය දිගින් දිගටම පවසන්නේ,‍ යටත් වීමකට තමන් සූදානම් නොමැති බවත්, දීර්ඝ යුද්ධයකට සූදානම් බවත්ය. ලෝක ආර්ථිකයම විනාශ කළ හැකි ආකාරයේ දීර්ඝකාලීන යුද්ධයකට තමන් සූදානම් බව ඉරානය පැවැසුවේ, ලෝක තෙල් වෙළඳාමේ මර්මස්ථානයක් ලෙස ද සැලකිය හැකි හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමන කටයුතුවලට දිගින් දිගටම බාධා කරමිණි. මේ වනවිට හෝමූස් ආශ්‍රිත මුහුදේ ද දරුණු ගැටුම් නිර්මාණය වෙමින් පවතී.

ඇමෙරිකාව යුද නැව් පමණක් නොව, ප්‍රංශ සහ පාකිස්තාන යුද නැව් ද එම මුහුදු කලාපයට සේන්දු වී ඇත්තේ ඉරානයට විරෝධය දක්වමිනි. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කරමින් ඉරානය වෙළඳ නාවික යාත්‍රා දෙකකට ප්‍රහාර එල්ල කෙරුණු බව ද වාර්තා විය. හෝමූස් ආසන්නයට පැමිණෙන, ඇමරිකාවට මිත්‍රශීලීව කටයුතු කරන ඕනෑම යාත්‍රාවකට තමන් පහර දෙන බව ඉරානය අනතුරු අඟවා ඇත.

ඇමෙරිකන් ඉරාන යුද්ධය දිනෙන් දින උණුසුම් වෙද්දී, පර්සියානු බොක්කේ පිහිටි වර්ග හැතැප්ම 8ක පමණ ඉතා කුඩා ගොඩබිම් තීරුවක් ගැන මේ වනවිට කාගේත් කතාබහට ලක් වෙයි. මෙම බිම් තීරුව කුඩා දූපතකි. ජිසෙල් ඇන්ටිලොප් මුවන් නිදැල්ලේ හැසිරෙන, 8,000 ක පමණ ජනගහනයක් වාසය කරන මෙම නිහඬ දූපත ඉරාන පාලන තන්ත්‍රයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය යැයි කීවොත් එය නිවැරදිය. ඇමෙරිකානු ආරක්ෂක අංශ මේ වන විට ඉරානයට අයත් මෙම ඛාර්ග් දූපත

තම ග්‍රහණයට ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැඩි ලෙස සාකච්ඡා කරමින් සිටින බව පැවැසෙයි. මෙය හුදු යුදමය තීරණයකට වඩා ප්‍රබල ආර්ථික මෙහෙයුමක් යැයි ද පැවැසෙයි. ඉරාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි මෙම දූපත සුන්දර වෙරළ තීරයක් නිසා ප්‍රසිද්ධ වූ තැනක් නෙවෙයි. මෙය ඉරානයේ සමස්ත ආර්ථිකයේ හෘද ස්පන්දනය බඳු ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයයි. ඉරානය දිනකට බොරතෙල් බැරල් මිලියන 3.5කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, ඉන් බැරල් මිලියන 2ක් පමණ අපනයනය කෙරේ.

මේ අපනයනවලින් සියයට 90 ක් සිදුවන්නේ මෙම ඛාර්ග් දූපත හරහාය. ඉරාන විප්ලවීය හමුදාව සතු ඩොලර් බිලියන 50ක තෙල් කර්මාන්තයේ ප්‍රධාන මර්මස්ථානය මෙයයි. ඉරාන හමුදාවේ වැටුප්, රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සිදුවන්නේ, මෙම දූපතේ සිට චීනය ඇතුළු රටවලට යවන තෙල් නැව් හරහාය. මෙම දූපත අකර්මන්‍ය වුවහොත් ඉරාන රජයට තම සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. ඇමෙරිකාව උත්සාහ ගනිමින් සිටින බව පැවැසෙන්නේ, මෙම දූපත කෙසේ හෝ අල්ලා ගැනීමටය.

1979 සිට බලයට පත් වූ සියලුම  ජනාධිපතිවරයෙකුටම මෙම දූපත අත්පත් කරගැනීමේ යෝජනාව ඉදිරිපත් වුවත්, කිසිවෙකුත් මෙතෙක් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී නැත. හේතුව මෙම දූපතට පහර දී අත්පත් කර ගැනීම යනු ලොකු අවදානමක් බැවිනි. ඇමෙරිකාව මෙම දූපතට පහර දුන්නොත්, ඉරානය ඇමෙරිකන් ඉලක්ක ඇති අසල්වැසි රටවල යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් පහර දෙනු ඇත. එය ලෝක ආර්ථිකයටම බලපාන දැවැන්ත අර්බුදයක් වනු නොඅනුමානයි.

ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ පෙළේ උපදේශක අලි ෆදාවි ඉරාන රජයේ රූපවාහිනිය හරහා ප්‍රකාශ කළේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මෙම යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන ගියහොත් මුළු මහත් ලෝක ආර්ථිකයම බිඳ වැටෙනු ඇති බවය. ඉරාන අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ ලයිබීරියානු සහ තායිලන්ත ධජය සහිත නාවික නැව් දෙකකට ඉරානය ප්‍රහාර එල්ල කළ බවත්, ඉන් තායිලන්ත නැවේ ගින්නක් හටගත් බවත් පැවැසිණි.

ඉකුත් 28 වැනිදා අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් ඇරඹුණු යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සිය රක්ෂිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදා හැරීමට තීරණය කර ඇති අතර, එය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම තෙල් මුදා හැරීම බව ද පැවැසෙයි. ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඩුබායි ගුවන්තොටුපොළ සහ ඕමානයේ සලාලා වරායට ද හානි සිදුව ඇති අතර, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපයක් සිය සේවකයන් ඩුබායි නගරයෙන් ඉවත් කර ගැනීමට ද පියවර ගෙන ඇත.

ඉරාන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඔහුට හිතෙන හිතෙන විදියට අදහස් පළ කළත්, ඊශ්‍රායලය දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ඉරානයටත්, ඉරාන හිතවාදී ලෙබනනයේ හිස්බුල්ලා ද ඇතුළු සෙසු සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම්වලට නොනවත්වා පහර දෙන බවය. ඊශ්‍රායලය අසල්වැසි ලෙබනනයට පහර දෙන්නේ හිස්බුල්ලා ඉලක්ක කර ගනිමිනි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති ආකාරයට ඊශ්‍රායල හමුදාව ඔවුන්ගේ මෙහෙයුම් කාල සීමාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටී. ලෙබනනයේ බීරූට් අගනුවරට පවා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වෙයි. ලෙබනන් සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ඊයේ (11) වෙද්දී, එම ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1,200කට අධික පිරිසක් මියගොස් 10,000කට වැඩි පිරිසක් තුවාල ලබා සිටියහ.

ඉරානයේ අසල්වැසියන් වන බහරේනය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන ගල්ෆ් කලාපීය රටවලට ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දැන් දැන් හිසරදයක් වී ඇත. එම රටවල ජනජීවිතය දිනෙන් දින අවුල්සහගත තත්ත්වයකට ඇද වැටෙයි. ඉරානය පහර දෙන්නේ මෙම රටවල ඇති ඇමෙරිකන් ඉලක්කවලට වුවත් සිවිල් වැසියන්ට ද හානි සිදුවෙයි. ජීවිත හානි පවා වාර්තා වෙයි.

ඉරානය තමන්ට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මෙම රටවල් දැනුම් දී ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී ඉරානයට බල කිරීමක් කළේය. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කර ගනිමිනි. ඉරානයේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට එල්ල වූ බරපතල තර්ජනයක් බව ඒ අනුව ආරක්ෂක මණ්ඩලය පෙන්වා දුන්නේය‍.

මෙම යෝජනාව සම්මත වූයේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 13 ක එකඟතාවයෙනි. එහිදී රටවල් දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ඒ චීනය සහ රුසියාවය. ගල්ෆ් රාජ්‍යයන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් සම්මත වුණු යෝජනාවේ, ලෝක ඉන්ධන වෙළඳාමේ මර්මස්ථානය වන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමට හෝ එය වසා දැමීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස හෙළා දකින බව ද සඳහන් වෙයි.

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා පත් කරගත් මොජ්ටාබා කමේනි, තමන්ගේ ඉල්ලීම්වලට එකඟ විය යුතු බවත් එසේ එකග නොවන්නේ නම්, ඔහු ඝාතනය කරන බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීමට මොජ්ටාබා කමේනි එකඟ වන්නේ නම් මේ සියල්ල අවසන් වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත. මෙය ද ට්‍රම්ප්ගේ පරස්පර විරෝධී අදහස් දැක්වීමකි. ඉකුත් පෙබරවාරි 28 වැනිදා, හිටපු උත්තරීතර නායක ලෙස වසර 40 කට ආසන්න කාලයක් එම ධුරය හෙබවූ අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ අයුරින් මොජ්ටාබා කමේනි ඝාතනය කරන බවට ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද ප්‍රතිඥා දී අවසන්ය. මොජ්ටාබා කමේනි යනු අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයාය. 

ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් කියා සිටියේ ඉරානය ඔවුන්ගේ නව නායකයා ලෙස මොජ්ටාබා තෝරා ගැනීම පිළිබඳව තමන් කිසිසේත්ම සතුටු නොවන බවය. වෙනිසියුලාවේ දේශපාලන අර්බුදයට ඇමෙරිකාව මැදිහත් වූවාක් මෙන්, ඉරානයේ නායකයා තෝරා ගැනීමේදී ද ඇමෙරිකාවට තීරණාත්මක හඬක් තිබිය යුතු බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. කෙසේ නමුත්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කුදලාගෙන ආ සැණින් වෙනිසියුලා දේශපාලනයේ පෙරළියක් සිදුවුණු ආකාරයට ඉරානයේ දේශාපලන පෙරැළියක් කළ නොහැකි බව ට්‍රම්ප්ට අවබෝධයක් නොතිබුණු බව පැහැදිලිය.

විදෙස් වාර්තා අනුව, ඝාතනයට ලක්වුණු අයතුල්ලා අලි කමේනි සිය අන්තිම කැමැත්තෙන් ප්‍රකාශ කර ඇත්තේ තම දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා උත්තරීතර නායකයා ලෙස තෝරා නොගත යුතු බවය. තම අනුප්‍රාප්තිකයා ලෙස අයතුල්ලා අලි කමේනි, සිය අන්තිම කැමැතෙන් නම් කර ඇත්තේ සිය පළමු පුත්‍රයා මුස්තාෆා කමේනි ය. කෙසේ නමුත්, 28 වැනිදා ප්‍රහාරයෙන් මුස්තාෆා කමේනි ද මියගියේය. ඒ අනුව, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව බලෙන් මෙන් මොජ්ටාබා එම ධුරයට පත් කිරීමට කටයුතු කර ඇතැයි පැවැසෙයි.

56 හැවිරිදි මොජ්ටාබා මීට පෙර කිසිදු නිල රජයේ තනතුරක් දරා නොමැති අතර, ඔහු සිය පියාගේ අභ්‍යන්තර කවය තුළ සිටිමින් තිරය පිටුපස සිට බලය මෙහෙයවූවකු ලෙස ප්‍රකටය. ඊශ්‍රායල ආරක්ෂක අංශද නිවේදනය කර ඇත්තේ තෙහෙරානයේ ‘ත්‍රස්ත ක්‍රියා’ ඉදිරියට ගෙන යන ඕනෑම ඉරාන නායකයකු තම ඉලක්කයක් වනු ඇති බවය. අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ ගුවන් ප්‍රහාරයෙන් මොජ්ටාබා කමේනි ද බරපතල තුවාල ලැබූ බව පැවැසෙයි. සයිප්‍රසයේ ඉරාන තානාපති අලිරේසා සලාරියන් ‘ද ගාඩියන්’ පුවත්පතට පවසා ඇත්තේ, මෙම ප්‍රහාරයෙන් මොජ්ටාබාගේ අත් පා වලට තුවාල සිදුවුණු බවත්, උත්තරීතර නායකයා ලෙස එම ධුරයට පත් වුණු ඔහු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.

ඉකුත් 28 වැනිදා එල්ල වුණු ඇමෙරිකා ඊශ්‍රායල ප්‍රහාරවලින්, අයතුල්ලා අලි කමේනි, බිරිඳ, දියණිය, දියණියගේ සැමියා මෙන්ම මාස 14ක් වයසැති මුණුපුරා (මිණිපිරියක බව ඇතැම් වාර්තාවල සඳහන් වෙයි) ද ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි. මොජ්ටාබා කමේනිගේ බිරිඳ ද එම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි පැවැසෙයි. ඊට අමතරව, ඉරාන හමුදාවේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීහු රැසක් ද ජීවිතක්ෂයට පත්වූහ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS