අයිස් යට රතු දිය ඇල්ල



පෘථිවි තලයේ විවිධ වූ විශ්මයජනක ස්වභාවික සංසිද්ධීන් දැකගත හැකි අතර, ඇන්ටාක්ටිකාව ඒවායින් සුවිශේෂී ස්ථානයක් ගනී. එය පෘථිවියේ පස්වන විශාලතම මහාද්වීපය වන අතර, ස්ථිර මානව ජනගහනයක් නොමැති එකම මහාද්වීපය ද වෙයි. ඇන්ටාක්ටිකාවට අයත් ටේලර් ග්ලැසියරයේ පිහිටා ඇති බ්ලඩ් ෆෝල්ස් නොහොත් රතු දිය ඇල්ල යනු එබඳු වූ පුදුමාකාර ස්වභාවික නිර්මාණයකි.

මේ රතු දිය ඇල්ල ඇත්තේ, ඇන්ටාක්ටිකාවේ වික්ටෝරියා ලෑන්ඩ් පළාතේ, ටේලර් නිම්නයේ ඇති ටේලර් ග්ලැසියරයේ අවසාන කොටසේය. එය බටහිර ලේක් බොනී නම් අයිස්වලින් වැසුණු විලක් මතට ගලා බසී. මෙම අසාමාන්‍ය රතු ජල ධාරාව, 1911 දී තෝමස් ග්‍රිෆිත් ටේලර් විසින් සොයා ගන්නා ලද අතර, මුලින් විද්‍යාඥයන් අනුමාන කළේ රතු ඇල්ගී මගින් මෙම වර්ණය ඇති වන බවය. එහෙත් පසුව සිදු කළ අධ්‍යයනවලින් එහි සැබෑ හේතුව අනාවරණය විය.

මතුපිටින් බැලූ විට භයානක හෝ අද්භූත බවක් පෙනුන ද, මෙම රතු පැහැය පිටුපස සංකීර්ණ විද්‍යාත්මක කතාවක් සැඟවී ඇත. මීට වසර මිලියන 1.5 ත් 2 ත් අතර අතීතයේදී, ඇන්ටාක්ටිකාව සම්පූර්ණයෙන් අයිස්වලින් වැසී යෑමට පෙර, මෙම ප්‍රදේශයේ ලුණු සහිත විශාල විල් පැවතිණි. කාලයත් සමඟ අයිස් තට්ටු වර්ධනය වීමෙන් මෙම විල්වල ජලය කිලෝමීටර් ගණනක් ඝන අයිස් තට්ටුවලට යට විය.

විස්මය දනවන කරුණ නම්, මෙවැනි දරුණු තත්ත්වයන් යටතේ පවා ජීවත් වීමට හැකි විශේෂිත බැක්ටීරියා වර්ගයක් මෙම ජලය තුළ වර්ධනය වීමය. මෙම බැක්ටීරියා ආලෝකය හෝ ඔක්සිජන් නොමැතිව, යකඩ සහ සල්ෆර් සංයෝග පරිවෘත්තීය ක්‍රියාවලියට යොදාගනිමින් ශක්තිය නිපදවයි. මෙම භූගත ජලය, අයිස් තට්ටුවේ ඇති ඉතා කුඩා ඉරිතැලීම් හරහා මතුපිටට ගලා ඒමේදී, වාතයේ ඇති ඔක්සිජන් සමඟ ගැටෙයි. එවිට ජලයේ දිය වී ඇති යකඩ, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර, රතු-දුඹුරු පැහැති යකඩ ඔක්සයිඩ් (අයන් ඔක්සයිඩ) හෙවත් මලකඩ බවට පත් වේ. දිය ඇල්ලට මෙම රතු පැහැය ලැබෙන්නේ ඒ අයුරිනි.

සශිනි අප්සරා වීරසූරිය
SCAR News

RECOMMEND POSTS