මහ රැජිනට පිංඅනුමෝදනා



අභාවප්‍රාප්ත දෙවැනි එලිසබත් මහ රැජිනට පිංඅනුමෝදනා කිරීමේ සහ තෙවැනි චාල්ස් රජුට ආශිර්වාද කිරීමේ පිංකමක්, පසුගිය 13 වැනිදා ලන්ඩන් බෞද්ධ විහාරයේ දී, විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම වැඩසටහනට විශේෂ ආරාධිතයන් ලෙස එර්ලිං ලන්ඩන් බරෝ හි නගරාධිපති මොහින්දර් මිධා සහ බිරිඳ හර්බාන් මිධා සහභාගී වූහ.

බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පිංකමට, ලන්ඩනයේ වැඩසිටින බෞද්ධ භීක්ෂූන් වහන්සේලා සහභාගී වූහ.

‘අභාවප්‍රාප්ත දෙවැනි එලිසබත් මහ රැජින බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වුණු තැනැත්තියක්. ඇය ලොව වටේ ගියා. ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සංචාරය කළේ රටවල් එකිනෙක තව තවත් ළං කරමින්. ඇය පළමු වරට ශ්‍රී ලංකාවට (එදා සිලෝන්) පැමිණි අවස්ථාවේ, ඇය සහ පිලිප් කුමරුන්ට ලැබුණේ ඉතාමත් උණුසුම් පිළිගැනීමක්. ලංකාවේ කොතැන ගියත් එම උණුසුම් පිළිගැනීමේ අඩුවක් වුණේ නැහැ. මහ රැජින ඒ බව, බීබීසී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබෙනවා. මහනුවර දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී තමා ශ්‍රී ලංකාවේ සම්භාවනීය අමුත්තන් ආමන්ත්‍රණය කළ බව ද තමන්ට එය කිසි දිනෙක අමතක නොවන සිදුවීමක් බව ද මහ රැජින එම බීබීසී සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබෙනවා.’ යැයි විහාරාධිපති බෝගොඩ සීිලවිමල නාහිමියන් එම අවස්ථාවේදී සිහිපත් කෙළේය.

බ්‍රිතාන්‍ය වැසියන් වෙනුවෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් සේවය කිරීමට තෙවැනි චාල්ස් රජුට දීර්ඝායු ප්‍රාර්ථනා කරන බව ද එහිදී බෝගොඩ සීලවිමල නාහිමියෝ කීහ.

චාල්ස් රජු, වේල්සයේ චාල්ස් කුමරුන්ව සිටිද්දී, 2004 සුනාමි ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය පළ කළ ආකාරය ද එහිදී නාහිමියෝ සිහිපත් කළේය.

2004 වසරේ ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයෙන් බැට කෑ අවස්ථාවේදී, චාල්ස් කුමරු, ලන්ඩන් බෞද්ධ විහාරයට පැමිණ ශ්‍රී ලංකා වැසියන් ගැන සොයා බලමින්, ඔවුන්ට සිදුවුණු විපැත්තිය ගැන කම්පා වූ බවත්, අවශ්‍ය සහාය ලබා දීමට මැදිහත් වූ ආකාරය ද බෝගොඩ සීලවිමල නාහිමියෝ එහිදී සිහිපත් කළහ.

එක්සත් රාජධානියේ පිහිටි ලන්ඩන් බෞද්ධ විහාරය, 1926 වසරේ සැප්තැම්බර් 13 වැනිදා අනගාරික ධර්මපාලතුමන් විසින් පිහිටුවනු ලැබූවකි.


RECOMMEND POSTS