අති උත්කර්ෂවත්ව සැමරූ අබුඩාබි සිකුරාදා දහම් පාසලේ 25 වන සංවත්සරය
දහම් පාසැල් සේවාව ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයනන්දනාරාමයේ දී සර් ස්ටිල් ඕල්කට් මැතිතුමා සහ බ්ලැවැට්ස්කි මැතිනයගේ ප්‍රධානත්වයෙන් 1895 අගෝස්තු 03 වැනි දින ප්‍රථම වරට ආරම්භ කිරිම ශ්‍රි ලංකා ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී සිදුවීමකි.
1991 වර්ෂයේ දී ඒ සවිමත් අත්තිවාරමේ ඉදිවූ අබුඩාබි සිකුරාදා පාසැල බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ( 11/24/දෙපා/ලි/356 ) විදෙස් රටක පිහිටි ප්‍රථම දහම් පාසල ලෙස 2003 වර්ෂයේ සිට ඉතිහාසයට එක්වෙනු ඇත. එසේම එම වර්ෂයේ සිටම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් 6 වන ශ්‍රේණියේ සිට පවත් වනු ලබන වර්ෂ අවසාන විභාග සදහා දරු දැරියන් ඉදිරිපත් කරනු ලබන විදෙස් රටක පිහිටි එකම දහම් පාසැල මෙය වීම ද සුවිශේෂි කරුණකි. එසේම සිංහල මාධ්‍යයෙන් එම විභාගයට පෙනී සිටිමින් ඉදිරිපත් වන සෑම දරුවෙක්ම විශිෂ්ඨ සම්මාන, සම්මාන සාමාර්ථ ලබා ගනිමින් දහම් පාසැලට ගෞරවයක් ගෙන දීමට කටයුතු කිරීම ද පැසසිය යුතුය. වැලි කතරට දියබිඳක් මෙන් එසේ පැමිණි ගමන් මඟ 2016 වර්ෂය වන විට වසර 25 ක් පසුකර තිබීම, අප කාටත් ආම්බරයට කරුණකි.
මීට වසර 25 කට පෙර අබුඩාබි සිංහල තරුණ කැල සංවිධානය බිහිවීම මෙම දහම් පාසැල ආරම්භ වීමේ මූල බීජය විය. එදා දරුදැරියන් 04 දෙනෙකුගෙන් ඇරඹි පාසැල අද දරු දැරියන් 100 කට අධික ප්‍රමාණයකට මවක් වී හමාරය. මෙම කාලසීමාව තුළ දහම් පාසැලේ උන්නතිය උදෙසා කැපවී ක්‍රියාකල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපිය කමිටු සාමාජිකයින් මෙන්ම දෙමාපියන් ද අමතක කළ නොහැකිය. එසේම එදා මෙදා තුර තානාපතිවරුන් ලෙස සේවය කළ හා තානාපති කාර්යාල මණ්ඩලයේ නිලධාරීන් ලෙස සේවය කළ සැමගෙන් ලද සහයෝගය ද මෙහිලා සටහන් කළ යුතුය.
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති, එස්.ජේ.මොහිදීන් මැතිතුමා, ඩුබායි කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මැතිතුමා, උපදේශක ඩී.එම්.කරුණාරත්න මැතිතුමා, තෙවන ලේකම් උත්පලා පරණමාන මැතිණිය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසකගෙන් හා දෙමාපියන්, දූදරුවන්ගේ ගේ සහභාගීත්වයෙන් මෙවන් දිගු ගමනක් පැමිණි අබුඩාබි සිකුරාදා පාසලේ 25 වන සංවත්සරය 2016.10.21 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ලැබීම කාගේත් සතුටට කරුණක් විය.
මෙහිදී වර්තමාන ගුරු මණ්ඩලය මෙන්ම පැරණි ගුරුවරුන්ද ඇගයීමට ලක් කරමින් තිළිණ පිරිනමන්නට විය. එසේම වසර 17 ක් අබුඩාබි සිකුරාදා පාසලට සේවය කල හිටපු විදුහල්පති බන්දුල මෙන්ඩිස් මහතා වෙනුවෙන් ද සුවිශේෂි ඇගයීමක් සිදු කිරීම ද එහිදී සිදුවිය. එසේම අබුඩාබි සිකුරාදා පාසලේ ආරම්භයට අඩිතාලම දැමූ සිංහල සිංහල තරුණ කැළ සංවිධානයේ සාමාජිකයින්ද ඇගයීමට ලක්විය. එසේම එදා මෙදා තුර සිටි සියළුම තානාපතිවරුන්, කාර්යමණ්ඩල නිලධාරීන් ලබා දුන්නා වූ සහයෝගය අගැයුමට ලක් කරමින් වර්ථමාන තානාපති එස්.ජේ.මොහිදීන් මැතිතුමාටද තිළිණයක් පැළිගැන්වූ අතර 25 වන සංවත්සරය වෙනුවෙන් සමරු කලාපයක්ද නිකුත් කිරීම එහි දී සිදුවිය.
දරු දැරියන් ඉදිරිපත් කල සංස්කෘතික අංගයන් සඳහා ලැබුනේ ඉහල ප්රතිචාරයකි. එසේම එහිදී ඔවුන්ගේ හැකියාව මනාව ප්‍රදර්ශණය කිරීමට සියළුම දරු දැරියන් සමත්වීම ද සතුටට කරුණකි. අපේ ශ්‍රී ලාංකික පරිසරයෙන් භාහිරව ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් සිටින මෙම දරු දැරියන් තම මවු සංස්කෘතිය, ආගම දහම, අපේ උරුමයන් රැක ගැනීමට කුඩා කල සිටම පෙළඹී සිටීම අපේ අනාගතයට සුබ පෙර නිමිත්තක් බව ද සටහන් කල යුතුය.
අපේ අනාගත දරු පරපුර අපේ සංස්කෘතිය, බෞද්ධ ධර්මය, සිංහල භාෂාව මෙන්ම අපේ උරුමය පිළිබඳ හසල දැනුමෙන් පෝෂණය කරන අබුඩාබි සිකුරාදා දහම් පාසැල් මැණියන්ට ගල්, මුල්, ගිරි සිකර පසු කරමින් පැමිණි මේ ගමන් මග තව තවත් කාලයක් අපේ දරු පරපුරට දහමේ තෝතැන්නක් වෙමින් විරාජමාණය ගලාගෙන යාමට හැකියාව ලැබේවායි පතමු.
ප්‍රභාත් ගුණසේකර
අබුඩාබියේ සිට.......