Sigiriya Jungles දස වසරක සාර්ථකත්වය සමරයි



සීගිරිය ජංගල්ස් රිසෝට් ඇන්ඞ් ස්පා සිය 10 වැනි සංවත්සරය සමරන අතර ඒ නිමිත්තෙන් අගෝස්තු 11 වැනිදා අවට ගම්මානවල ජනතාව සඳහා ප්‍රජා වෛද්‍ය සායනයක් සංවිධානය කරමින්, ප්‍රජා සුබසාධනය සහ තිරසාර සංචාරක කර්මාන්තය වෙනුවෙන් දීර්ඝකාලීනව පවත්වාගෙන යන කැපවීම යළිත් තහවුරු කරයි.

මෙම වෛද්‍ය සායනය එදින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ශරීර ස්කන්ධ දර්ශක අගය (BMI)  පරීක්ෂා කිරීම, සම්පූර්ණ රුධිර පරීක්ෂණ, කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, අක්ෂි හා දන්ත පරීක්ෂණ, ඖෂධ බෙදාදීම සහ සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු සේවා ‍රැසක් නොමිලේ ලබාදීමට නියමිතය. එමගින් රෝග වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ඇත. එදින සන්ධ්‍යාවේ පූජ්‍ය පක්ෂයේ, සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිත විශේෂ අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර සැමරුම් උත්සවයද පැවැත්වේ.

සීගිරිය ජංගල්ස් රිසෝට් ඇන්ඞ් ස්පා හි නිර්මාතෘ සහ සභාපති දේවින්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කළේ, පසුගිය දශකය පුරා රිසෝට් ආයතනයට ශක්තියක් වූ ජනතාවට අර්ථවත් හා දිගුකාලීන ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

‘අපගේ විශාලතම ජයග්‍රහණය හෝටල් කාමර පිරවුම් ප්‍රතිශතයෙන් හෝ සම්මානවලින් මනින්නේ නැහැ. අප සමග රැඳී ගිය සතුටුදායක අමුත්තන් සහ පසුගිය දශකය තුළ ගොඩනගාගත් සබඳතා තමයි අපගේ සැබෑ ජයග්‍රහණය. ඒ තුළින් ඇතිවූ යහපත් බලපෑම දැකීම තමයි අපට සැබෑ සතුට ලබාදෙන්නේ,”‍ යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටි, සැලසුම් කළ සුඛෝපභෝගී කාමර 60කින් සමන්විත මෙම හෝටලය 2016 වසරේ ආරම්භයේ සිට මේ දක්වා දෙලක්ෂ පනස් දහසකට (250,000) අධික අමුත්තන් සංඛ්‍යාවක් සඳහා නවතැන් සපයා ඇත. ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගේ ශිෂ්‍යයකු වූ ගෘහ නිර්මාණ ශිල්පී විනෝද් ජයසිංහ මහතා විසින් මෙය සැලසුම් කර ඇති අතර, ඓතිහාසික බෝගොඩ පාලම ආශ්‍රයෙන් නිර්මාණය කළ පාලමක් පැවතීම මෙම රිසෝට්හි විශේෂත්වයකි. එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන වන සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව සහ අනුරාධපුරය වෙත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක මෙය පිහිටා ඇත. මීට අමතරව, අවුඩංගාව ගම්මාන සංචාරය සහ “ආච්චි” නම් අවන්හලෙහි සම්ප්‍රදායික  ලාංකික දේශීය ආහාර පිසීමේ අත්දැකීම් වැනි විශේෂ වැඩසටහන් ද හෝටලය මගින් සංවිධානය කරයි.

පසුගිය දශකය තුළ සීගිරිය ජංගල්ස් රිසෝට් ඇන්ඩ් ස්පා ආයතනය, TripAdvisor Certificate of Excellence,  2020 සිට 2026 දක්වා අඛණ්ඩව හිමි වූ TripAdvisor Travellers’ Choice Awards, Booking.com Traveller Review Award 2026, Safe and Secure Hospitality Operations  සහ ISO 22000 ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා ප්‍රමිතිය ඇතුළු සම්මාන සහ සහතික රැසක් හිමිකරගෙන ඇත.

එමෙන්ම, අවුඩංගාව ගම්මානයේ විහාරස්ථානය ඉදිකිරීම, හබරණ මොරගස්වැව විද්‍යාලයට සහාය ලබාදීම, ශ්‍රමදාන වැඩසටහන්, ප්‍රාදේශීය සැපයුම්කරුවන් ප්‍රවර්ධනය කිරීම සහ සහතික ලත් වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රජා සංවර්ධන වැඩසටහන් රැසක්ද සීගිරිය ජංගල්ස් රිසෝට් ඇන්ඩ් ස්පා ආයතනය මගින් සිදුකර ඇත. පසුගිය වසර දහය තුළ පුද්ගලයන් 650කට අධික පිරිසක් මෙහිදී පුහුණුව ලබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ලංකාවේ සහ විදේශීය සංචාරක කර්මාන්තයේ සේවය කරති.

සීගිරිය ජංගල්ස් රිසෝට් ඇන්ඩ් ස්පා ආයතනයහි සාමාන්‍යාධිකාරී චමින්ද සමරනායක මහතා සඳහන් කළේ, මෙම ආයතනය තිරසාර සංවර්ධන අරමුණු තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින අතර, මේ වන විට Travelife සහතිකය ලබාගැනීමේ ක්‍රියාවලියද ඉදිරියට ගෙන යමින් සිටින බවයි.

https://www.sigiriyajungles.com/


RECOMMEND POSTS