රියාල් බිලියන 5.5 ක ආයෝජනයක්



මැදපෙරදිග කලාපීය අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද සවුදි අරාබියේ වරාය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සවුදි රියාල් බිලියන 5.5 කට (ඇමරිකානු ඩොලර් බිලියන 1.46) වඩා වැඩි ආයෝජනයක් සිදු කර ඇති බව සවුදි වරාය අධිකාරියේ (Mawani) සභාපති සුලෙයිමාන් බින් ඛාලිඩ් අල්-මස්රූයි ප්‍රකාශ කරයි.

කලාපීය නොසන්සුන්තා හමුවේ වුවද සවුදි අරාබියේ වරාය ක්ෂේත්‍රය අඛණ්ඩව විකාශනය වන බවට මෙය හොඳම සාක්ෂියක් බව හෙතෙම පෙන්වා දෙයි.

ජෙඩා නුවර පැවැති 2026 සවුදි කර්මාන්ත සංසදයට එක්වෙමින් අල්-මස්රූයි මහතා සඳහන් කළේ, අර්බුදකාරී තත්ත්වය ආරම්භ වීමත් සමඟ ජෙඩා වරාය සහ සවුදියේ බටහිර වෙරළ තීරය, සවුදි අරාබියට මෙන්ම මුළු අරාබි ගල්ෆ් කලාපයටම අත්‍යවශ්‍ය ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන (Logistics) මධ්‍යස්ථානය බවට පත්වූ බවයි.

මෙම හදිසි වෙනස්වීමත් සමඟ නෞකා සහ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ ගමනාගමනය විශාල ලෙස ඉහළ ගිය අතර, එම ඉහළ ගිය මෙහෙයුම් ධාරිතාවට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම ආයෝජනයන් යෙදවූ බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

විශේෂයෙන්ම ජෙඩා ඉස්ලාමීය වරාය වෙත පැමිණෙන ට්‍රක් රථ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් සටහන් වී ඇත. අර්බුදයට පෙර දිනකට වරායට ඇතුළු වූ ට්‍රක් රථ සංඛ්‍යාව 2,000 ත් 2,500 ත් අතර ප්‍රමාණයක් වූ නමුත්, වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 10,000 ඉක්මවා ගොස් තිබේ.

ඊට සමගාමීව වරායට පැමිණෙන වෙළඳ නෞකා සංඛ්‍යාවේ ද සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බව අල්-මස්රූයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


RECOMMEND POSTS