ඩ්‍රෝන යානා ප්‍රථම පියාසැරිය හෙට

ලංකාවේ, නියමුවන් රහිත මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස, විදුලි බලයෙන් ක්‍රියාත්මක ඩ්‍රෝන යානයක ප්‍රථම පරීක්ෂණ පියාසැරිය හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වෙයි.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ආරම්භ වූයේ චීනයේ සුප්‍රකට මගී ඩ්‍රෝන නිෂ්පාදකයෙකු වන ඊහැංග් සමාගමේ නියෝජිතයන් සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඉකුත් අගෝස්තු මාසයේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.
මෙම සාකච්ඡා සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල යන මහත්වරුන් ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ගුවන් පථ අවශ්‍ය නොවන 'eVTOL' (සිරස් අතට ගුවන්ගත වන සහ ගොඩබෑම කළ හැකි) තාක්ෂණයෙන් යුත් මෙම නියමුවන් රහිත ඩ්‍රෝන යානා සංචාරක ව්‍යාපාරය, මගී ප්‍රවාහනය සහ හදිසි සේවා සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබේ.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, වරාය නගර කොමිෂන් සභාව, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ආයෝජන මණ්ඩලය සහ ගුවන්තොටුපළ බලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය සහ සම්බන්ධීකරණය අවශ්‍ය වෙයි.
ආරම්භක අදියරේදී මෙය වාණිජ මගී සේවාවක් ලෙස නොව පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පමණක් ක්‍රියාත්මක වන අතර, වරාය නගර පරිශ්‍රයේදී මාස හයක පමණ කාලයක් අඛණ්ඩව පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම පරීක්ෂණ පියාසැරි සඳහා පුද්ගලයින් දෙදෙනෙකුට ගමන් කළ හැකි 'EH216' මාදිලියේ මගී ඩ්‍රෝන යානයක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනැවිත් අවසන්ය. මෙමම යානය ප්‍රොපෙලර් 16ක්, බැටරි කට්ටල 12ක්, පියසැරි පාලන පද්ධති 3 ක් සහ ඒකාබද්ධ පරිගණක කළමනාකරණ පද්ධතියකින් සමන්විත වෙයි.
දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන මෙම යානය, කිසියම් පද්ධති දෝෂයක් හෝ සන්නිවේදන බිඳවැටීමක් සිදු වුවහොත් ස්වයංක්‍රීයවම ආරක්ෂිත පියවර සක්‍රිය වන පරිදි නිර්මාණය කර ඇත.
අනාගතයේදී මෙම තාක්ෂණය ඔස්සේ සීගිරිය, පිදුරංගල, කඳුකර ප්‍රදේශ සහ වෙරළබඩ දූපත් වැනි ප්‍රධාන සංචාරක ස්ථාන වෙත දෙස් විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කරමින් ගගන සංචාරක ව්‍යාපාරයේ නව පිම්මක් තැබීමට බලධාරීන් බලාපොරොත්තු වෙයි.

