ස්ටාර්ලින්ක් ලංකාවේ



‘ස්ටාර්ලින්ක් ලංකාවේ’ මෙය ශ්‍රී ලාංකික අපට උණුසුම් පුවතක් විය. ස්ටාර්ලින්ක් අන්තර් ජාල සේවාව මෙරට ක්‍රියාත්මක බව, නිවේදනය කළේ ඉලොන් මස්ක්ය. ඉලොන් මස්ක් ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. ලොව අංක එකේ බිලියනපතියා ඉලොන් මස්ක්ය. උපතින් දකුණු අප්‍රිකානුවකු වන මස්ක් අද ඇමෙරිකන් පුරවැසියෙකි. ඇමෙරිකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙකි. ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගම්වල හිමිකරු මක්ස්ය.

ශ්‍රී ලංකාවට ස්ටාර්ලිනික් හිමිවන බවත්, ස්ටාර් ලින්ක් අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලාංකිකයන්ට ද නිල වෙබ් අඩවියන් මිලදී ගත හැකි බවත්, බිලියනපති ඊලෝන් මසක් පසුගිය 2 වැනිදා නිවේදනය කළේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම සනාථ විය. චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සපයන්නන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය සිය විදුලි සංදේශ නීති සංශෝධනය කිරීමෙන් පසුව, 2024 අගෝස්තු මාසයේදී ස්ටාර්ලින්ක් හට නියාමන අවසරය ලැබිණි.

ස්ටාර්ලින්ක් යනු ස්පේස් එක්ස් සමාගම විසින් මෙහෙයවනු ලබන චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවකි. මෙම සේවාව මඟින් පෘථිවිය වටා පහළ කක්ෂයක පිහිටි කුඩා චන්ද්‍රිකා දහස් ගණනක් මඟින් ලොව පුරා අන්තර්ජාල පහසුකම් සැපයීම කරයි. සාම්ප්‍රදායික අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ට ළඟා වීමට අපහසු හෝ ඉතා ඉහළ පිරිවැයක් දරන දුෂ්කර ප්‍රදේශවලට සහ ග්‍රාමීය ප්‍රදේශවලට අධිවේගී, අන්තර්ජාලය ලබා දීම ස්ටාර්ලින්ක් ප්‍රධාන අරමුණය. ස්ටාර්ලින්ක් පද්ධතිය චන්ද්‍රිකා, භූමි ස්ථාන සහ පරිශීලක පර්යන්ත ආදී වශයෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය. මේවා පෘථිවියට සාපේක්ෂව කිලෝමීටර 550 ක පමණ උන්නතාංශයක පිහිටා ඇත. මෙම අඩු උන්නතාංශය හේතුවෙන්, සංඥා ගමන් කරන දුර අඩු වන අතර, එමගින් ප්‍රමාදය අවම වෙයි. චන්ද්‍රිකා එකිනෙක සමඟ සහ භූමි ස්ථාන සමඟ සන්නිවේදනය කිරීම සඳහා ලේසර් කිරණ භාවිත කරයි. මේවා ලොව පුරා විවිධ ස්ථානවල පිහිටුවා ඇති අතර, චන්ද්‍රිකා මඟින් ලැබෙන සංඥා පොළොවේ ඇති අන්තර්ජාල ජාලයට සම්බන්ධ කරයි.

ස්ටාර්ලින්ක් සේවාව මඟින් ලැබෙන ප්‍රධාන වාසි කිහිපයකි. කුඩා චන්ද්‍රිකා තැටි (සැටලයිට් ඩිෂ්) හරහා අන්තර් ජාල සංඥා ලබා ගැනීම සිදුවෙයි. ෆයිබර් ඔප්ටික් හෝ කේබල් වැනි යටිතල පහසුකම් නොමැති දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාලය පහසුකම් ලබා දීමට ස්ටාර්ලින්ක් සුදුසුය. සාම්ප්‍රදායික භූ ස්ථිතික චන්ද්‍රිකා සමග සසඳන විට, ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පෘථිවියට සමීපව පිහිටා ඇති නිසා දත්ත හුවමාරු ප්‍රමාදය ඉතා අඩුය. ස්ටාර්ලින්ක් පරිශීලකයන්ට සාමාන්‍යයෙන් එම්.බී.පී.එස්. 100-200 අතර වේගයකින් අන්තර්ජාල පහසුකම් අත්විඳිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී ඊටත් වඩා ඉහළ වේගයක් ද ලබා ගත හැකිය. පරිශීලක පර්යන්තය සාපේක්ෂව පහසුවෙන් ස්ථාපනය කළ හැකි වන පරිදි නිර්මාණය කර ඇත.

ඕනෑම දෙයක මෙන් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව සම්බ්නධයෙන් ද අභියෝග නැත්තේ නොවෙයි. ස්ටාර්ලින්ක් සේවාව ලබා ගැනීම සදහා මූලික පිරිවැය ඉහළය.

මාසික ගාස්තු සාම්ප්‍රදායික අන්තර්ජාල සේවාවන්ට වඩා වැඩිය. එසේ වුවත් එම මුදලට සරිලන ආකාරයේ අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට හැකිය. ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධතියක් බැවින්, එම චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක් රාත්‍රී අහසේ දීප්තිමත්ව දකින්න ලැබෙද්දී, එය තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සඳහා බාධාවකි.

ස්ටාර්ලින්ක් සදහා චන්ද්‍රිකා බොහෝ ප්‍රමාණ්‍යක් කක්ෂගත කිරීම සහ ඒවායේ ආයු කාලය අවසන් වූ විට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අභියෝගයකි. සේවාව ලබා ගත හැකි භූගෝලීය ප්‍රදේශ තවමත් සීමා වී ඇති අතර, එය දියුණු කරමින් පවතින බව ස්පේස් එක්ස් සමාගම කියයි.

ස්ටාර්ලික්ත් අනාගතයේදී ගෝලීය අන්තර්ජාල ප්‍රවේශය පුළුල් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ස්පේස් එක්ස් සමාගම තවදුරටත් චන්ද්‍රිකා දියත් කරමින් සහ සේවාව පුළුල් කරමින් සිටී. මෙය ‘ගෝලීය ඩිජිටල් බෙදීම’ අඩු කිරීමට සහ ලොව පුරා සිටින ජනතාවට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආර්ථික අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමට උපකාරී වනු ඇත. ස්ටාර්ලින්ක් යනු නවීන තාක්ෂණය භාවිතයෙන් ගෝලීය අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා වූ ඉතා වැදගත් ව්‍යාපෘතියකි.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලබා ගන්නා සෙසු රටවල් වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, බ්‍රසීලය, චිලී රාජ්‍යය, මෙක්සිකෝව, පේරු රාජ්‍යය, යුක්රේනය, පෝලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, ඉන්දුනීසියාව, මැලේසියාව, කෙන්යාව, නයිජීරියාව, පිලිපීනය, උරුගුවේ, ආර්ජන්ටිනාව, ඝානා රාජ්‍යය සහ පාකිස්තානයයි.

බීබීසී ඇසුරිනි.


RECOMMEND POSTS