සමන් මාමාගේ රස කතා - සීසන් ෆෝල්ඩරේ



සමන් මාමාගේ රස කතාවක් තමයි මේ. සමන් මාමා කියන්නේ කන්තෝරුවේ  හිතවතෙක්. ‘මාමා‘ කිව්වට මාමා ම නෙවෙයි. තලත්තෑනී හාදයෙක්. සමන් මාමාට ‘සමන් මාමා’ කියලා නම දැම්මේ කන්තෝරුවේ හිතවතියක්ම තමයි.  සමන් මාමාට හරි අපූරු දේවල් තමයි වෙන්නේ.

සමන් මාමා උදේට එන්නෙත් හවසට වැඩ ඇරිලා යන්නෙත් රුහුණේ. කෝච්චිවල යන අය නං දන්නවා රුහුණේ කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ රුහුණු කුමාරි. ‘සමන් සීට් අයියා’ කියලා තමයි රුහුණේ ගෑනු ළමයි අතරේ සමන් මාමා වැඩියෙන්ම ප්‍රසිද්ධ.

ඒක  වෙනම කතාවක් හොදේ.

ඔන්න දවසක් සමන් මාමා හති දාගෙන තෝන්තු වෙලා වගේ, කන්තෝරුවට ආවා. ‘හරි වැඩේනේ මගේ කෝච්චි සීසන් ෆෝල්ඩරේ සාක්කුවේ තිබිලා නැතිවුණා’.කෝච්චි සීසන් එක ගත්තේ ඊයේ පෙරේදා. රුපියල් හත්දාහක් විතර ගිහින් නොවැ ඒකට. සමන් මාමා හවස ගෙදර යද්දි තමයි සීසන් ෆෝල්ඩරේ නැහැ කියලා දැනගෙන තියෙන්නේ.

රුහුණෙන් ඇවිල්ලා කොටුවෙන් බහින සමන් මාමා, කාර්යාලයට යන්නේ එන්නේ බස් එකේ. ඉතිං පහුවදා උදේ කන්තෝරු එද්දී, සමන් මාමා බස්වලට එබිකම් කරකර කොන්දොස්තරලාගෙන් ඇහුවලු සීසන් ෆෝල්ඩර් එකක් දැක්කේ නැද්ද කියලා. එක කොන්දෙක් ඇඟටත් ගොඩවෙලා බසුයි කෝච්චියි දෙකම මහ පාරේ දුවන් නෑ කියලා. දෙන්නා ලොකුවට බහින් බස් වීමකුත් වුණාලු.

කොහොම කොහොම හරි ඔෆිස් ඇවිත් සීසන් ෆෝල්ඩරේ නැහැ කියද්දී, සමන් මාමාට ‘සමන් මාමා’ කියපු හිතවතියත් හිනාවෙවී අහන් හිටියලු ‘අනේ ​අපොයි’ කියලා. ඔය අතරේ හැමදේටම පැනලා උදවු කරලා අන්තිමේදී කුණු බැණුං අහගන්න තවත් හාදයෙක් සමන් මාමා අඬගහගෙන කන්තෝරුව ඉස්සරහා පාරවල් දිගේ ගියා බිම බලබල සීසන් ෆෝල්ඩරේ පාරේ වැටිලා තියෙනවා ද බලන්න.

පාරවල් සුද්ද කරන අක්කලා හම්බ වෙන්නත් දෙන්න ගිහින්. සීසන් ෆොල්ඩරේ හම්බ වුණේ නැහැ. ලොතරැයි ගන්න කූඩුවලටත් එබිලා. සීසන් ෆොල්ඩරේ හම්බ වුණේ නැහැ. ත්‍රීවීල් පාක්වල හිත හොඳ අයියලා මුණ ගැහිලා. සීසන් ෆොල්ඩරේ හම්බ වුණේ නැහැ.නගර සභාවේ කුණු ලොරිවල කුණු බක්කිත් ඇවිස්සුවා. ගිනි කාස්ටකේ. සීසන් ෆොල්ඩරේ හම්බ වුණේ නැහැ. ‘ අනේ අක්කේ, අනේ අයියේ සීසන් ෆෝල්ඩර් එක නැතිවුණා දැකපු පිංවතෙක් ඉන්නවා නං මට දන්වන්නකෝ ...’ පාරේ දකින දකින හැමෝටම කියලත් ඇවිත්.

කිලෝ මීටර් පහක් විතර දාඩිය පෙරාගෙන රවුම් ගහලා සමන් මාමා ආපසු ආවා කන්තෝරුවට. තමන්ගේ මේසය ළඟට ගිහිල්ලා පුටුව ඇද්දා වාඩි වෙන්න. සමන් මාමාට එක පාරටම මහ හයියෙන් සතුටු සිනා පහළ වුණා. මෙන්න බොලේ සීසන් එක පුටුව උඩ තියෙනවා.

කලින් දා හවස ගෙදර යද්දී මාමාගේ සාක්කු​වේ තිබුණු සීසන් එක කන්තෝරු​වේ බිම වැටිලා. සමන් මාමාට කලින් උදේම කන්තරුවට ආපු අර හිතවතිය ෆෝල්ඩරේ හංගලා. බයිට් එකට.

සමන් මාමා පැය ගාණක් මහ අවුවේ පාරවල් දිගේ ගිහින් එනකල් ඒ ගැන කීවේ නැහැ. සමන් මාමා ආපහු එද්දි මෙන්න හෙමින්ම ෆෝල්ඩරේ පුටුව අස්සේ ගහලා. දන්න් නෑ වගේ ඉන්නවා.

අපොයි වෙච්ච දෙයක්.


RECOMMEND POSTS