වට් නොන්සෙන්ස් - වැඩි හොඳ



ඔන්න අද කතාව , වැඩි හොඳ කරන්න ගිහිල්ලා වෙච්ච අක්කර තැබ්බයක් ගැනයි.

ඔන්න එකමත් එක ආයතනයක හිටියලු, කාටත් උදව් කරගෙන ඉන්න පියන් මහත්තයෙක්. එයාගේ නම තමයි සුගත්, සුගත් ආයතනයේ හැමෝම අතර හරි ප්‍රසිද්ධයි. මෙයා ඕනම කෙනෙක්ට උදව් කරන්න බලාගෙන සැදී පැහැදී තමයි ඉන්නේ. ඒ නිසාම හැමෝම සුගත්ට හරිම ආදරෙයි. මේ ආයතනයේ ප්‍රධානියාගේ සියලූම වැඩ කටයුතු හොයලා බලලා කරේ සුගත්. හැබැයි පොඩි වැරැද්දකට තිබුණේ සුගත් ඕනෑවට වඩා උදව් කරන්න යන එක. සුගත් ඒක හිත හොඳින් කරත්, සමහර වෙලාවල් වලට ඒවා හරි වදයක් වන වෙලාවලුත් තිබුණා. 

ඔන්න එදා ඉතින් වැස්ස දවසක්ලු. බොස් වාහනයෙන් බැස්ස ගමන්ම, බොස්ව තෙමෙයි කියලා බයට. කුඩේත් අරගෙන දුවගෙන සුගත් ආවලු. බාගෙට තෙමි තෙමි කුඩේ බොස්ට අල්ලගෙන සුගත් හරි පරිස්සමට බොස්ව එක්කගෙන ආවලු.

ඔන්න ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර වෙලා, බොස් ගෙදර යන්න ලෑස්ති වෙනකොට, සුගත් ගිහිල්ලා බොස්ගේ බෑග් එක ලෑස්ති කරලා , බෝස් යන්න කලින්ම වාහනයට දාන්න ගියාලු. කාර් පාක් එකට ගියපු සුගත් දැක්කලු, බොස් වාහනයට නඟින තැනම ලොකු මඩ වළක් තියෙනවා. සුගත් මේක දැක්ක ගමන් , කාර් පාක් එකේ හිතපු සිකුරිටි ට කිව්වලු "අපේ ලොකු මහත්තයාට නම් මෙතනින් වාහනයට නඟින්න බැහැ. මේ මඩවලේ බහින්න පුළුවන්ද අපේ මහත්තයට. කෝ දෙන්න වාහනේ යතුර. වහනේ පොඩ්ඩක් පිටිපස්සට කරන්න. " කියල කිව්වලු. ඇත්තටම ඉතින් සුගත් වාහන පදින්න එච්චරම දන්න කෙනෙක් නම් නෙමෙයි. ඔන්න ඉතින් වැඩ්ඩා වගේ . ජියර් එක ඩී එකට දාලා , ඊට පස්සේ වාහනේ ස්ටාට් කරාලු. 

ඊට පස්සේ ඉතින් වෙච්ච දේ හිතාගන්න පුළුවන්නේ. පතෝරියන් ගාලා ගිහිල්ලා, එක පාරටම වාහනේ වැදුනලු ඉස්සරහ තාප්පෙ. වාහනේ හීරිලා මදිවට කානුවටත් වැටිලාලු, ඉතින් සුගත් එතන හිටපු සිකුරිටි වත් කතා කරගෙන අමාරුවෙන් වහනේ පිටිපස්සට ගත්තලු. 

අරගෙන ඉවරවෙලා සිකුරිටිට කිව්වලු කාටවත් කියන්න එපා කියලා. ඊට පස්සේ බොස් එකපාරටම එතෙන්ට ආවම, සුගත් මොකුත්ම නොවුනු ගානට හිටියලු. සිකුරිටි ඉතින් කුපාඩිකමටත් එක්ක බොස් ආපු ගමන්ම කිව්වලු මුල ඉඳන් අගට මුළු සිද්ධියම විස්තරාත්මකව. බොස්ට තරහ ගියපු පාර " ඕන එකයි එපා එකයි ඔක්කොම කරනවා, බක පණ්ඩිත බූරුවා. තොට &/)-&-& "  වගේ ආදරණීය වචන ගොඩකින් සුගත්ට ආමන්ත්‍රණය කරද්දී. සුගත් ඔලුව කසකස බිම බලාගෙන හිටියලු .

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS