වට් නොන්සන්ස් - අවේලාව



ඔන්න මේ කතාව සිද්ද වුනේ එකෝමත් එක කොළඹ ප්‍රධාන පෙලේ ආයතනයක. පිට පිනිස්සුන්ට වඩා තමන් එක්ක එකටම ඉන්න අයනේ අපිට ජල්තර වැඩ කරන්නේ මේ කතාවත් අන්න එහෙම එකක්. 

කතාව මෙන්න මෙහෙමයි. ඔන්න ඉතින් හොඳම යාලුවෝ තුන් දෙනෙක් හිටියලු. ජල්තර වැඩේ සිද්ධ වුන කෙනාගේ නම සිල්වා. එයා එක්ක එකටම හිටපු ප්‍රාණසම ජල්තර යාලුවෝ දෙන්නා කමල් සහ නිමල්. මේ අය මේ ආයතනයේ නේවාසිකවයි ඉන්නේ. සති අන්තයේ තමයි ගේ දොර බලා පිටත් වෙන්නේ. බොහෝ දුරට මිතුරෝ තුන් දෙනාම සිකුරාදට තමයි ගෙදර යන්නේ. 
 
ඉතින් ඔන්න එක දවසක් සිල්වා ගෙදර අලුත්වැඩියාවක් තියනවා කියලා , සිකුරාදා නිවාඩු දාලා , බ්‍රහස්පතින්දා මහ පාන්දරම ගෙදර යන්න හිතාගෙන පාන්දර 4.00 බස් එකේ යන්න හිතාගෙන එලාම් එකත් තියාගෙන සිල්වා නිදාගන්න ගියා. මේ අතරේ කමල්ටයි නිමල්ටයි හිතුනා සුනිල්ට හොඳ ලනුවක් දෙන්න ඕනේ කියලා. ". ශේප් එකේ එලාම් එක වෙනස් කරලා, අත් ඔරලෝසුවෙත් එලාම් එක වෙනස් කරා. ඒ විතරක් නම් මදැයි බිත්ති ඔරලෝසුවෙත් වෙලාව වෙනස් කරා. රෑ 10 ට නින්දට ගිය සිල්වා එලාම් එක වදිද්දි දඩිබිඩි ගාලා නැගිටලා වෙලාව බැලුවම 4.10 ත් වෙලා. බිත්ති ඔරලෝසුවෙත් වෙලාව ඒකමයි. ඉතින් යාන්තමින් දතකට මැදගෙන කලබලේම දුවන් ගියා බස් හෝල්ට් එකට.
 
පාරේ වාහනත් හරි අඩුයි. බස් එක ගියාදත් කිය කිය හිත හිත බලන් හිටියා. පාරෙත් වාහන, මිනිස්සු හරි අඩුයිලු. සිල්වා පැයක් විතර බලන් ඉදලා බැරිම තැන ආපහු කාර්‍යාලෙටම ආවලු. කාර්‍යාලයට ඇතුල් වෙන තැන බිත්ති ඔරලෝසුවේ වෙලාව නිකමට බලපු සිල්වාට තරු විසි වුනාලු. හද්දෙයියනේ වෙලාව පාන්දර 2.30 යි. නිදිමතේ හිටියත් සිල්වාට තේරුනා මේක සඟයෝ දෙන්නගේ වැඩක් කියලා. සිල්වා ලොකු වතුර බේසමකුත් පුරවගෙන බැරි බැරි ගාතේ පඩිත් නැගගෙන ගිහින් නිමලුයි කමලුයි ඉහේ ඉදන් නෑවෙන්න අර වතුර එක ඇඟේ හැලුවලු.
 
ජයනි සිතාරි අල්විස්

RECOMMEND POSTS