වට් නොන්සන්ස් - අති පිරිසිඳුකම්



මේ කතාව සිද්ධ උනේ මෑත කාලයේදී මුළු රටම එකාසේ මුහුණ දීපු කොරෝනා වසංගත සමයේ. ඒ කාලේ ඉතින් නහයට කෘමියෙක් ගිහින් හචිමක් ගියත් මිනිස්සු බැලුවේ මහා බයානක දරුණු සතෙක් දිහා බලනවා වගේනේ. බස් එකේ මනුස්සයෙක් අමතක වෙලා හරි මාස්ක් එකක් නොදා ආවොත් එහෙම ඒ මනුස්සයා ළඟින්වත් යන්නේ නෑනේ. ඔය ඔක්කොමත් අතරේ කොරෝනා නෙමෙයි මොන මගුල ආවත් අපි මැරෙන්නේ නෑ. පුළුවන්නම් මරපන් වගේ සීන් එකේ හිටපු අයත් හිටියා. මාස්ක් එකක් හරියට දාන්නේ නෑ, අත පය සබන් දාලා හෝදන් නෑ. එක සිගරට් එක හතර පස් දෙනා බොන, එක බත් එක හත් අට දෙනෙක් වටවෙලා කාපු අය එහෙමත් හිටියා. ඒ වගේම ලෙඩ වලට අතිශය බය ඕනාවට වඩා ලෙඩේට බය වෙලා මාස්ක් දෙක තුන දාන් ආරක්ෂා වුන අයත් හිටියා.

අද කතාව අන්න එහෙම මාර විදිහට කොරෝනා වලින් ආරක්ෂා වෙලා හිටපු නෝනා කෙනෙක්ට වෙච්චි අකරතැබ්බයක් ගැන.

කතාව මෙහෙමයි. ඔන්න හැමදාම වගේ එකෝමත් එක නගරෙක එක්තරා ආයතනයක හිටියා , ගමෙන් ඇවිල්ලා කොළඹ හතේ වගේ ජීවත් වුණ නෝනා කෙනෙක්. මේ නෝනා අකුරටම කිරලා මැනලා කොරෝනා රීති මාලාව අනුගමනය කරා. එයා පාරේ ගියෙත් මීටරෙන්, සෙනග වැඩි තැන ගැවසුනෙත් නෑ, ඔෆිස් එකේ අය අතර උනත් මීටරේ දුරෙන් හිටියේ. බස් වල , ත්‍රීවිල් වල ගියෙත් හරි පරිස්සමට. ඉතින් මේ නෝනා කොරෝනා වලට ගරු කරලා ඔෆිස් එකේ යාලුවන්ගෙන් ඈත් වෙලා තනියම තමා කෑම කෑවෙත්.

ඔන්න ඉතින් දවසක් මේ නෝනා සෙනග අඩු වෙලාවකුත් බලලා කෑම එකත් ලන්ච් රූම් එකට ගියාලු. කවුරුත් නැති මේසයක් බලලා ඩෙස් බංකුත් සැනිටයිසර් කරලා පිහිදලා, දෙතුන් පාරක්ම සබන් දාලා අතත් හෝදලා, පටන් ගත්තලු කන්න. කෑම එක භාගයක් කකා ඉද්දි කොහෙන්දෝ මන්දා ඉදන් ඩ්‍රයිවර් මහත්තයෙක් ඇවිල්ලා වාඩි උනාලු ඉස්සරහා පුටුවෙන්. ඒ මනුස්සයා මාස්ක් එකත් හරිම නොසැලකිලිමත් විදිහට මේසේ උඩ තියලා, අත හෝදන්නෙවත් නැතුව බත් එක කන්න පටන් ගත්තලු, ඉතින් අර නෝනට හරි තරහයිලු. ඒ නෝනා මාස්ක් එකත් දාගෙන බාගෙට කාපු කෑම එකත් ඩස්බින් දාලා නැගිටලා ගියාලු යන්න. ටික වෙලාවකින් අර ඩ්‍රයිවර් උන්නැහේ එනවලු මේ නෝනගේ පස්සෙන්. ඒ නෝනාට තවත් තවත් තරහයිලු. තරහයි කෑ ගහලා ඇහුවලු "ඇයි මගේ පස්සෙන් එන්නේ " කියලා. ඊට පස්සේ ඩ්‍රයිවර් උන්නැහේ මාස්ක් එක පෙන්නලා "නෝනා මාස්ක් එක " කියලා කිව්වලු. ඉතින් අර නෝනා තරහෙන් පුපුරු ගගහා ඔව් මාස්ක් එක තමා ඇයි මොකද කියලා. ඉතින් අර උන්නැහේ කිව්වලු , " නෝනා ඕක මගේ මාස්ක් එක. නෝනාගේ එක ඔය ඉනේ ගහන් ඉන්නේ "කියලා ඒ නෝනට කර කියාගන්න දෙයක් නැතුව "ඊ....යා "කියලා මාස්ක් එක දාලා දිව්වලු. 

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS