වට් Non sense - සෙත්ත පෝච්චිය



 
ඔන්න ඉතින් එකමත් එක රටක , එකමත් එක ආයතනයක වෙච්ච හරි අපූරු මෙව්වා එකක් තමයි මේ කියන්න හදන්නේ. මොකාක් හරි තැනක කාලාන්තරයක් තිස්සේ ඉන්න කොට සාමාන්‍යෙන් රුස්සන්නැති පුද්ගලයෝ අපිට හම්බෙනවනේ. අන්න එහෙම තියන අමනාපකම් දුරදිග ගියාම ඇගට නිදැනීම හතුරෝ වෙනවා. අන්න එහෙම හිතේ කහටක් තිබුන දෙන්නෙක් අතර සිද්ධ උන අප්පටසිරි කතාවක් තමයි මේක. 
 
වසන්ත කියලා පොරක් හිටියලු. මේ උන්දැට හොස්ස ලඟින් මැස්සා ගියත් ඇතිලු. රණ්ඩු වෙන්න බලාගෙන ඉන්න චරිතයක්ලු. ලාල් කියලා තව හාදයෙක් හිටියලු මිනිහගේ වැඩේ මේ වසන්ත කියන එකා අල්ලගෙන කොලොප්පන් කරලා අවුස්සන එකමලු. අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ . හචිමක් ගියත් තරහා යන මනුස්සයාට කෝ චෝක් කර කර සතුටක් ලබනවලු. වසන්තට මේ ලාල් කියන මිනිහා පෙන්නන්න බෑලු. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් මොකාක් හරි කරලා තරහා අවුස්සනවනේ. ඔන්න දවසක් ලාල් කරපු කුපාඩි විහිලුවක් දුර දිග ගිහින් දෙන්නා ගහගන්න ඔන්න මෙන්න තියෙද්දි මෙතනට ආවලු සුමනේ. සුමනේ දඩි බිඩි ගාලා මැදට පැනලා තත්වය සමතයකට පත් කරාලු. වසන්ත යනකොට ලාල්ට තර්ජනය කරාලු "උඹ වැරදි මනුස්සයා එක්ක හැප්පුනේ බලන් ඉදපන් උබට වෙනදේ " කියලා. සුමනේ ලාලුයි දෙන්නම බය වුනාලු ඒ තර්ජනේට. වසන්ත කියන්නේ තරහා ගියාම අම්මද අප්පද කියලා බලන්නේ නැති චරිතයක්ලු. 
 
ඔන්න ඉතින් රෑ මුරයේ වැඩ කරපු කට්ටිය ඔෆිස් එකේම නවාතැන්පලේ නිදාගන්න ලෑස්ති උනාලු. ලාල් ,සුමනේ එක්ක එක කාමරේලු. වසන්ත වෙන පැත්තක. ඔන්න දැන් කල්පනා කර කරම ලාල්ට නින්ද ගියාලු. සුමනේ අඩ නින්දේ ඉන්නකොට එක පාරට චායාවක් දැක්කලු. නිදාගෙන ඉන්න ගමන් නැගිටින්නේ නැතුව හිමීට බලන් හිටියලු. බැලින්නම් වසන්තලු. ඒ මදිවට කතුරකුත් අතේලු. සුමනේට හීන් දාඩිය දැම්මලු. ඉතිපීසෝ කියාගන්නත් බෑලු .ඒකත් පැටලෙනවලු. ලාල් ගොරව ගොරව නිදි. වසන්ත පොඩ්ඩ පොඩ්ඩ ලාල් ඉන්න තැනට ලං වෙනවලු. සුමනේ සුලු දිය පහ කරන්න ඔන්න මෙන්නලු. දැන් ඉතින් මරණයක් ඇසින් දුටුවා කියලා සාක්ශි දෙන්න වෙනවනේ කියලා හිතින් අඬ අඬ සුමනේ ඇස් දෙක තද කරගත්තලු. රෙද්දත් ඔලුවේ ඉදන් පොරෝ ගත්තලු. ටික වෙලාවකින් කිසිම සද්දයක් නෑලු. සුමනේ හිතුවලු දැන් ලාල් සෙත්තපෝච්චි වෙලා ඇති. මට මේවට දැන් සාක්ශි දෙන්නත් වෙයි කියලා. කලපනා කර කර ඉද්දි සුමනෙට ඉබේම නින්ද ගිහිල්ලාලු. 
 
උදේ පාන්දර කවුදෝ එකෙක් කෑගහනවලු. " කවුද යකෝ මේ වැඩේ කරපු අලුගුත්තේරුවා. මේක කරපු එකාට හොඳක් වෙන් නෑ" කියලා. සුමනේ ඔලුවේ ඉදන් රෙද්ද පොරවන් හිටපු නිසා කවුද කෑ ගහන්නේ දැක්කේ නෑ. හැබැයි හොඳට හුරු හඩක්ලු. සුමනේ හිතුවලු හරි වසන්තයා කරපු මිනීමැරුම දැකලා තමා කවුරුහරි මේ කෑගහන්නේ කියලා. හිමීට රෙද්ද අයින් කරලා බැලුවම අඩේහ් අප්පාහ් ලාල් ලු. බැනියමක් ඇදන් ඉන්නවලු උරහිසින් කපපු. උරහිසින් කපලා නිසා පොල්ගස් නගින වලල්ල වගේ සුරූස්.. ගාලා ලිස්සලා බඩ ලගට රෝල් වෙලාලු බැනියම. සුමනේට තේරුනාලු ඊයේ රෑ වෙච්ච දේ. සුමනේ ඉතින් මුකූත්ම නොකියා ආපහු රෙද්ද ඔලුවේ ඉදන් පොරෝ ගත්තලු.
 
ජයනි සිතාරි අල්විස්
සිතුවම - සමන් කුමාර

RECOMMEND POSTS